ඊශ්‍රායලයෙන් අධිබලැති තාක්ෂණික උපකරණ මිලදී ගැනීමේ ගනුදෙනුවෙන් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි නාලක සිල්වාව ඉවත් කර ගතවූයේ මාස 9ක් වැනි කාලයකි. පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ආරක්ෂක උපදේශකයෝ පිරිසක් ලංකාවට පැමිණියෝය. ඔවුහු එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජගත්.පී.විජේවීරව අමාත්‍යාංශයේදී හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. ඒ 2017 දෙසැම්බර් මස 4 වැනිදාය.

එම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ ලංකාවේ ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා පාකිස්තානයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳවය. ලංකාවේ ඉස්මතු වෙමින් පැවතුණ ආගමික හා ප්‍රති ත්‍රස්තවාදී ගැටුම් සහ තවත් සිදුවීම් කල් වේලා ඇතුව හඳුනාගෙන ඒවා මර්දනය කිරීම උදෙසා තාක්ෂණික පහසුකම් වල අවශ්‍යතාව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලදී අදහස් හුවමාරු විය.

ඉතාමත් සාර්ථකව අවසන් වූ එම සාකච්ඡා වලින් පසුව පාකිස්තාන දූත පිරිස ලංකාවෙන් පිටත්ව ගියේ අදාළ තාක්ෂණික පහසුකම් පිළිබඳව ඉක්මන් දැනුම්දීමක් කරන බවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත්.පී.විජේවීරට පොරොන්දු වෙමිනි.

පාකිස්තාන ආණ්ඩුව හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඍජුවම සම්බන්ධ වී සිදු කරන මෙම ගනුදෙනුවේ ඇතැම් තොරතුරු හුවමාරුවලට අනුව මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක්, අවබෝධයක්, හැකියාවක් ඇති පිරිසක් පත් කරන ලෙස ජගත්.පී.විජේවීර එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට දැනුම් දී ඇත.

ඔහු එම වගකීම බාර කළේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වෙතය. එයට පොලිස් තාක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී තාරක සෙනෙවිරත්න හා තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු තාක්ෂණය හා දුරස්ථ පාලනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරී ( M.S.C.G.l.S.&.R.S.) ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේද සම්බන්ධ කරගෙන ඇත.

නාලක සිල්වාගේ අරමුණ වූයේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය නවීන තාක්ෂණ උපකරණ වලින් සන්නද්ධ කර ඒ වනවිට ඉතාමත් රහසිගතව පැනනැගෙමින් තිබූ සහරාන් කල්ලිය ඇතුළු ප්‍රති ත්‍රස්තවාදය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමය.ඒ බව ඔහු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට 2017 දෙසැම්බර් මස 11 වැනිදා යොමු කර ඇති ලිපියක පවා පැහැදිලිව සඳහන් කර ඇත.

එයට දුරකථන ටැප් කිරීම හා පටිගත කිරීමේ යන්ත්‍ර, එස් .එම් .එස්, facebook messanger, ඊමේල් හැක් කිරීමේ යන්ත්‍ර, සූක්ෂම ඡායාරූප හා වීඩියෝගත කිරීමේ යන්ත්‍ර ,ජී.පී.එස් තාක්ෂණ උපකරණ, ආරක්ෂක අංශවලට අවශ්‍ය පුද්ගලයන් සැඟවී සිටින ස්ථාන සොයා ගැනීමේ උපකරණ ඇතුළු අධිතාක්ෂණික උපකරණ විශාල තොගයක් ඇතුළත්ය.

ඊශ්‍රායල් උපකරණ මිලදී ගැනීම මෛත්‍රීපාල සිරිසේනගේ පූර්ණ අනුමැතිය හා අවශ්‍යතාව මත සිදු වුවද පාකිස්තාන් උපකරණ මිලදී ගැනීම සිදුවූයේ මෛත්‍රීපාල සිරිසේනගේ පූර්ණ දැනුවත් භාවයකින් නොවේ. එය එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හා එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජගත්.පී. විජේවීරගේ මැදිහත්වීම මත සිදු වූ දෙයකි.

නමුත් මෙම උපකරණ තමන්ගේ දැනුවත් භාවයකින් තොරව කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යංශයට මිලදී ගැනීමට යන බව මෛත්‍රීපාල සිරිසේනට එවකට යුද හමුදාපති ධුරය දැරූ මහේෂ් සේනානායක ගෙන් දැනගන්නට ලැබුණි .ඉන් මෛත්‍රීපාල සිරිසේන හොඳටම කලබලයට පත් විය.

ඊශ්‍රායලයෙන් ටැප් යන්ත්‍ර මිලදී ගැනීමට අදාළ ක්‍රියාවලියෙන් නාලක සිල්වාව ඉවත්කර කර රාජ්‍ය බුද්ධි සේවයට එම උපකරණ තොගය ගැනීමට තමා ක්‍රියා කිරීම පිළිබඳව නාලක සිල්වා ඇතුළු පිරිස අමනාපයෙන් පසුවන බැවින්,දැන් තමන්ට හොරෙන් පාකිස්තානයෙන් එවැනි උපකරණ මිලදී ගෙන නාලක සිල්වාට ලබාදීමට සාගල රත්නායක හා ජගත්.පී.විජේවීර ක්‍රියාකරන බවට මෛත්‍රීපාල සිරිසේනගේ සැකයට භාජන විය.

එබැවින් යුද හමුදාපති ධුරය දැරූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමග සාකච්ඡා කර මේ ගැන තව දුරටත් කරුණු අවබෝධ කරගත් මෛත්‍රීපාල සිරිසේන මෙයට එරෙහිව උපක්‍රමශීලී මෙහෙයුමක නියැලිණි. එහි ප්‍රථම පියවර වශයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ජගත්,පී.විජේවීරව ඉන් ඉවත්කර ලේකම් ධුරයට මෛත්‍රීපාල සිරිසේනට ඉතා හිතවත් පත්මසිරි ජයමාන්න පත් කළේය.

එතැනින් නොනැවතුණු මෛත්‍රීපාල සිරිසේන ඊළඟට රනිල් වික්‍රමසිංහගේ කිට්ටුවන්ත ගෝලයා වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකව එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට දැනට සමගි ජන බලවේගයේ මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් කළේය.

එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක එකතුවී නාලක සිල්වාට පාකිස්තානයෙන් ටැප් යන්ත්‍ර ලබා දී තමාගේ හා තම බල ඇණියේ දුරකථන ටැප් කර තමාව විනාශ කිරීම උදෙසා කුමන්ත්‍රණයක නියැලෙන බවට මෛත්‍රීපාල සිරිසේන සැක කෙරිණි.

මෙම තත්ත්වයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක විය. ඒ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් පද්මසිරි ජයමාන්න මාර්ගයෙනි. ඉතාමත්ම උපක්‍රමශීලී ලෙස දියත් වූ මෙම මෙහෙයුමේදී ටැප් උපකරණ මිලදී ගැනීමේ පාකිස්තාන ගනුදෙනුව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඒ තුළ සිදුවන සියලු කරුණු පද්මසිරි ජයමාන්න මෛත්‍රීපාල සිරිසේන වෙත හොර රහසේ ප්‍රකාශ කිරීමට පියවර ගත්තේය.

කොටින්ම කිවහොත්, පාකිස්තානයෙන් ටැප් උපකරණ මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී හුවමාරු වූ ලිපි වල පිටපත් පවා මෛත්‍රීපාල සිරිසේන වෙත යැවීමට පත්මසිරි ජයමාන්න ක්‍රියා කළේය. ඒ අනුව ඔහු 2018 අප්‍රියෙල් 3 වැනිදා එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර වෙත යවන ලද ලිපි ගොනුවක පිටපතක්ද මෛත්‍රීපාල සිරිසේන වෙත යවා ඇත.

මගේ අංක S D / I G / O U T / S.0 4 / 1557 / 18 ලෙස සඳහන් එය ” රහසිගතයි ” ( SECRET ) යනුවෙන් සටහන් කර ඇත. ඔවුහු ” රහසිගතයි ” යනුවෙන් සඳහන් කර රහසිගතව හුවමාරු කරගත් මෙම ලිපි ගොනුවේ පිටපතක් මා සතුව ඇත.

ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා උපාය මාර්ගික ක්‍රම භාවිත කිරීම උදෙසා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය නවීන තාක්ෂණයෙන් වැඩි දියුණු කිරීම මෙම උපකරණ මිලදී ගැනීමේ අරමුණ බව එම ලිපි ගොනුවේ ඇති තොරතුරු වලින් ප්‍රකාශ වන දෙයකි.

පාකිස්තානයේ පිහිටි ජාතික ගුවන් විදුලි හා සන්නිවේදන සංස්ථාවෙන් මෙම උපකරණ මිලදී ගනු ඇත. එය පාකිස්තානයේ හරිපූර් ප්‍රදේශයේ පිහිටි අක්කර 15ක පමණ භූමි භාගයක පිහිටි පාකිස්තානු රජයේ පූර්ණ දායකත්වය මත ක්‍රියාත්මක සංස්ථාවකි. ලෝකයේ විවිධ රටවලට නවීන තාක්ෂණයෙන් යුත් සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කර විකුණන එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියා කරනුයේ බ්‍රිගේඩියර් ජනරාල් තව්සික් අහමඩ්ය.

ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හා පාකිස්තානයේ ජාතික ගුවන් විදුලි හා සන්නිවේදන සංස්ථාව අතර මෙම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම සම්බන්ධීකරණය කළේ ” සූහීල් ” නමැති මුස්ලිම් ජාතිකයාය.

මෙම උපකරණ පරීක්ෂා කර බලා මිලදී ගැනීමේ අවසන් අදියර දියත් කිරීම උදෙසා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, සහකාර පොලිස් අධිකාරී තාරක සෙනෙවිරත්න හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේ යන තිදෙනා 2018 අප්‍රියෙල් 23 වැනිදා කටුනායක ගුවන්තොටුපොළින් පාකිස්තානය බලා පිටත්ව ගොස් ඇත.

ඔවුන්ට අවශ්‍ය කෑම බීම, නවාතැන්, ආරක්ෂාව ඇතුළු සියලුම පහසුකම් පාකිස්තාන ආණ්ඩුව මගින් සපයා ඇත. ඔවුහු නවාතැන් ගෙන ඇත්තේ පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි පිහිටි සුපිරි හෝටලයකය. 2018 අප්‍රියෙල් 24 වැනිදා සිට 2018 අප්‍රියෙල් 28 වැනිදා දක්වා පැවති එම සංචාරයේදී ඔවුන්ව හෝටලයේ සිට දිනපතාම පාහේ හරිපූර් උපකරණ කර්මාන්ත ශාලා වෙත ආරක්ෂාව සහිතව රැගෙන ගොස් ඇත.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඔවූන්ගේ ගමනාගමනයට වෑන් රථයක් ලබා දී තිබිණි. එයට ආරක්ෂක භටයින් දෙදෙනෙක් යොදවා ඇත. ඔවූහු සැරසී සිට ඇත්තේ ආරක්ෂක අංශ පළඳින ඇඳුමකින් නොව, සිවිල් මුස්ලිම් ජාතික පුද්ගලයන් පලඳින ඇඳුමකිනි.

බැලූ බැල්මටම මතුපිටින් ඔවුහු ආරක්ෂක භටයින් යැයි හැඟෙන්නේ නැත, කිසිදු ගිනිඅවියක් පෙනෙන්නට නැත .නමුත් ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය මැෂින් තුවක්කු දෙකක් ඔවුන් දෙදෙනා තම ඇඳුමට යටින් සගවා ගෙන සිට ඇත.

හරිපූර් කර්මාන්ත ශාලාවේ දී නාලක සිල්වා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ බ්‍රිගේඩියර් ජනරාල් තව්සික් අහමඩ් විසිනි. පිරිසට මිලදී ගැනීමට අදාළ ටැප් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ ප්‍රදර්ශනය කරමින් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අවබෝධයක් ලබා දුනි.

පාකිස්තාන ආරක්ෂක අංශ හා කැරලිකරුවන් අතර නිරතුරුව ගැටුම් ඇතිවන කාශ්මීර් ප්‍රාන්තයට හා ඉන්දීය දේශසීමාවට රැගෙන ගිය නාලක සිල්වා ඇතුළු පිරිස නවීන තාක්ෂණික උපකරණ ක්‍රියාත්මක කර කාශ්මීර කැරලිකරුවන් හා ඉන්දීය ආරක්ෂක අංශ හුවමාරු කරගන්නා පණිවිඩ යන්ත්‍ර වලට හොර රහසේ සවන් දෙමින් ඒවා පටිගත කරන ස්වභාවය පාකිස්තාන ජාතික ගුවන් විදුලිය හා සන්නිවේදන විශේෂඥයින් පෙන්වාදීම නාලක සිල්වා පිරිසකගේ විශ්මයටද හේතුවිය. එමගින් ලංකාවට උචිත ඉතාමත් උසස් තත්ත්වයේ තිබූ එම තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට සුදුසු බව පිරිසේ ඒකමතික තීරණය විය.

මෙහිදී නාලක සිල්වා ඇතුළු පිරිසට කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අරුම පුදුම අනපේක්ෂිත සිදුවීමකට ද මුහුණදීමට සිදුවිය. ඒ 2018 අප්‍රියෙල් මස 26 වැනිදාය. එදින ඔවුහු පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි හෝටලයකට පිවිසුණේ තේ පානය කිරීම උදෙසාය. එසැනින් දුටු දර්ශනයකින් පිරිස අන්දමන්ද විය. ” අම්මට උඩු. ලොක්කා අපිට හොරෙන් තවත් සෙට් එකක් බස්සලා.” යනුවෙන් නාලක සිල්වාට කියවිණි. ” ලොක්කා ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන ගැනය.

පිරිස හෝටලයට පිවිසෙනවිට එහි එවකට යුද හමුදාපති ධුරය දැරූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සිව් තේ පානය කරමින් දෙනෙක් සිටියහ. දෙපාර්ශ්වය එකිනෙකා හඳුනාගෙන කතා කළහ. එවිට මහේෂ් සේනානායක නාලක සිල්වා සමග කතා කරමින් ” ඔයගොල්ලො ඉන්න බව අපි දන්නවා” යනුවෙන් කීය. නමුත් දෙපාර්ශවයම තමන් පාකිස්තානයට පැමිණ සිටින්නේ කුමකට ද යන්න පැවසීමට ගියේ නැත.

ඉතා සුළු වේලාවක් කතාබහ කර පිරිස විසිර යමින් නාලක සිල්වා ප්‍රමුඛ පිරිස 2018 අප්‍රියෙල් 29  වැනිදා යළි ලංකාවට පැමිණියහ. ඔවුහු තම රාජකාරියේ වගකීම ඉෂ්ට කරමින් අදාළ උපකරණ මිලදී ගැනීම උදෙසා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පත්මසිරි ජයමාන්නට එවකට පොලිස්පති ධුරය දැරූ පූජිත ජයසුන්දර මගින් අදාළ ලේඛන ඉදිරිපත් කළහ.

නමුත් අමාත්‍යාංශය මගින් එම උපකරණ මිලදී ගැනීම සිදු වූයේ නැත. එය ප්‍රමාද විය. සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඊශ්‍රායල් උපකරණ මිලදී ගැනීමට යෑමේදී සිදු වූ සිදුවීම පාකිස්තාන උපකරණ වලටත් සිදුවී ඇති බවය.

එනම්, නාලක සිල්වා පිරිසගෙන් සියලු වැඩ කරගෙන අවසාන මොහොතේ හමුදාපති මහේෂ් සේනානායක ඇතුළු පිරිස යොදවා එම උපකරණ පාකිස්තානු සමාගමෙන් මිලදී ගෙන යුද හමුදා රහස් තොරතුරු අංශයට ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි මිලදී ගැනීමක් සිදුවීමේදී හමුදාවේ ඉහළම නිලධාරියා වන හමුදාපතිවරයා යන්නේ නැත. ඔහු නියෝජනය කරමින් ඒ ගැන අවබෝධයක් ඇති වෙනත් හමුදා පිරිසක් යනු ඇත. හමුදාපතිවරයාම පාකිස්තානයට යෑමෙන් පැහැදිලි වන්නේ මෙම ගනුදෙනුව මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත්වීම මත මොන තරම් ඉහළ මට්ටමකින් සිදුවී ඇති බවයි.

මෙහිදී මිලදීගත් දුරකථන ටැප් යන්ත්‍ර ඇතුළු තාක්ෂණ උපකරණ වල සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර් 2,962,000 කි. ඒ වනවිට ඩොලර් එකක මිල දළ වශයෙන් රුපියල් 200 ක් පමණ වනු ඇත. එවිට රුපියල් වලින් මෙහි වටිනාකම රුපියල් 5,92,400,000 ක් පමණ වනු ඇත.

ඒ අනුව මිලදී ගත් දත්ත විශ්ලේෂණ පද්ධතිය ඇමරිකන් ඩොලර් 1,55,000 කි. ආණ්ඩු විරෝධී තොරතුරු පළ කරන සමාජ මාධ්‍යකරුවන් සොයා ගැනීමේ පද්ධතිය ඇමරිකන් ඩොලර් 77,000 කි.බුද්ධි අංශ වලට අවශ්‍ය පුද්ගලයන් හඳුනා ගැනීමේ මුහුණු ආවරණ පද්ධතිය ඇමරිකන් ඩොලර් 5,50,000කි. වාහනවල සවිකරන ජී.එස්.එම්. සන්නිවේදන පද්ධතිය ඇමරිකන් ඩොලර් 4,40,000 කි.

එසේම, රේඩාර් පද්ධතිය ඇමරිකන් ඩොලර් 55,000කි. රහසිගත නිරීක්ෂණ පද්ධතිය ඇමරිකන් ඩොලර් 16,500 කි.සජීවී සී.ඩී.ආර් මොනිටරය ඇමරිකන් ඩොලර් 1,10,000කි. ජී.එස්.එම්. සන්නිවේදන පද්ධතිය ඇමරිකන් ඩොලර් 1,87,000 කි. අපරාධ තොරතුරු පද්ධතිය ඇමරිකන් ඩොලර් 33,000 කි.

සමීක්ෂණ උපාංග පද්ධතිය ඇමරිකන් ඩොලර් 11,000 කි. මෘදුකාංග ආරක්ෂක පද්ධතිය ඇමරිකන් ඩොලර් 27,500 කි. සී.ඩී.ආර් විශ්ලේෂණ පද්ධතිය ඇමරිකන් ඩොලර් 27,500කි. අතේ ගෙනයා හැකි අයි .එම්. එස්. අයි. පද්ධතිය ඇමරිකන් ඩොලර් 40,500 කි.

තොරතුරු උපාංග පද්ධතිය ඇමරිකන් ඩොලර් 11,000 කි. අධිබලැති ඇන්ටනා පද්ධතිය ඇමරිකන් ඩොලර් 49, 000 කි. මෝටරෝලා සන්නිවේදන පද්ධතිය ඇමරිකන් ඩොලර් 11,000 කි. දුරකථන අවහිර කරන පද්ධතිය ඇමරිකන් ඩොලර් 6,60,000 කි. වාහනවල සවි කරන අයි.එම්.එස්.අයි සන්නිවේදන උපකරණ පද්ධතිය ඇමරිකන් ඩොලර් 66,000 කි.

එපමණක් නොව, මිලදී ගත් සැටලයිට් පද්ධතිය ඇමරිකන් ඩොලර් 55,000කි. ආරක්ෂක චලන පද්ධති දෙකක් ලබාගෙන ඇත. ඉන් එකක් ඇමරිකන් ඩොලර් 22,000 කි. අනෙක ඇමරිකන් ඩොලර් 1,55,000 කි. සම්මන්ත්‍රණ ශාලාවල සවිකරන ජී.එස්.එම්.ජෑමර් පද්ධතිය ඇමරිකන් ඩොලර් 22,000 කි. දුරස්ථ කැමරාව ඇමරිකන් ඩොලර් 5,500 කි. එම්.එස්.අයි රොබෝ යන්ත්‍රය ඇමෙරිකන් ඩොලර් 1,37, 500 කි.

මෙම තාක්ෂණික උපකරණ මිලදී ගැනීමේ සාකච්ඡාවලදී එළඹුණු කොන්දේසි වලට අනුව ප්‍රථමයෙන් මුළු මුදලින් 60෴ ක් අත්තිකාරම් ලෙස ගෙවිය යුතුය. ඉතිරි මුදල් දින 60කින් ගෙවිය යුතුය. ණයවර ලිපි විවෘත කර අදාළ ගනුදෙනුව සිදු කිරීමෙන් පසු උපකරණ වල සම්පූර්ණ වගකීම් කාලය වසරකි.

මෙම ගනුදෙනුවට අදාළ මුදල් හුවමාරුව සිදු වුයේ National Bank of Pakistan Top Branch බැංකුව මගිනි. එහි ගිණුමේ නම M/S NRTC Haripur ලෙස සඳහන් වෙයි. ගිණුම් අංකය NlDA-1 ලෙස ප්‍රකාශ වෙයි. මෙම ගිණුමේ කේත අංකය හෙවත් SwifT code එක NBPAPkkAAO2P බව මා විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

රුපියල් ලක්ෂ 6000ක් පමණ වන මෙම ටැප් යන්ත්‍ර ඇතුළු අධිබලැති සන්නිවේදන උපකරණ තොගය පාකිස්තානයේ හරිපූර් පිහිටි ජාතික ගුවන්විදුලි සන්දේශ සංස්ථාවෙන් මිලදී ගත් පසු පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ගුවන්තොටුපොළින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගැනිණි.

ඊළඟට සිදු වූයේ කුමක්ද ? ඉතිරි කොටස ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

මෙම ලිපියේ දෙවැනි කොටස ” ආණ්ඩු විරෝධීන්ගේ නිවාස, කාර්යාල, ජංගම හා වත්සප් දුරකථන ටැප් කරන බුද්ධි මෙහෙයුම ” යනුවෙන් පළවී ඇත.

මෙම ලිපියේ පළමු කොටස ” රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, ශවීන්ද්‍ර සිල්වා හා මාධ්‍යවේදීන්ගේ දුරකථන ටැප් කරන හැටි ” යනුවෙන් පළ වී ඇත.

ශ්‍රී ලාල් ප්‍රියන්ත

එම ලිපි දෙකද ඔබත් අනිවාර්යයෙන් කියවා මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම වැදගත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published.