රහස් පොලීසියේ අධ්‍යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරී ශානි අබේසේකර,ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව කරුණු වාර්තා වී ඇත.

එම ඝාතන කුමන්ත්‍රණය බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් දියත් වී ඇති බවට පොලිස්පතිවරයාට මෙන්ම, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, අංක 428/11/ ඒ , දරන ස්ථානයේ පළමු මහලේ පිහිටි අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපතිවරයාටද ලිඛිතව කරුණු ලැබී ඇත.

දේශබන්දු තෙන්නකෝන්

යම් හෙයකින් ශානි අබේසේකර,ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය වුවහොත් එහි සම්පූර්ණ වගකීම පොලීසිය භාර ගතයුතු බව කොළඹ 7,මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි පොලීස් අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා පොලීස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව දැනුම් දී ඇත.

2022 සැප්තැම්බර් මස 1 වැනිදා ලිඛිතව කමල් ද සිල්වා මේ බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ මගේ අංක S/ D I G / C / T R / O U T / C / 4484 /2022 රහස්‍ය වාර්තාවක් මගිනි.

මේ ස්වභාවය තුළ 2022 දෙසැම්බර් මස 17 වැනිදා රාත්‍රී ශානි අබේසේකරගේ නිවස ඉදිරිපිට නතර කර තිබූ ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එය සිදුකර ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියෙකි.

මෙම සිදුවීම පිළිබඳව බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ ගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කරන්නේ මෙය එහි සිටි පොලිස් නිලධාරියෙකුගේ අතින් වැරදීමකින් සිදුවී ඇති බවය. එය කොතෙක් දුරට නිවැරැදිද ?

වෙඩි ප්‍රහාරය එල්ල වනවිට ශානි අබේසේකර එම රථය තුළ සිට නැත. ඔහු සිට ඇත්තේ සිය නිවස තුළය.යම් හෙයකින් එම රථය තුළ සිටියදී, එම වෙඩි පහර ඔහුට වැදී ජීවිතක්ෂයට පත්වූයේ නම්, එය පොලිස් නිලධාරියෙකු අතින් සිදු වූ අත්වැරදීමක් යනුවෙන් ප්‍රකාශ කර ආණ්ඩුවට එල්ල වන එම ඝාතන අපවාදයෙන් බේරීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

2022 දෙසැම්බර් මස 20 වැනිදා ශානි අබේසේකර එම මෝටර් රථය රැගෙන ගොස් කොළඹ ඇස් වාට්ටුව හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගෙන ඇත. එවිට ඉන්ධන ටැංකිය සිදුරු වී ඉන්ධන කාන්දුවීමක් සිදුවන බවට පිරවුම්හලේ සේවකයකු විසින් දැක පෙන්වා ඇත.

පසුව එම රථය රත්මලානේ පිහිටි එම මෝටර් රථය අයත් ආයතනයේ අලුත්වැඩියා කටයුතු අංගණයට රැගෙන ගොස් පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ තෙල් ටැංකියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය. ඒ තුළින් ඇතිවූ තෙල් කාන්දුව තුළ වාහනය ධාවනය වූයේ නම්, ගිනි ගැනීමකට ලක්වී විශාල ජීවිත විනාශයක්වීමට ඉඩ තිබූ බවද එහි සිටි අලුත්වැඩියා සේවකයෝ ප්‍රකාශ කර ඇත.තෙල් ටැංකිය රුපියල් 12,000ක පමණ මුදලක් වැයකර අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් මත රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී බුද්ධික විජේසුන්දරගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

බුද්ධි අංශ වාර්තාවලට අනුව ශානි අබේසේකර සහ පවුලේ අයට බරපතළ ජීවිත තර්ජනයක් ඇති බවට කරුණු වාර්තා වී ඇති හෙයින්, ඔහුගේ ආරක්ෂාව වහාම සහතික කරන ලෙස කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිව සිටි සිසිර පෙන්තතන්ත්‍රීට හා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්.සමරසිංහට අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහයක ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.වී.ගිනිගේ ලිඛිතව දැනුම් දී ඇත.

බත්තරමුල්ල ,ප්‍රධාන වීදිය ,අංක 145 දරන ස්ථානයේ පිහිටි එම ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් 2022 ජූලි මස 20 වැනි දින මෙම ලිපිය ඔවුන් වෙත යවා ඇත්තේ මගේ අංක D / V W P D / O U T / 2187 / 2022 යන වාර්තාව මගිනි.

ශානි අබේසේකර සහ පවුලේ අයට මරණ තර්ජන ඇති බවට කොළඹ 7,මලලසේකර මාවතේ, අංක 132 දරන ස්ථානයේ පිහිටි පොලිස් විශේෂ කාර්යාංශය හා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක ආරක්ෂක කොට්ඨාසය මගින් කරන ලද පූර්ණ පරීක්ෂණයකදීද කරුණු අනාවරණය වී ඇත.

එම කරුණු හෙළිදරව් වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්,වී.ගිනිගේ විසින් සකස් කරන ලද මගේ අංක D / V W P D / O u T / 2816 / 2022 දරන රහස්‍ය වාර්තාව මගිනි.

එම වාර්තාව සැලකිල්ලට භාජන කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඒස්. හෙට්ටිආරච්චිට ලිඛිතව මගේ අංක STAFF/03/IGP/OUT/B/100/2022 ලිපිය මගින් 2022 සැප්තැම්බර් මස 9 වැනිදා කරුණු වාර්තා කර ඇත.

එම ලිපිය මගින් පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ශානි අබේසේකර ඇතුළු පවුලේ අයට එල්ල වී ඇති මරණ තර්ජන හේතුකොටගෙන ඔහුගේ ආරක්ෂාව තර කිරීමට පොලිස් නිලධාරීන් යෙදිය යුතු ප්‍රමාණය , කාලය සහ ඊට අදාළ උපදෙස්ය.

එපමණක් නොව, එදිනම පොලිස්පතිවරයා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මගේ අංක STAFF/03/IGP/OUT/LEG/2588/2022 යන ලිපිය යොමු කරමින් ශානි අබේසේකරගේ ජීවිත ආරක්ෂාව සැලසීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යොදවන ලෙස දැනුම් දී ඇත. නමුත් ඔහු එය සිදු කර නැත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2022 සැප්තැම්බර් මස 14 වැනිදා මගේ අංක S/DIG/WP/16656/2022 දරන ලිපිය මගින් පොලිස්පති චන්දන වික්‍රමරත්නට දැනුම් දී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි සමග පැවැති රැස්වීමකදී ශානි අබේසේකර ගැන කතාබහක් වූ බැවින්, ඔහු ලබා දෙන උපදෙසක් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

නමුත් මෙහිදී ප්‍රශ්නයක් ඇත. එනම්, දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානියා අමාත්‍යාංශ ලේකම්වරයා නොව,පොලිස්පතිවරයාය. එබැවින් ඔහු ක්‍රියාත්මක කළ යුත්තේ පොලිස්පතිවරයාගේ අණ සහ උපදෙස්ය. එසේ නොමැතිව, අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඊට අදාළ උපදෙස් ලැබෙනතුරු බලා සිටිනවා යැයි යනුවෙන් ප්‍රකාශ කරමින් ඉන් මගහැර යෑම දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ පොලිස්පතිගේ පොලිස් අණ නොතකා හැරීමකි. රාජකාරි පැහැර හැරීමකි.

මේ ස්වභාවය තුළ පොලීස් අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා 2022 සැප්තැම්බර් මස 15 වැනි දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වී. ගිනිගේට ලිඛිතව දැනුම්දී ඇත්තේ ශානි අබේසේකරගේ නිවසට ගොස් ඔහුගේ ආරක්ෂාවට අදාළ වාර්තාවක් සපයන ලෙසය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.වී.ගිනිගේ 2022 සැප්තැම්බර් මස 17 වැනිදා අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහයක ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් ඒ ගැන පරීක්ෂණයක් කිරීම සඳහා පත්කර ඇත.

ඔවුහු කොළඹ 8, ඇල්විටිගල මහල් නිවාස, අංක L/1/1, දරන ස්ථානයේ පදිංචි වී සිටින රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ නිවසට ගොස් කරුණු විපරම් කර වාර්තාවක් සකස් කර ඇත.

එම වාර්තා මගින් හෙළිවී ඇති කරුණු වලින් ප්‍රකාශ වන්නේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශානි අබේසේකරගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට ආරක්ෂාව ලබාදීම හිතාමතාම පැහැර හැර ඇති බවය.

නමුත් ශානි අබේසේකරගේ නිවසේ ඉදිරිපස සවිකර තිබෙන දෛනික පොලිස් වාර්තා පොතේ පොලිස් නිලධාරීන් ඔහුගේ ආරක්ෂක කටයුතු වල නියැලී සිටින බවට සටහන් යොදා ඇත. එහෙත් නිරතුරුව ඔහුගේ නිවසට කිසිදු ආරක්ෂාවක් නැති බව එම වාර්තාව කියයි. එබැවින් ඔහුට සහ පවුලේ අයට ඉක්මන් ආරක්ෂාවක් ලැබිය යුතු බව එම වාර්තාව තවදුරටත් ප්‍රකාශ කරන දෙයකි.

එසේම ශානි අබේසේකර ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාව වෙඩි තබා මරා දමන බවට සැප්තැම්බර් මස 7 වැනිදා පැය 23.23 ට කිසියම් පුද්ගලයෙක් දුරකථනයෙන් තර්ජනය කර බැණවැදී ඇත. ශානි අබේසේකරට අයත් 071-8561…අංක දරන දුරකථනයට මෙම ඇමතුම ලැබී ඇත්තේ අංක 501 දරන දුරකථනයකිනි.

මෙම සිද්ධිය පිළිබඳව ශානි අබේසේකර පොලීසියට පැමිණිලි කර ඇතත් ,අද වනතුරුත් ඊට අදාළ නිසි පරීක්ෂණයක් පවත්වා මීට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිතා මතාම මඟහැර ඇත.

ශානි අබේසේකරට තර්ජනය කරන ලද අංක 501 දරන දුරකථනයට අදාළ විස්තර වාර්තාවක් ලබාදෙන ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතත්, ඔවුන්ද එය හිතාමතා අයුතුසහගත ලෙස මග හැර ඇත. එම කොමිසම ප්‍රකාශ කර සිටින්නේ විදේශ රටක සිට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී ඇති බවයි.

නමුත් ආණ්ඩුවේ විශේෂ බුද්ධි සහ ආරක්ෂක මෙහෙයුම්වල යෙදෙන පුද්ගලයන්ට රහසිගත වැඩ කිරීමට මේ ආකාරයෙන් දුරකථන අංක නිකුත් කර ඇත. එම පුද්ගලයන් කවුද යන්න විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව නිවැරදි ආකාරයට දන්නවා ඇත. එබැවින් එම කොමිසම හිතාමතාම එම පුද්ගලයන් ආරක්ෂා කිරීමට මෙසේ ඔවුන්ගේ තොරතුරු ලබාදීම මගහැරීම සිදුවනු ඇත.

මේ ස්වභාවය තුළ තමාවත්, බිරිඳවත් දරු දෙදෙනාවත් ඝාතනය කිරීමේ ඉතාමත් සූක්ෂම වැඩපිළිවෙළක් සහ කුමන්ත්‍රණයක් තිබෙන බවට රහස් පොලීසියේ අධ්‍යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරී ශානි අබේසේකර අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

2022 සැප්තැම්බර් මස 28 වැනිදා යොමු කර ඇති එම ලිපිය මගින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවය. එබැවින් තමාට හෝ තම පවුලේ අයකුට යම් අනතුරක් සිදුවුවවොත් ඔහු වගකිවයුතු බව එම ලිපිය මගින් ශානි අබේසේකර කියා සිටින දෙයකි.

ශානි අබේසේකර මේ රටේ සිදු වූ ආන්දෝලනාත්මක දේශපාලන ඝාතන රාශියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා දඬුවම් ලැබීමට සැලැස්සූ රහස් පොලිස් පරීක්ෂකවරයෙකි.

ලසන්ත වික්‍රමතුංග, මොහොමඩ් වසීම් තාජුඩීන්, ප්‍රගීත් එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, දෙමළ ළමුන් 11දෙනෙකු පැහැරගෙන යෑම ඇතුළු ඝාතන සහ පැහැර ගෙන යෑම් රාශියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඔහුට බරපතළ ලෙස ජීවිත තර්ජන ඇත.

මෙම අපරාධ පිටුපස මහින්ද රාජපක්ෂ පවුලේ අය, ඔවුන්ගේ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු සුවිශේෂී වූ චරිත කිහිපයක් ඇත. එබැවින් ශානි අබේසේකර කෙරෙහි ඔවුහු පසුවන්නේ බද්ධ වෛරයකිනි. එම අපරාධ වල ප්‍රධාන සාක්ෂිකරුවෙකු සහ පරීක්ෂකවරයෙකු වන ශානි අබේසේකරව ඝාතනය කළහොත්, ඒවා සිදුකළ අපරාධකරුවන්ට නීතියේ රැහැනෙන් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

එවැනි ස්වභාවයක් තුළ ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික නොකළහොත් ,ඉදිරි දිනක ඔහුගේ ජීවිතයට බරපතළ හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම විශාලය.එය වෙඩි ප්‍රහාරයක්, බෝම්බ ප්‍රහාරයක් හෝ හදිසි රිය අනතුරකින් සිදු කිරීමටද බැරි නැත. එසේනම්, පොලීස්පතිවරයා සෘජුවම මැදිහත් වී ඔහුගේ ආරක්ෂාව නිසි ලෙස තර කිරීම ඔහුගේ වගකීම වනු ඇත.

ශ්‍රීලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.