මිනිසුන් දැන් සිටින්නේ දැඩි පීඩනයකය.ජීවත් වෙන්න ක්‍රමයක් නැත.කන්න බොන්න විදියක් නැත .ඩීසල් නැත.ලාම්පුතෙල් නැත. පෙට්රල් නැත. කිරිපිටි නැත. අතේ සතේ නැත. මෙතෙක් කල් කළ රැකියාවද නැත. වේලක් කෑවොත් ඊළග වේල කන්නේ කොහොමද යන්න සිතා ගත නොහැක. දරුවෝ හාමතේය. ඔවූන්ගේ බඩගින්නේ විළාපය දෙමව්පියන්ට දරා ගැනීමට නොහැක.අංගොඩට පමණක් සීමා වී තිබූ පිස්සන් කොටුව දැන් මුළු රට පුරාම ව්‍යාප්ත වී ඇත.

ඒ තරමටම මිනිසුන්ගේ මොළ කුහර විකෘති වී පිස්සු හැදී ඇත. ඒ ජීවත්වීමේ නොහැකි පීඩනය මුළු සමස්ත සමාජයම වෙලාගෙන ඇති බැවිනි.එවන් අසරණ සමාජ වටපිටාවක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ලීසින් මාපියාවද මිනිසුන් තවත් අසරණ අගාධයකට ඇද දමමින් ඔවූන්ගේ ජීවිත බිළි ගැනීමට තරම් අකාරුණික වී ඇත. අතිබහුතරයක් මිනිසුන්ට එකවර මුදල් දී වාහනයක් මිලදී ගැනීමට තරම් අතේ මුදල් නැත. එබැවින් මිනිස්සුන් කරනුයේ වාහනයක් ලීසින් කර ලබා ගනිමින් ඉන් කිසියම් ජීවනෝපාය මාර්ගයක් විවර කර ගැනීමය.

ඉන් කිසියම් මුදලක් උපයමින් වාහනයේ ලීසිං වාරික ක්‍රමානුකූලව ගෙවමින් ජීවත්වීම සඳහා වෙර වීරිය දරනු ඇත.නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු රට සෑම අතින්ම ප්‍රපාතයට තල්ලුවීම තුළ මිනිසුන්ට ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩනයකට ලක් වී ඇත.ඒ කෙරෙහි කිසිදු තැකීමක් නොකරන ලීසිං සමාගම් වාරික ගෙවීමට අපහසු වූ මිනිසුන්ගේ වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට පටන් ගෙන ඇත.

රටේ පොදු සම්මත නීතියට අනුව මොනම හේතුවක් මතවත් ලීසිං වාරික ගෙවීමට නොහැකි වූ වාහන ලීසින් සමාගම් වලට පැහැරගෙන යෑමට නොහැක. යම් හෙයකින් එවැනි දෙයක් සිදුවූවොත් එය රටේ නීතියට අනුව වාහන මංකොල්ලකෑමකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධමය චෝදනාවකි.එවැනි සිදුවීමකදී අධිකරණ වරෙන්තුවක් නොමැතිව වුවද, එම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත.

එසේනම්, 2022 ජුනි මස 18 වෙනිදා මහනුවර, පොල්ගොල්ල ,මීගම්මනවත්ත ප්‍රදේශයේදී සිදුවූයේ කුමක්ද ? මහනුවර, කෝපරේටීව් ඉන්ෂූවරන්ස් සමාගම මගින් ලීසිං වාරික ගෙවීමට අපහසු වූ වාහනයක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තරුණයකු මරණයට පත් කර ඇත. මෙය සාපරාධී මිනිස් ඝාතනයක් නොවේද ?

වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්පස් හැවිරිදි අවිවාහක තරුණයකු වූ ජාලිය පරාක්‍රම කුඩා බ්ලොග් ගල් ව්‍යාපාරයක් ආරම්භ කරමින් ලොරි රථයක් මිලදී ගෙන ඇත්තේ එය වැඩි දියුණු කර ගැනීමටය.දෙමව්පියන් සහ පවුලේ අයව නඩත්තු කරමින් දියුණුවීමට උත්සාහ කළ ජාලිය පරාක්‍රමගේ සිය ව්‍යාපාරික කටයුතු ඉතාමත් අවාසනාවන්ත ලෙස ඇණ හිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අකාර්යක්ෂම පාලනය හේතු කොට ගෙන රට දැවැන්ත ප්‍රපාතයකට ඇද වැටුණු බැවිනි.

මේ තුළ ඔහුට සිය ලීසිං වාරික ගෙවා ගැනීමේ ප්‍රශ්න මතුවිය.ඒ පිළිබඳව ඔහු ලීසින් සමාගමට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද ,ඒ කෙරෙහි ඔවූහු කිසිදු තැකීමක් කළේ නැත.ලීසිං වාරික ගෙවීම අපහසු වන සෑම අවස්ථාවකම ලීසිං සමාගම පොලිය පමණක් නොව ,වැල් පොලියද එකතු කර තිබිණි.

එමගින් ලක්ෂ 50 ක් පමණ වූ එම කුඩා ලොරි රථය ලක්ෂ 65 ක් දක්වා ගණන් වැඩි කිරීමට අකාරුණික ලීසින් සමාගම පියවර ගෙන තිබිණි. නමුත් ඒ වනවිට ජාලිය පරාක්‍රම ලොරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 48 ක් ගෙවා නිමකර තිබිණි. එමගින් ඔහු ලීසිං සමාගම සමග සාකච්ඡා කර කිසියම් ක්‍රමයකින් තවත් ලක්ෂ 2 ක් ගෙවා රුපියල් ලක්ෂ 50 කින් වාහනයේ සම්පූර්ණ වාරික ගෙවා නිම කර වාහනය තමන් සතුකර ගැනීමට ඔහු උත්සාහ කෙරිණි.නමුත් එයට මහනුවර, කෝපරේටීව් ඉන්ෂූවරන්ස් සමාගම එකඟ වූයේ නැත.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ අනිවාර්යෙන්ම රුපියල් ලක්ෂ 65 ක්ම ඕනෑ බවය. මේ තුළ ජාලිය පරාක්‍රම දැඩි අපහසුතාවයකට පත්වී සිටියේ එතරම් මුදලක් එකවර ගෙවන්නේ කෙසේද යන්න සිතාගත නොහැකිවය.මේ තුළ ජාලිය පරාක්‍රමගේ පියා විසින් එම කුඩා ලොරි රථය පදවා ගෙන යමින් සිටියදී 2022 ජූනි මස 9 වෙනිදා එම ලීසිං සමාගමේ සීසර්ලා පිරිසක් ඔහුට දිග හරහට ඉතාමත් අමානුෂික ලෙස පහරදී මෙම ලොරි රථය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත.එම ප්‍රහාරයෙන් ජාලිය පරාක්‍රමගේ පියාගේ ඇහැට සහ මුහුණට සහ අතපය වලට බරපතළ තුවාල සිදුවී තිබිණි. එම ප්‍රහාරවලින් තුවාල ලැබීම හේතු කොටගෙන ඔහුගේ ඇස්දෙක අසල මැහුම් 6 ක් ගසා ඇත.

මේ පිළිබඳව පහරකෑමට ලක්වූ පියා වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබේ.එවිට පොලිසිය පැමිණිල්ල සහ විත්තිකරුවන් ගෙන්වා සිද්ධිය සමාදානයට පත්කර ලොරිය නැවතත් ජාලිය පරාක්‍රම වෙත ලබා දී ඇත.මෙයද ගැටලු සහගත දෙයකි.

ඔහුට පහරදී වාහනය පැහැරගෙන යෑම අපරාධමය චෝදනාවකි.එවිට පොලීසිය කළ යුත්තේ මෙම සිද්ධියට සම්බන්ධ මැරයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමය. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදුවී නැත. පොලිසියත් ලීසිං සමාගමේ පැත්ත අරගෙන සිද්ධිය සමාදාන කර ඇත්තේ අධිකරණයේ නඩු පැවරුවේ නම්, ලීසින් සමාගමට බරපතළ ප්‍රශ්නයක් මතුවන බැවිනි.

එපමණක් නොව, ලීසිං සමාගම පොලීසිය සමග එකතුවී මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පවා පොලිස් පොතින් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු සලස්වා ඇත.ඉන් පසුව යළිත් ලීසිං සමාගම සිදු කළේ කුමක්ද ? පහරදීමේ සිද්ධියෙන් දින 10 කට පසුව එනම්, 2022 ජූනි මස 18 වැනිදා අළුයම එම වාහනය ජාලිය පරාක්‍රමගේ නිවස පිහිටි වත්තේ නවතා තිබියදී, ලීසිං සමාගමේ පිරිසක් බලහත්කාරයෙන් වත්තට ඇතුල්වී වාහනය පණගන්වා පැහැරගෙන පළාගොස් ඇත.එය දුටු ජාලිය පරාක්‍රම වාහනය පිටුපස දිව ගොස් වාහනයේ එල්ලී එය බේරා ගැනීමට උත්සාහ කර ඇතත්, එය සාර්ථක වී නැත. වාහන මංකොල්ලකාර සීසර්ලා ඔහුට අමානුෂික ලෙස පහර දී සිරුර මහමග දමාගොස් තිබූණී.එම අවස්ථාවේදී ඔහුව කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පවුලේ අය ප්‍රකාශ කර සිටිති.

සැබවින්ම ඔහුගේ මරණයට හේතුව කුමක්ද ? පහරදී මරා දැම්මාද ? වාහනයට යටවී මැරුණාද ? වාහනයට යට කර මැරුවාද ? සිද්ධියෙන් ව්‍යාකූලත්වයට පත්වී හෘදයාබාධයකින් මිය ගියාද ? කුමන ආකාරයෙන් ඔහුගේ මරණය සිදුවුවද එයට ලීසිං සමාගම අනිවාර්යෙන් වගකිව යුතුය.මෙය ඉතාමත් බරපතළ කරුණකි. පවතින අසංවර සමාජ පැතිකඩේ එක් කොටසකි.

ලීසින් වාරික නොගෙව්වේ යැයි කිසිම විටක වාහනයක් ලීසින් සමාගම් වලට පැහැරගෙන යෑමට නීතිමය හැකියාවක් නැත.මෙවැනි සිදුවීමකදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටියක් නීතිය තුල ඇත. එනම් ,යම් වාහනයක් ලීසින් ගෙවිම අතපසු කර තිබුණේ නම්, ලීසිං සමාගම කළ යුත්තේ ඒ පිළිබඳ ප්‍රථමයෙන්ම අදාළ පොලිස් ස්ථානයට ඒ ගැන පැමිණිල්ලක් කිරීමය.ඉන්පසු ලීසින් සමාගමේ නිලධාරීන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඔහු සමඟ සුහදව සාකච්ඡා කර එම වාහනය ඔහුගේ කැමැත්ත මත සමාගමට ලබා ගැනීම සඳහා කටයුතු කිරීමය. නමුත් ඔහු එම වාහනය ලබා දීමට අකමැති නම්, ඊළඟට ලීසිං සමාගම කළ යුත්තේ යළිත් ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීමය.

ඊට පසු පොලීසිය කළ යුත්තේ ලීසිං සමාගමේ නිලධාරීන් සහ වාහනය භාවිතා කරන පුද්ගලයාව යන දෙපාර්ශ්වය පොලිසියට ගෙන්වා සාමදානයෙන් මෙම ප්‍රශ්නය විසඳාගැනීමට කටයුතු සැලැස්වීමය. පොලිසියට මෙය විසඳීමට අපහසු නම්, ඊළඟට පොලීසිය කළ යුත්තේ එය සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරීමය.එහිදී දෙපාර්ශවය කැඳවා මෙය විසඳීමට අපහසු නම්,අධිකරණ ක්‍රියා මාර්ගයකින් මෙය විසඳා ගන්නා ලෙස දෙපාර්ශ්වය වෙත දැන්වීමට සමථ මණ්ඩලය ක්‍රියා කරනු ඇත. ඊළගට ලීසිං සමාගම කළ යුත්තේ වාහන හිමිකරුවාට විරුද්ධව දිසා අධිකරණයේ නඩුවක් පැවරීමය.

එම නඩුවේදී විත්තිකරුවන්ට එනම් ,වාහනය භාවිතා කරන පුද්ගලයාට සිතාසි යවා එම වාහනය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ භාරයට ගනු ඇත.ඉන්පසු එම නඩුවේ තීන්දුවකින් එම වාහනය හිමිවන්නේ කාටද යන්න අධිකරණය විසින් තීරණය කරනු ඇත.ලීසිං වාරික නොගෙවා සිටින හෝ අතපසු කරන වාහන සම්බන්ධයෙන් ඇති නීතිමය ක්‍රියාවලිය එයයි .එයට පිටුපා කිසිදු වාහනයක් ලීසින් සමාගම් වලට සීසර්ලා මගින් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ නීතිමය හැකියාවක් නැත .

යම් හෙයකින් එවැනි වාහනයක් පැහැරගෙන ගියහොත් එය නීතියට අනුව අපරාධයකි. මංකොල්ලකෑමකී.ලීසිං වාරික නොගෙවා ඇති වාහන පැහැර ගෙන නොයන ලෙස ලීසින් සමාගම් වලට පවා අධිකරණය නියෝග කර ඇති පසුබිමක් තුළ මහනුවර ජාලිය පරාක්‍රමගේ වාහනය ඔහුව මරා දමා බලහත්කාරයෙන් පැහැරගෙන යෑම අපරාධයකි.එබැවින් වහාම එම අපරාධයට සම්බන්ධ පුද්ගලයන්ව පොලිසිය අත්අඩංගුවට ගත යුතුය.මෙම අපරාධය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මහනුවර කෝපරේටීව් ඉන්ෂූවරන්ස් සමාගමේ වාහන අත්පත් කර ගැනීමේ අංශය භාරව සිටින කළමනාකාරවරයාය.

ඔහු සීසර්ලාට දැනුම් දී ඇත්තේ ජාලිය පරාක්‍රම නොව ,ඕනෑම අයෙක්ව මරා දමා හෝ වාහනය පැහැර ගෙන එන ලෙසය.ඒ අනුව සියල්ල සිදු වී ඇත. එසේනම් දැන් කළ යුත්තේ කුමක්ද ?. මේ අහිංසක මනුස්සයාගේ ජීවිතය අහිමි කළ පාපතරයන් අත්අඩංගුවට ගෙන නීතියෙන් උපරිම දඬුවම් පැමිණීම නොවේද ? ලීසින් සමාගමට හිතවත් පොලිසිය මෙය අකුරට කරයිද ? එය බරපතළ ප්‍රශ්නයකි.එසේනම්,මෙහි පරීක්ෂණ කටයුතු වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් කිරීම වැදගත් නොවේද ? ලීසිං සමාගම් වල දොල පිදේනි ඉදිරියේ දෙකට නැමෙන පොලිසිය එම කාර්යය නිසි ලෙස ඉටු කරයිද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.