ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමයෙන්ම මාධ්‍යවේදීයෙකුව ඉතාමත් අභිරහස් ලෙස ඝාතනය කළේ කවුද ? ඒ වෙන කිසිවෙක් නොව, මාධ්‍ය නිදහස වෙනුවෙන් අද මහ ලොකුවට හඬ නගන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ මව වන හේමා ප්‍රේමදාස එකතුවය.

එම ලේ වැකි මාධ්‍ය ඝාතනය අපට කිසි විටෙකත් අමතක කළ නොහැක. නොදන්නා අයට දැනුවත් කරදීමටත්, අමතක වී ඇති අයට එය තවත් මතක් කරදීමටත් මෙය හොඳ අවස්ථාවකි.

මෙලෙස ඉතාමත් සැලසුම්සහගතව ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියා කවුද ? එය සිදු කිරීම සඳහා මුල් වූයේ කවුද ? එම සැලසුම කාගේද ? ඊට හේතු පාදක වූ කරුණු මොනවාද ? ඝාතනයට සෘජුව සහ වක්‍රව සහයෝගය දුන්නේ කවුද ? එම ඝාතනය පොලීසිය සහ අධිකරණය හරහා යටපත් කළේ කෙසේද ? ඒ කුමන ආකාරයටද? මේ සියල්ල අදටත් නීතියෙන් වැළලී ගොස් ඇති කාරණාය.

සැබැවින්ම මෙලෙස ඉතාමත් කුරිරු ලෙස සජිත් ප්‍රේමදාසගේ පියා සහ මව එකතුව කුමන්ත්‍රණය කරමින් ඝාතනයට ලක් කරනු ලැබුවේ දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ විමල්.එස්. සුරේන්ද්‍රවය. 

අදටත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නැත. අපරාධකරුවෝ නිදැල්ලේය. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියා අඩි 6 ක් පොළොව යට වැළලී ගොස් හමාරය.

ඝාතනයට ලක්වූ විමල් එස්.සුරෙන්ද්‍ර

විමල්.එස්. සුරේන්ද්‍ර යනු, දිවයින පුවත්පතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකි. ඔහු ඇත්ත, දවස, සිරිලක, ජනදින සහ අවසානයේ දිවයින පුවත්පතේ සේවය කරන විට වසර 22ක පමණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි අයෙකි. මහනුවර ,කටුගස්තොට ,ගොහාගොඩ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු ඔහු තෙවැනි ඇසකින් කලාත්මකව ලෝකය දෙස බැලූ නිහඬ චරිතයකි.

සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන් සමග සබඳතා පැවැත්වූ ඔහු 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසු එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාස සමග ද සබඳතා පැවැත්වීමට හැකියාව ලැබිණි.

ඒ වනවිට රණසිංහ ප්‍රේමදාසට නිත්‍ය ඡායාරූප ශිල්පියෙක් සිටියේ නැත. එබැවින් ඔහු සිය පුද්ගලික දැන හැඳුනූකම් මත තම පෞද්ගලික ඡායාරූප ශිල්පියා ලෙස විමල් සුරේන්ද්‍රව යොදා ගැනීමට පියවර ගැනිණි. එපමණක් නොව, බොහෝ අවස්ථාවල සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාසගේ පුද්ගලික ජීවිතයේ ඡායාරූප ලබා ගැනීමටද ඔහුව යොදා ගැනිණි.

මෙමගින් විමල් සුරේන්ද්‍ර ඉතාමත් කෙටි කලකින් සජිත් ප්‍රේමදාස පවුලේ විශ්වාසවන්ත ඡායාරූප ශිල්පියෙකු බවට පත් විය. එබැවින් රණසිංහ ප්‍රේමදාස විසින් ආරම්භ කරන ලද ගම්උදා උත්සවවලදීද සිය ඡායාරූප ගැනීමට සජිත් ප්‍රේමදාසගේ පවුලේ අය යොදා ගත්තේ විමල් සුරේන්ද්‍රවය.

ඒ අනුව 1980 දී පමණ අම්පාරේ පැවති ගම් උදා උත්සවයකට සජිත් ප්‍රේමදාස පවුල සමග සහභාගිවී වෙමි න් සිටියදී, විමල් සුරේන්ද්‍ර දැඩි අසනීප තත්ත්වයට පත්විය. එහිදී වහා ක්‍රියාත්මක වූ රණසිංහ ප්‍රේමදාස ඔහුව ගුවන්යානයකින් මහනුවර රෝහලට යවා හදිස්සි ප්‍රතිකාර ලබාදීමට තරම් උත්සුක විය.

සජිත් ප්‍රේමදාස පවුල සහ ඡායාරූප ශිල්පී විමල් සුරේන්ද්‍ර අතර එතරම් සමීප සබඳතාවක් තිබිණි. මේ සුවිශේෂත්වය හේතුකොටගෙන  සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස අතිශය පෞද්ගලික රහසිගත ඡායාරූප ගැනීමටද ඔහුව යොදා ගැනිණි. එම යුගයේ හේමා ප්‍රේමදාස කෙළිලොල් තරුණ දඟකාර තැනැත්තියකි.

හේමා ප්‍රේමදාස

ඒ තුළ ඇය අඩ නිරුවතින් දිය නෑම, නෙට්බෝල් ගැසීම, අඩ නිරුවතින් හිරු රශ්මිය විදීම, ක්‍රීඩා කිරීම ඇතුළු තවත් බොහෝ පෞද්ගලික ක්‍රියාවන් වල යෙදී සිටිමේදී, ලබාගත් ඡායාරූප රාශියක් විමල් සුරේන්ද්‍ර සතුව තිබිණි.

එම ඡායාරූප ඔහු සතුව තිබෙන බව උපාලි පුවත්පත් ආයතනයේ සභාපතිවරයාව සිටි උපාලි විජේවර්ධනටද, දැන ගැනීමට හැකියාව ලැබිණි. එබැවින් ඔහුගේ දැනුම්දීමක් මත දිවයින පුවත්පතේ එම ඡායාරූප අඩංගු කර විශේෂ පිටුවක් පළ කිරීමට සූදානම් කෙරිණි.

එම ක්‍රියාව අහම්බෙන් මෙන් විමල්.එස්. සුරේන්ද්‍ර ගේ ඉතාමත් කිට්ටු හිතවතෙකු වන ඒ වනවිට කෝල්මන්ට් ආයතනයේ සේවය කළ පෝල් රුද්‍රිගූට දැන ගැනීමට හැකියාව ලැබිණි.ඔහු වහාම ක්‍රියාත්මක වෙමින් මේ බව තම මිත්‍රයෙකු වන එවකට එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන බල මණ්ඩලයේ කාන්තා සංවිධානයේ සභාපතිනියගේ ස්වාමිපුරුෂයා වන අරුණ මුදලාලි නමැත්තාට දැනුම් දෙනු ලැබීය.

ඝාතනයට ලක්වූ එස්.සුරේන්ද්‍ර සිය යතුරුපැදිය සමග

ඔවුනොවූන්  ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෝය. එබැවින් මෙම කරුණ කන වැකුණු සැණින් අරුණ මුදලාලි තමන්ගේ දේශපාලන නායකයා වන එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජෝන් අමරතුංගට වහාම දැනුම් දුනි.

එසැණින් ජෝන් අමරතුංග මෙම කරුණ එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාසට දුරකථන මගින් දැනුවත් කෙරිණි. ඔහු ප්‍රකාශ කර සිටියේ හේමා ප්‍රේමදාසගේ නිරුවත් ඡායාරූප පෙළක් දිවයින පුවත්පතේ පළ කිරීමට විමල් .එස්. සුරේන්ද්‍ර පියවර ගනිමින් සිටින බවය.

මින් දැඩි ලෙස භීතියටපත් රණසිංහ ප්‍රේමදාස ,හේමා ප්‍රේමදාසටද කරුණු සැලකර සිටියේය. මෙවැනි ඡායාරූප පෙළක් දිවයින පුවත්පතේ පළවුවහොත්, ඉන් තම පවුලට බලවත් ප්‍රශ්නයක් වන බව සිතූ ඔවුහු වහාම මීට එරෙහිව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ගය ගන්නා ලෙස ප්‍රේමදාස පවුල ජෝන් අමරතුංගට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සිය වගකීම භාරගත් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති ජෝන් අමරතුංග අරුණ මුදලාලි සමග සාකච්ඡා කර මීට අදාළ සැලසුමක් සකස් කෙරිණි. ඒ වනවිට ජායාරූප ශිල්පී විමල් .එස් සුරේන්ද්‍ර නවාතැන් ගෙන සිටියේ බොරැල්ල ,කොටා පාරේ ,අංක 131 දරන ස්ථානයේය.

ජෝන් අමරතුංග

දිනය හරියටම 1981 ඔක්තෝබර් මස 26 වැනිදාය. ඔහුට තම මිතුරා වූ කෝල්මන්ට් ආයතනයේ සේවය කරන පෝල් රොද්‍රිගූගෙන් පණිවිඩයක් ලැබිණි. එම පණිවිඩය මගින් කියවුනේ බොහෝ දිනකින් හමුවී කතා කිරීමට නොහැකි වූ නිසා ” සෙට්වීමට සවස අරුණ මුදලාලිගේ ” නිවසට පැමිණෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු එදින පස්වරු 6.30 ට පමණ සිය යතුරුපැදියෙන් බොරැල්ලේ සිට කඳාන බටගල පිහිටි අරුණ මුදලාලිගේ නිවෙස කරා යෑමට ගමන් ඇරඹිණි. ඔහු එහි යනවිට අරුණ මුදලාලි, ඔහුගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන බල මණ්ඩලයේ කාන්තා සංවිධානයේ සභාපතිනිය ,සහ පෝල් රොද්‍රිගූ සහ තවත් අයෙක් සිටියෝය.

එහිදී ඔවුනොවූන් විවිධ දේවල් සාකච්ඡා කරමින්, අරුණ මුදලාලි සහ බිරිඳ සිය මාතෘකාවට ප්‍රවේශ වෙමින් හේමා ප්‍රේමදාසගේ අඩ නිරුවත් ඡායාරූප පෙළක් දිවයින පුවත්පතේ පළ කිරීමට යෑම පිළිබඳව කතාබහට ප්‍රවිෂ්ට වී ඇත.

එම අවස්ථාවේ අරුණ මුදලාලි සහ බිරිඳ දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ එම ඡායාරූප දිවයින පුවත්පතේ පළ නොකර තමන්ට ලබා දෙන ලෙසය. එම අවස්ථාවේ විමල් සුරේන්ද්‍ර පවසා ඇත්තේ එම කාර්යය තමන්ගේ වගකීමක් නොව ,දිවයින පුවත්පතේ තීරණයක් බවය. එබැවින් එයට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බවත්, ඊට අදාළ ඡායාරූප ලබාදීමේ හැකියාවක් නොමැති බව ඔහු තරයේ ප්‍රකාශ කර ඇත.

මෙම ස්වභාවය තුළ දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇති වී එය දුරදිග ගොස් එහි සිටි පිරිස විමල් සුරේන්ද්‍රට වටකර දිග හරහට පහර දී ඇත. ඉන් බේරීම සඳහා දැඩි සටනක නියැලුණු ඔහු ඉතාමත් අපහසුවෙන් ඉන් මිදී යතුරුපැදියේ නැඟි පලා යෑමට පටන් ගෙන ඇත්තේ හිස් වැසුම, අත්ඔරලෝසුව, මුදල් පසුම්බියද, එහි වැටී තිබියදීය.

රණසිංහ ප්‍රේමදාස

මෙම අවස්ථාවේ අරුණ මුදළාලි ඇතුළු පිරිස තවත් වාහනයකින් ඔහු පසුපස හඹා ඒමට පටන් ගෙන ඇත. ඉන් බේරීම සඳහා ඔහු කඳාන මීගමූව පාරේ පිහිටි එවකට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිටී ජෝන් අමරතුංග ගේ නිවස ඉදිරිපිට යතුරුපැදිය නවතමින් ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

එහෙත් එයට නිවසේ සේවය කරමින් සිටි සිරිල් ජිනදාස නැමැත්තා බාධා පමුණුවා ඔහුට පහර දී ඇත. එසැණින් එතැනට ළඟා වූ අරුණ මුදලාලි ඇතුළු පිරිස විමල් සුරේන්ද්‍රට පොලු මුගුරු වලින් පහර දී සිහිසුන්ව සිටියදී, ජෝන් අමරතුංග ගේ නිවස ඉදිරිපිට මාර්ගයට ඇද දමා පලා ගොස් තිබේ.

මෙම සාහසික අපරාධය සිදු වූයේ 1981 ඔක්තෝබර් මස 26 වෙනිදා රාත්‍රී 8. 20 ට පමණය. ඉන් ස්වල්ප මොහොතකට පසු ජෝන් අමරතුංගගේ නිවසින් කඳාන පොලිසියට ඇමතුමක් ලැබිණි. ඉන් ප්‍රකාශ වූයේ යතුරුපැදි අනතුරකට ලක් වූ පුද්ගලයෙක් තම නිවස ඉදිරිපිට මාර්ගයේ ඇද වැටී සිටින බවය.

ඊට ප්‍රතිචාර දැක්වූ ඒ වනවිට කඳාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල් ජලීල් මහරුප් පාරුක් රාත්‍රි 9.10 ට පමණ එතැනට පැමිණ ඇත. එවිට ඔහුට දැකගැනීමට හැකියාව ලැබී ඇත්තේ මාර්ගය අසල බරපතළ තුවාල ලැබූ විමල් එස් සුරේන්ද්‍ර ගේ සිරුර සහ ඊට ඔබ්බෙන් තිබූ ඔහුට අයත් 9 ශ්‍රී 4180 අංක දරන යතුරුපැදියයි.

එම අවස්ථාවේ ඔහු මැදිහත්වී විමල් සුරේන්ද්‍රව රාගම රෝහලට ඇතුළත් කර ඇතත්, ඔහුගේ තත්ත්වය එතරම් සුබවාදී වී තිබී නැත.එබැවින් රෝහල් වෛද්‍යවරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ ජාතික රෝහලට යවා ඇත.

ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගෙන ඇතත්, එය සාර්ථක වී නැත. 1981 ඔක්තෝබර් මස 27 වෙනිදාට එළිවෙන අලුයම 1.30 ට පමණ ඔහු ජීවිතය හැර ගොස් ඇත. විමල් සුරේන්ද්‍රව රෝහල් ගතකර ඇත්තේ, පහරදීමෙන් බොහෝ වේලාවකට පසුවය.එබැවින් අධික ලේ වහනයවීම හේතුකොටගෙන ඔහුගේ රෝගී තත්ත්වය බරපතළ වී ඇත. පහරදීම සිදු වූ සැනින් රෝහල් ගත කළේ නම්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබිණි.

මෙහි සුවිශේෂී කරුණ නම් ,එක්සත් ජාතික පක්ෂයේ එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ජෝන් අමරතුංගගේ නිවසේ සේවය කළ සිරිල් ජිනදාස නැමැත්තාද එදින රාත්‍රියේ රාගම රෝහලට ඇතුළත් වී ඇත. ඊට හේතු වශයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ එදින රාත්‍රිය 8.20 ට පමණ මීගමුව කඳාන මාර්ගයේ පිහිටි ජෝන් අමරතුංගගේ නිවස ඉදිරිපිට සිටියදී, මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් තමන්ගේ ඇගේ ගැටී තුවාල සිදුවූ බවය.

නමුත් එය සාවද්‍ය ප්‍රකාශයකි. ඔහුට තුවාල සිදු වුයේ යතුරුපැදි අනතුරකින් නොව, විමල් සුරේන්ද්‍ර ,ජෝන් අමරතුංග ගේ නිවසට ජීවිත ආරක්ෂාව පතා ඇතුළුවීමට යෑමේදී, අරුණ මුදලාලි ඇතුළුව පිරිස විමල් සුරේන්ද්‍රට පොලු වලින් පහර දීමට යෑමේදීය.

ඒ වනවිට රාගම රෝහලේ සේවය කළ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ සිරිල් ජිනදාසව වෛද්‍ය පරීක්ෂණයට ලක්කළවිට ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයක සීරීම් තුවාල තිබෙන බව දිස්වී ඇත .එහෙත් ඒවා යතුරුපැදි අනතුරකින් සිදු වූ ඒවා බවට නිශ්චය කිරීමට හැකියාව ලැබී නැත. බොහෝ දුරට ඒවා පහරදීමකදී තෙරපීමකින් සිදුවූ දේවල් විය හැකි බවට වෛද්‍යවරයාගේ වාචික මතය වී ඇත.

ඉතාමත් අපහසුවෙන් බරපතළ තත්ත්වයේ සිටි බව කියමින් රෝහලට ඇතුළු වූ සිරිල් ජිනදාස වෛද්‍යවරයාගේ මතය කෙරෙහි එතරම් මනාපයකින් පසු නොවූ බැවින් ඔහු එදින රාත්‍රී 9. 40 ට පමණ සිය කැමැත්තෙන්ම රෝහලින් පිට වී ගොස් ඇත.

මේ වනවිට කඳාන පොලිසියේ ස්ථානාධිපති ධුරය දැරුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ඩී.ෆ්‍රිනාය. රථවාහන අංශයේ ස්ථානාධිපති ධුරය දැරුවේ පොලිස් පරීක්ෂක මහානාමය. විමල් සුරේන්ද්‍ර ඝාතන අපරාධයේ සුලමුල බොහොමයක් ඔවුන් දන්නවා ඇත.

මෙම ඝාතනයත් සමගම සිරිල් ජිනදාසව කඳාන පොලිස් ස්ථානයට හොර රහසේ ගෙන්වා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දියයුතු ආකාරය පිළිබඳවද රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක් ඔහුට පෙරහුරුවක් ලබා දී ඇත. ඉන් ඔහුට කියා දී ඇත්තේ ජෝන් අමරතුංග ගේ නිවස ඉදිරිපිට සිටියදී, විමල් සුරේන්ද්‍ර අධික වේගයෙන් පදවාගෙන පැමිණි යතුරුපැදිය පාලනය කරගත නොහැකිව තම සිරුරේ ගැටී මෙම අනතුර සිදු වූ බවට සාක්ෂි ලබා දෙන ලෙසය.

නමුත් විමල් සුරේන්ද්‍රව ප්‍රථමයෙන් ඇතුළත් කරන ලද රාගම රෝහලේ රෝහල් පොලිසියට සිරිල් ජිනදාස දෙන ලද කට උත්තරය සහ මරණ පරීක්ෂණය පැවැත්වූ කොළඹ හදිසි මරණ පරීක්ෂකව සිටී වොල්ටර් පෙරේරා ඉදිරියේ දෙන ලද සාක්ෂි එකිනෙකට පරස්පර විරෝධීය. එමගින්ම මෙය අහම්බෙන් සිදු වූ අනතුරකින් සිදුවූ මරණයක් නොව ,සැලසුම් සහගතව සිදු වූ මරණයක් බවට කරුණු ඒ තුළින්ද පෙන්නුම් කරනු ඇත.

එපමණක්ම නොව,කඳාන පොලිසියද මේ පිළිබඳව සර්ව සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිසි ලෙස කරුණු අධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. ඒ සියල්ල හිතාමතාම මඟ හැරියේ ජෝන් අමරතුංග ගේ මැදිහත්වීම මත එම අපරාධය සිදු වූ බැවිනි.

මෙය ඉතාමත් සැකකටයුතු මරණයක් බැවින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විමල් .එස්. සුරේන්ද්‍ර ගේ සහෝදරයා වන ඩබ්ලිව්. එස්. අබේරත්න කඳාන පොලීසියට පවසා ඇත. එම අවස්ථාවේ කඳාන පොලීසිය සහ වත්තල එවකට එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩලයේ කාන්තා සංවිධානයේ සභාපතිනිය ගේ ස්වාමි පුරුෂයා වන අරුණ මුදලාලි ඔහුට තර්ජනය කරමින් බැණ වැදී ඇත.

මෙහි තවත් බරපතළ කරුණක් ඇත. එනම්,මෙවැනි අපරාධයකදී ඔහු පැද ගෙන ගිය යතුරුපැදිය පොලිස් භාරයට ගෙන හදිසි මරණ පරීක්ෂකවරයා ගේ අවධානයට යොමුකර,එය අධිකරණයට ඉදිරිපත් කිරීමය. නමුත් එම ක්‍රියාදාමය මෙහිදී සිදුවී නැත.

සිද්ධියෙන් පසුව පොලිස් බාරයට ගත් එම යතුරුපැදිය කිසිදු නීතිමය ස්ථානයකට ඉදිරිපත් නොකර එය ආපසු නිවස කරා රැගෙන යන ලෙස විමල් සුරේන්ද්‍රගේ සහෝදරයා වන ඩබ්ලිව්.එස් .අබේරත්නට කඳාන පොලීසියේ රථවාහන අංශය මගින් දැනුම් දී ඇත. එහෙත් ඔහු එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත් පසුව ඔහු එය රැගෙන යෑමට පොලිසියට පැමිණ ඇතත්, එය ලබාදීම එම අවස්ථාවේ පොලිසිය ප්‍රතික්ෂේප කර ඇත. තම සහෝදරයාගේ යතුරුපැදිය ලබාදෙන ලෙස පොලීසියට කන්නලව් කරන විට එහි පොලිස් නිලධාරියෙක් අරුණ මුදලාලි ගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ  වත්තල ආසනයේ කාන්තා බලමණ්ඩලයේ සභාපතිනියට කතා කරමින් එම යතුරුපැදිය ඔහුට ලබා දෙන්න ද ? එපා ද ? යනුවෙන් විමසීමක් කර ඇත.

ඉන් ටිකකට පසු සභාපතිනිය කඳාන පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත. බොහෝ වේලාවක් පොලිස් නිලධාරීන් සමග රහසිගතව සාකච්ඡා කරමින් සිට එම යතුරු පැදිය ඩබ්ලිව්.එස් .අබේරත්නට රැගෙන යෑමට අවසර ලබා දී ඇත.

මෙය බරපතළ ගැටලුවකි. සැකකටයුතු බලවත් අපරාධයකට සම්බන්ධ යතුරුපැදියක් පොලිස් නිලධාරීන් භාරයට ගත්විට ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන පොලිසිය කළ යුතු අවස්ථාවක, එම යතුරුපැදිය එක්සත් ජාතික පක්ෂයේ එම සභාපතිනියගේ අවසරය ගෙන මරණකරුගේ සහෝදරයාට ලබාදීමම ලෙහෙසියෙන් ඉවත දැමිය නොහැකි බරපතළ සැකකටයුතු තත්ත්වයක් නොවේ ද ?

ඡායාරූප ශිල්පී විමල් .එස් .සුරේන්ද්‍රගේ ඝාතනයේ සෘජු චූදිතයන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ වත්තල කාන්තා බල මණ්ඩල සභාපතිනිය, ඇගේ සැමියා, පෝල් රොද්‍රිගූ ඇතුළු පිරිසය. එවැනි පරිසරයක් තුළ යතුරුපැදිය නිදහස් කිරීමට පොලිසිය ඔහුගෙන් අවසර පැතුවේ ඇයි ? නිවැරදි ආකාරයට නම්, විය යුතුව ඇත්තේ යතුරු පැදිය අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයේ අවසර මත එය මුදා හැරීමය. එහෙත් මෙහිදී එය සිදු වූයේ නැත.

මෙහිදී පොලීසිය සිදු කර ඇත්තේ අපක්ෂපාතීව පරීක්ෂණ පැවැත්වීම නොව ,ඝාතකයන් සමග එකතුවී පරීක්ෂණ වෙනතකට යොමු කරමින් ඝාතන ක්‍රියාවලිය යටපත් කිරීමය. එය සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාස හා මව වන හේමා ප්‍රේමදාසගේ අවශ්‍යතාව මත ජෝන් අමරතුංග කඳාන පොලීසිය සමග එකතුවී කරන ලද කූඨ වැඩකි.

මෙහි තවත් අපූරු දෙයක් සිදුවිය. එනම්, වත්තල එක්සත් ජාතික පක්ෂ කාන්තා බලමණ්ඩල සභාපතිනිය හා සැමියා වන අරුණ මුදලාලි එකතුවී මියගොස් ඇති විමල් සුරේන්ද්‍ර තම සහෝදරයා බවට ව්‍යාජ රංගනයක යෙදෙමින්  මළසිරුර රෝහල් මෝචරියෙන් රැගෙන ගොස් ඉක්මනින් ආදාහනය කිරීමට උත්සාහ කර ඇත.

නමුත් එයට මෝචරිය අසල ඒ මොහොතේ රැඳී සිටි විමල් සුරේන්ද්‍රගේ ඥාතීන් පිරිසක් විරුද්ධවී ප්‍රශ්න කිරීමට පටන් ගැනීම නිසා එය වියැකී ගොස් ඇත.

මෙහි තවත් බරපතළ කරුණක් ඇත. එනම්, කඳාන අරුණ මුදලාලි ගේ නිවස තුළදී විමල් සුරේන්ද්‍රට පිරිස පහර දෙනවිට ඔහුගේ හිස්වැසුම, අත් ඔරලෝසුව, මුදල් පසුම්බිය ඒ තුළ වැටී සිය ජීවිත ආරක්ෂාව පතා ඔහුට ඉන් පලා ඒමට සිදුවිය.

නමුත් මෙම බඩු භාණ්ඩ තොගය ඉන්පසුව මතුවී ඇත්තේ ජෝන් අමරතුංගගේ නිවසිනි.අරුණ මුදලාලිගේ නිවෙස තුළ තිබූ එම බඩු ජෝන් අමරතුංගගේ නිවසින් මතු වූයේ කෙසේද ? එමගින්ම පෙන්නුම් කෙරෙන්නේ මෙම අපරාධය ජෝන් අමරතුංගගේ සහ අරුණ මුදලාලිගේ මැදිහත්වීම මත සිදු වූ බව නොවේද ?

පසුව මෙම බඩු තොගය කඳාන පොලීසිය මාර්ගයෙන් විමල් සුරේන්ද්‍ර ගේ සහෝදරයා වන ඩබ්ලිව් .එස් .අබේරත්නට ලැබී ඇත. එවිට පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ මෙම බඩු තොගය අනතුර සිදු වූ ජෝන් අමරතුංග ගේ නිවස ඉදිරිපිට පාරේ වැටී තිබියදී ,ඒවා අහුලා කිසියම් පුද්ගලයකු ජෝන් අමරතුංගගේ නිවසට දී තිබියදී හමු වූ බවය.

එහි සත්‍යයක් තිබේ නම්, සැකකටයුතු මිනීමැරුමක් සිදු වී තිබියදී, මරණකරුට අයත් බඩු තොගයක් ජෝන් අමරතුංගගේ නිවසින් ලැබුණා නම්, එම බඩු ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් එම නිවසේ අයගෙන් පොලීසිය කටඋත්තර ලබා ගත යුතුය. නමුත් එවැනි දෙයක් සිදු වී නැත.

ප්‍රථමයෙන්ම විමල් සුරේන්ද්‍රව රාගම රෝහලට ඇතුළත් කර ඇත්තේ නාඳුනන පුද්ගලයෙකු ලෙසය. ඉන් පැය කිහිපයකට පමණ පසු කඳාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ,බොරැල්ල පොලිස් ස්ථානය නිලධාරීයෙක් ,තවත් අයෙක් සමග විමල් සුරේන්ද්‍ර නවාතැන් ගෙන සිටි බොරැල්ල, කොටා පාරේ ,අංක 131 දරන ස්ථානයට පැමිණ ඇත.

ඒ 1981 ඔක්තෝබර් මස 27 වන දා අලුයම 4.20 ට පමණය. විමල් සුරේන්ද්‍ර නාදුනන පුද්ගලයෙකු ලෙස රෝහල් ගත කළේ නම්,ඔහු බොරැල්ලේ නවාතැන් ගෙන සිටි ස්ථානය සොයාගෙන පොලිසිය පැමිණියේ කෙසේද ? එයම සැක සහිත තත්වයක් නොවේද ? පොලිසිය හිතාමතාම දැනුවත්ව වංචනිකව මේ තුළ ක්‍රියාකර ඇති බවක් නොපෙනෙන්නේ ද ?

එලෙස පැමිණි සිව්දෙනකු ගෙන් යුත් පොලිස් පිරිස නවාතැන්පොළට ඇතුළු වී පූර්ණ පරීක්ෂාවකට ලක්කර විමල් සුරේන්ද්‍ර ගේ කාමරයේ තිබූ හේමා ප්‍රේමදාසට අයත් අඩ නිරුවත් ඡායාරූප ඇතුළු තවත් ඡායාරූප ,කැමරාව , වැදගත් ලියකිවිලි සහ බඩු තොගයක් රැගෙන ගොස් ඇත.ඒවාට සිදු වූයේ කුමක් ද යන්න අද වනතුරුත් කිසිදු තොරතුරක් නැත.

යතුරුපැදි අනතුරකින් මෙම මරණය සිදු වූවා නම්, එම යතුරු පැදිය පෙරළී ඒ අසල තිබිය යුතුය. නමුත් මෙම යතුරු පැදිය නවතා තිබී ඇත්තේ ජෝන් අමරතුංග ගේ නිවසට ඇතුළුවන ගේට්ටුව ළඟය.ඉන් පෙන්නුම් කෙරෙන්නේ අරුණ මුදලාලි ඇතුළු පිරිස ඔහුට පහරදීම සඳහා පිටුපසින් පැමිණෙන විට සිය ජීවිත ආරක්ෂාව පතා යතුරුපැදිය ජෝන් අමරතුංගගේ නිවසේ ගේට්ටුව අසල නවතා එම නිවසට ඇතුළු ඇති බව නොවේද?

ඔහු මෙම නිවසට ඇතුළු වී ඇත්තේ ඒ ජෝන් අමරතුංග ගේ නිවස බව දැනගෙන විය නොහැක.දැන සිටියා නම් ,සමහරවිට ඔහු එම නිවෙසට ඇතුළු නොවී ,වෙනත් ස්ථානයකට යෑමට ද ඉඩ තිබිණි. ඊටත් මෙම ඝාතනයේ ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙකු වන ජෝන් අමරතුංග ගේ නිවසටම ජීවිත ආරක්ෂාව පතා ඔහුට ඇතුළුවීමට සිදුවීමම සරදමකි.

මෙම මරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කොළඹ හදිසි මරණ පරීක්ෂක වෝල්ටන් පෙරේරා පවා ලබාදී ඇත්තේ විවෘත තීන්දුවකි.ඊට මූලික හේතුව වී ඇත්තේ මෙය යතුරුපැදි අනතුරකින් සිදු වූ බවට නිශ්චිත  තොරතුරු එම අවස්ථාවේ අනාවරණය වී නොතිබුණු බැවිනි.

එබැවින් අවශ්‍ය වූවහොත් මතු දිනක නැවත ගොඩගැනීමේ අරමුණෙන් යුතුව විමල් සුරේන්ද්‍රගේ දේහය ගිනිදැල් වීමක් නොකර ආදාහනය කර ලෙස මරණ පරීක්ෂකවරයා නියෝග කරමින් දේහය පවුලේ ඥාතීන්ට භාර දී ඇත.

ඒ අනුව එම දේහය මහනුවර, යොහාගොඩ, අංක 466 දරණ නිවසේ පදිංචිව සිටි විමල් සුරේන්ද්‍ර ගේ සහෝදරයා වන ඩබ්ලිව්.එස්. අබේරත්න දේහය භාර ගැන කොළඹ සිට මහනුවරට රැගෙන ගොස් 1981 ඔක්තෝබර් මස 31 වෙනිදා ආදාහනය කරනු ලැබීය.

ඉන්පසුව විමල් සුරේන්ද්‍ර ගේ සහෝදරයා 1981 දෙසැම්බර් මස 14 වැනිදා සහ 1982 මාර්තු මස 19 වැනිදා කොළඹ හදිසි මරණ පරීක්ෂකවරයාට සහ මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව කරුණු දැනුම් දෙමින් තම සහෝදරයාගේ මරණය ඉතාමත් සැකකටයුතු බැවින් මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නද, කිසිදු ප්‍රතිඵලයක් අත් වූයේ නැත.

ඉන් ටික දිනකට පසු මෙම ඝාතනයට සෘජු ලෙසම සම්බන්ධ වූ වත්තල එක්සත් ජාතික පක්ෂයේ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය සහ සැමියා වූ අරුණ මුදලාලි රටින් පලාගොස් තිබිණි. අදටත් මෙය වැළලී ගිය අභිරහස් ඝාතනයකි.

මෙය හූදු මිනිස් ඝාතනයක් නොව, සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාසගේ අඩ නිරුවත් ඡායාරූප දිවයින පුවත්පතේ පළ කිරීමට යෑම තුළ ඔහූව ඉතාමත් සැලසුම් සහගතව මරා දැමීමකි. මෙහි වගඋත්තරකරුවෝ වෙන කවුරුත් නොව, සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාස,හේමා ප්‍රේමදාස, ජෝන් අමරතුංග ඇතුළු පිරිසය.

මේ අපරාධයට සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ කවදාද ? සජිත් ප්‍රේමදාස කෑමොර දෙමින් ප්‍රකාශ කරන්නේ රණසිංහ ප්‍රේමදාස යුගයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන ලෙසය. රණසිංහ ප්‍රේමදාස යුගය සිදුකළ අපරාධ මින් පෙනෙනවා නේද ? මේ අපරාධ ඉතිහාසය අමතක කරමින් මේ රටේ ජනතාව සජිත් ප්‍රේමදාසලාට බලය ලබා දෙනවාද ? 

එසේ වුවහොත් සිදුවන්නේ නැවතත්, රට මිනී කන්නන්ගේ දේශයක් බවට පත්වීම නොවේද ? එබැවින් සිහිබුද්ධියක් ඇති මිනිහෙක් සජිත් ප්‍රේමදාසට නම්,ආණ්ඩු බලයක් ලබාදීමට යන්නේ නැත. ඇත්ත කතාව එයයි.

ශ්‍රී ලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.