ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් කර බැංකු ගිණුමක් විවෘත කර රුපියල් කෝටි ගණනක මුදලක් අයුතු සහගත ඉපැයීම පිළිබඳව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයේ ලිපිගොනු වාර්තා සියල්ලම පොලිසියෙන් අතුරුදහන් වී ඇත.

2015 මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු මෙම සිද්ධිය පිළිබඳව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාස මගින් පුර්ණ පරීක්ෂණයක් පැවැත්විණි. නමුත් 2019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව බලයට පත් වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැර එහි ලිපි ගොනු සියල්ලම රහස් පොලිසිය වෙත භාර කෙරිණි.

නමුත් රහස් පොලීසිය තුල මේ වනවිට එම ලිපිගොනු නොමැත. ඒවා රහස් පොලිසියෙන් රැගෙන ගොස් කිසියම් ස්ථානයක සඟවා තබා හෝ විනාශ කරන්නට ඇති බවට විශ්වාස කෙරේ.

මහජන බැංකුවේ මරදාන ,සුදුවැල්ල ශාඛාව තුළ එම ගිණුම පළමු වරට ආරම්භ කර තිබුණේ 2006 නොවැම්බර් මස 14 වැනිදාය. එය තිනෙකුගේ දායකත්වයෙන් යුතු බද්ද ගිණුමකි. “සිරිලිය ගිණුම” ලෙස හැඳින්වූ එම ගිණූමේ නම් සඳහන් තිදෙනා වන්නේ කේ. කේ .දිසානායක, ඒ.එම්.ජේ.ඒ.කුමාරි සහ එස්. රාජපක්ෂ යනුවෙනි.

මෙහි එස්.රාජපක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂය.සෑම දෙයකටම ශිරන්ති වික්‍රමසිංහ හෝ ශිරන්ති රාජපක්ෂ යනුවෙන් සිය නම යොදන ඇය එස්. රාජපක්ෂ යනුවෙන් මෙම බැංකු ගිණුමට නම යෙදීම තුළින්ද පෙන්නුම් කෙරෙන්නේ චේතනාත්මකව මෙම වංචාවට මූලපූරා ඇති බවය.

ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස බැංකු ගිණුමට යොදා ඇත්තේ 222222222 වී යනුවෙනි. මෙවැනි හැඳුනුම්පත් අංකයක් හිමි ලෝකයේ එකම තැනැත්තිය ශිරන්ති රාජපක්ෂ පමණි. එයද ව්‍යාජ එකකි.

මෙහි අනෙක් තැනැත්තිය වන ඒ.එම්.ජේ.ඒ.කුමාරිගේ හැඳුනුම්පත් අංකය ලෙස එම ගිණුමට යොදා ඇත්තේ 111111111වී යනුවෙනි. එයත් ව්‍යාජ අංකයකි. තුන්වැනි තැනැත්තිය වන කේ .කේ. දිසානායකගේ හැඳුනුම්පත් අංකය ලෙස 587060958 වී යනුවෙන් යොදා ඇති අතර එයද ව්‍යාජයකි.

මහජන බැංකුවේ මරදාන ,සුදුවැල්ල ශාඛාවේ ආරම්භ කර තිබූ මෙම ගිණුමේ අංකය 143-1-001-6235069 ලෙස සඳහන් වෙයි.තිදෙනෙකුගේ දායකත්වයෙන් යුතුව එම ගිණුම ආරම්භ කර තිබුණද ,ගිණූමෙන් මුදල් ලබාගැනීමේදී ,එක් අයෙක් පමණක් අත්සන් කර ලබා ගත හැකි ආකාරයට එය සකස් කර තිබිණි.

මෙම තිදෙනා එකතු වී එම ගිණුම ආරම්භ කරනවිට ඊට අදාල ලේඛන වල ලිපිනයන් තුනක් සඳහන් විය යුතුව ඇතත් ,තුන්දෙනාටම අදාලව එහි ලිපිනය සඳහන් වන්නේ එකකි. එනම්, එහි තිදෙනාගේම ලිපිනය ලෙස සඳහන් වන්නේ කාල්ටන් බංගලාව, තංගල්ල යනුවෙනි.

එසේ වූයේ කෙසේද ? එම තිදෙනාම එකම නිවසේද ? නැත. එනම් ,එම ලිපිනයන් හරහාද ඔවූන් සිදුකර ඇත්තේ වංචාවකි.

ශිරන්ති රාජපක්ෂ සිය කූට ක්‍රියාවන් හරහා මුදල් ඉපයීමට “සිරිලිය සවිය “යනුවෙන් සංවිධානයක් පිහිටුවා තිබිණි. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසුවය. එම කාල පරිච්ඡේදය තුළ “සිරිලිය සවිය” රට තුළ ජනප්‍රිය සංවිධානයක් ලෙස පැවතිණි.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සිරිලිය සවිය සංවිධානයේ ලියාපදිංචිය අංකය 111201 ලෙස සදහන් වෙයි. එහි ලිපිනය ලෙස යොදා ඇත්තේ ජනාධිපති මන්දිරය ,කොළඹ යනුවෙනි. එහි දුරකථන අංකය 011-4733200 ලෙස යොදා ඇති අතර එය ජනාධිපති මන්දිරයේ දුරකථන අංකයයි.

ශිරන්ති රාජපක්ෂ පුද්ගලිකව පිහිට වූ සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානයට ජනාධිපති මන්දිරයේ ලිපිනය සහ දුරකථන අංකය යෙදීමද බරපතළ වරදකි. තමන්ගේ පුද්ගලික දේවල් වලට රාජ්‍ය දේපළ යොදා ගන්නේ කෙසේද?

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර අනිසි ලෙස පිහිට වූ සිරිලිය ගිණුමට වංචනික ආකාරයට ඉපැයූ මුදල් විශාල වශයෙන් ලැබී ඇත.මෙම ගිණුමට අවස්ථා 88 දී රුපියල් 82,900 ,089.00 ක් තැන්පත් කර ඇත.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද” March Event “උත්සවයෙන් එකතු කරන ලද මුදල්ද මෙම ගිණුමට ලැබී ඇත.එම මුදල රුපියල් 7,003,296.00 කි.ඒ බව චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විගණන අංශය මගින් 2013 ජනවාරි මස 15 වැනිදා කරන ලද පරීක්ෂණයකින්ද අනාවරණය වී ඇත.

මෙම ගිණුමේ තිබූ මුදල් අවස්ථා 129 දී ආපසු ලබා ගෙන ඇත.එහි වටිනාකම රුපියල් 39,015,651.00 කි.සිරිලිය ස්ථාවර ගිණුමේද රුපියල් 10,000,000.00 ක් මුදලක් තැන්පත් කර තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිටියදී, සිදු කරන ලද මහා අවි ආයුධ ජාවාරමට අදාල වූ ඇවන්ට්ගාඩ් සමාගමද මෙම ගිණුමට මුදල් දමා ඇත.

මෙම සිද්ධිය පිළිබදව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඇය පැමිණියේ නැත.

එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට දුරකතනයෙන් කතා කරමින් මේ ගැන කරුණු දැනුම් දී ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න නොකරන ලෙස ඉල්ලීමක් කළේය. අවශ්‍යම නම්,මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇයව නොකැඳවා කතානායක නිල නිවස තුළ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබීය.

එවකට කථානායක ධුරය දැරුවේ මහින්ද රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන චමල් රාජපක්ෂය. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අසංක ගුණතිලක ඇතුළු කිහිපදෙනෙක් චමල් රාජපක්ෂගේ නිල නිවසට ගොස් එම ස්ථානයට ශිරන්ති රාජපක්ෂව කැඳවා සාමාන්‍ය ප්‍රකාශයක් ලබාගනු ලැබුවාය.

රාජපක්ෂ පවුලේ පිරිස් එම ස්ථානයට එක්රොක් වී කටයුතු කිරීම නිසා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට නිසි ලෙස ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ නැත.පවුලේ අයගේ බාධාකිරීම් එයට විශේෂ හේතුවක් ලෙස සැලකේ.

කතානායක නිල නිවස යනු, රාජ්‍ය දේපලකි. එම ස්ථානයට මෙවැනි විත්තිකාරියක් රැගෙනවිත් ප්‍රශ්න හැකියාවක් නැත. නිවැරදි ආකාරයට නම් ඇයව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා එය සිදුකළ යුතුය.එහෙත් රනිල් වික්‍රමසිංහ මැදිහත් වී මහින්ද රාජපක්ෂගේ කීමට එම තත්ත්වයන් ව්‍යාර්ථ කරනු ලැබීය.

යහපාලන ආණ්ඩු පාලනය තුළ මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත මෙහි පරීක්ෂණ කටයුතු අඩාල කිරීමට පියවර ගැනිණි.එම නිසා මෙම චෝදනා වලින් ශිරන්ති රාජපක්ෂ අදටත් වංචාකාරීයක් ලෙස නිදැල්ලේ හැසිරෙමින් සිටින්නීය.

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමට අදාළ පරීක්ෂණ මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකළේ ACC/FC/2025/90 අංක දරන පැමිණිල්ලට අනූවය.එහි නීතිපතිට අදාල ලිපිගොනුවේ අංකය CRS/03/2016 ලෙස සැලකේ. මෙම වංචා සහගත සිද්ධියට අදාළව අද වනතුරු ශිරන්ති රාජපක්ෂට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.මේ පරීක්ෂණ ලිපිගොනුවට සිදු වූයේ කුමක්ද ? නීතිමට කටයුතු වලට අත්වූ ඉරණම කුමක්ද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.