රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට මතට තිත සංකල්පය ඇති කරන බවට පොරොන්දු වෙමින් ජනාධිපතිධුරයට පත් මහින්ද රාජපක්ෂ අවසානයේ සිදු කළේ කුමක්ද ? මර්දනය කෙසේ වෙතත් වර්ධනය සිදු කරමින් මතට තිත වෙනුවට තිතට මත රට පුරා ව්‍යාප්ත කරමින් මුළු රටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේශයක් බවට පත් කර කිරීමය.

ඒ ගැන අලුතෙන් අටුවාටිකා ලියවිය යුතු නැත. කාටත් ප්‍රායෝගිකව දෑසින් එය දැක ගත හැකිය. රට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් කිරීමට මහින්ද රාජපක්ෂ පාලනය පමණක් නොව, මහින්ද රාජපක්ෂ පවුලද වගකිව යුතුය.

විමල් වීරවංශ

ඒ බව සනාථ කළ හැකි අලුත්ම කරුණ ඉස්මතු වන්නේ මහින්ද රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන හිටපු අමාත්‍ය වත්මන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂගේ පුත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආනුභාවයෙන් සහ අනුදැනුම හා සහයෝගයෙන් ක්‍රියාත්මක මොනරාගල පොලිස් අධිකාරී කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් නිධන් හාරමින්, නිධන් වස්තු මංකොල්ලකමින්, ගංජා ජාවාරමේ යෙදෙන බවට තොරතුරු අනාවරණයවීමත් සමගය.

කාලයක් ඔහු සේවය කළේ ජාතික නිදහස් පෙරමුණේ හා උත්තර ලංකා සභාවේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙසය. ඒ වනවිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ සිසිල කුමාර හේරත් විමල් වීරවංශගේ දේශපාලන බලය සියතට ගෙන කරන ලද අක්‍රමවත් ක්‍රියා මෙපමණ යැයි කිව නොහැකි තරම්ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්

විවිධ ප්‍රශ්නවලට මුහුණපා සිටින පුද්ගලයන් ඒවාට පිළිසරණක් පතා විමල් වීරවංශ ළඟට පැමිණෙනවිට ඒවාට විසඳුම් ලබාදෙන බවට මැදිහත්වී ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම පමණක් නොව, විමල් වීරවංශට ගංජා සහ කාන්තාවන් සැපයීම සම්බන්ධයෙන්ද සිසිල කුමාර හේරත්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

විමල් වීරවංශගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස ඔහුගේ හොර රහස් වැඩ කටයුතු පිළිබඳව බොහෝ තොරතුරු දන්නා සිසිල කුමාර හේරත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබූ පසු සේවය කළේ මොනරාගල පොලිස් අධිකාරී කොට්ඨාසයේ තණමල්විල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙසය.

එහි සිටියදී, ඔහු ප්‍රථමයෙන් ශෂින්ද්‍ර රාජපක්ෂ සමග සම්බන්ධ වී ඔහුගේ ගෝලයෝ සමඟ එකතු වී මොනරාගල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන වල තිබෙන නිධන් වස්තු මංකොල්ලකමින්, ගංජා ජාවාරමේ යෙදුණේය. අදාළ සිද්ධිය පිළිබඳ මොනරාගල පොලිස් අධිකාරී කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළ දැනට බදුල්ල පොලිස් අධිකාරී කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ලට තොරතුරු ලැබී තිබිණි.

පොලිස් බුද්ධි නිලධාරීන් යොදවා එම තොරතුරු තවදුරටත් සනාථ කර ගැනීමෙන් පසුව සුජිත් වෙදමුල්ල මේ පිළිබඳව සම්පූර්ණ කරුණු ඇතුළත් කර රහස්‍ය වාර්තාවක් 2017 දී එවකට පොලිස්පතිධුරය දැරූ පූජිත ජයසුන්දර වෙත යැවීය. ඔහු එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව එහි බරපතළකම අවබෝධ කරගැනීමෙන් පසුව සිසිල කුමාර හේරත් වහාම ක්‍රියාත්මක වන පරිදි තණමල්විල සිට යාපනය කන්කසන්තුරය දක්වා මාරු කර යවනු ලැබීය.

ටික කලක් එහි සේවය කළ ඔහු සිය දේශපාලන බලය යොදා මාරුව අහෝසි කරගෙන මීගමුව ප්‍රදේශයට පැමිණීමට සමත් විය. 2019 අප්‍රේල් මස 21 දින පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඔහු එහි සේවය කරමින් සිටියදීය. එම ප්‍රහාරය පිළිබඳ කල්වේලා ඇතුව තොරතුරු ලැබීමත් සමග ඔහුගේ බල ප්‍රදේශයට අයත් කටුවාපිටිය කතෝලික දේවස්ථානයේ ආරක්ෂාව තර කරන ලෙස දැනුම් දී තිබියදී, එය ඔහු සිදුකර තිබුණේ නැත.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විශේෂ කොමිෂන් සභා පරීක්ෂණයේදීද ඔහු සිය රාජකාරිය නිසි ලෙස ඉෂ්ට කර නැති බවට කරුණු අනාවරණය විය. එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 265ක් ඝාතනයට ලක්වී තවත් 600ක් පමණ බරපතළ හා සුළු තුවාල ලැබූහ. එම බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම යටතේ සිසිල කුමාර හේරත් ජනාධිපති කොමිසමෙන් වරදකරුවෙකු බවට පත්වී ඇත.

එවැනි ස්වභාවයක් තුළ එම මහා අපරාධයට ඔහුට දඬුවම් කළයුතුවා වෙනුවට සහකාර පොලිස් අධිකාරි ධුරයේ සිට පොලිස් අධිකාරි ධුරයට උසස් කර එතනින් නොනැවතුණු,පොලිස්පති චන්දන වික්‍රමරත්න ඔහුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ධුරයට උසස් කරනු ලැබීය.

එමගින් ඔහු යළිත් වාරිමාර්ග අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මාර්ගයෙන් මොනරාගල පොලිස් අධිකාරී කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත්වීමට සමත් විය. ඔහුට පෙර එම කොට්ඨාසය භාරව කටයුතු කළේ දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකරය. ඔහුට කෙනෙහිලිකම් කර ඉවත්කර එම තනතුර සිසිල කුමාර හේරත් ලබා ගැනීමට තරම් උනන්දු වූයේ ඇයි ?

මොනරාගල පොලිස් අධිකාරි කොට්ඨාසයට පොලිස් ස්ථාන 14 ක් ඇතුළත් වනු ඇත. සියඹලාණ්ඩුව, ඇතිමලේ, දඹගල්ල,මැදගම,බිබිල, බඩල්කුඹුර, බුත්තල, වැල්ලවාය, තණමල්විල, කුඩාඔය, හම්බේගමුව, මොනරාගල ,ඔක්කම්පිටිය මාලිගාවිල, ගෝනගන්ආර යන පොලිස් ස්ථාන 14 ඊට අයත් වෙයි.

අදාළ ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉතාමත් ඓතිහාසික භූමි භාගයකි. එම පොලිස් බල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පූරාවිද්‍යාත්මක ස්ථාන 164ක් පිහිටා ඇත. ඒවායේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පූරාවිද්‍යාත්මක වස්තු ටික ලබා ගතහොත් ඒවා මිල කළ නොහැකි තරම් වටිනාකමකින් යුත් ඒවා වනු ඇත.

එබැවින් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ හා විමල් වීරවංශගේ දේශපාලන බලය සියතට ගනිමින් ඔවුන්ගේ ආනුභාවය ඇතුව එම නිධන් වස්තු මංකොල්ලකමින්, ගංජා ජාවාරමේ නියැලීමට පටන් ගැනිණි.

නීතිය අභිබවා දේශපාලන බලය සියතට ගනිමින් සිසිල කුමාර හේරත් සිදුකරන මේ අනිසි ක්‍රියාවලිය පිළිබඳ ප්‍රදේශවාසීන්ගෙන් හා පොලිස් ස්ථානවල සේවය කරන පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගෙන් පැමිණිලි හා පෙත්සම් පොලිස්පති චන්දන වික්‍රමරත්නට ගලා ඒමට පටන් ගැනිණි.

ඔහු මේවා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහට පැවරීය. එම පරීක්ෂණවලදී මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බොහොමයක් සනාථ කර ගැනීමේ කරුණු ඉදිරිපත් විය.

එබැවින් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව එම ස්ථානයෙන් මාරුකිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කිහිපවරක් උත්සාහ කළද, ඒ සියල්ල සිසිල කුමාර හේරත් වාරිමාර්ග අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මාර්ගයෙන් ව්‍යර්ථ කර ගැනීමට හෙතෙම සමත් විය.

මොනරාගල යනු, නිධන් වස්තු වලට පමණක් නොව, ගංජාවලටද ඉතාමත් සුප්‍රසිද්ධ භූමිබල ප්‍රදේශයකි. එම ජාවාරම් තුළින් විශාල ලෙස මුදල් ඉපයිය හැකිය. එබැවින් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සිය ගෝලයන් හරහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත්වද යොදාගෙන එම ජාවාරම් හිතේ හැටියට සිදුකෙරිණි.

කොළඹ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පිරිසක් සමග සම්බන්ධ වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් සිය පොලිස් නිල රථ යොදාගෙන මොනරාගල සිට කොළඹට නිරතුරුව ගංජා ප්‍රවාහනය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇත. එමගින් ඔහු අතිවිශාල මුදලක් උපයා ඇත.

මෙම ජාවාරම් පිළිබඳව ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රෑන්ක්ලින් ප්‍රනාන්දු, මොනරාගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නොදැන සිටියාද? ඔවුහු මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද ? එම වගකීමෙන් එකී නිලධාරීන්ට ගැලවිය හැකිද ? යන ප්‍රශ්නය මතු වනු ඇත.

මෙම ජාවාරම් ගැන පොලිස් විශේෂ කාර්ය බළකායටද තොරතුරු ලැබී තිබිණි. එබැවින් ඔවුහු නිලධාරීන් කණ්ඩායමක් යොදවා මේ පිළිබඳව සෝදිසියෙන් සිටියදී, ලැබුණු තොරතුරක් මත 2023 ජනවාරි මස 8 වැනිදා රාත්‍රියේ මොනරාගල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් සහ තවත් කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම සෝදිසිය නවත්වා එතනින් නික්ම ගොස් ඇත.

එම රථයේ සිටි කාන්තාව කවුද ? ඇයව වහාම රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ගංජා ජාවාරම සහ නිධන් වස්තු මංකොල්ලය පිටුපස ඇය සමග ඇති සබඳතා මොනවාද ? ඇයගේ ජංගම දුරකථනයද පරීක්ෂණයට භාජන කළ යුතුය. එම කාන්තාව මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමග පැවැත්වූවේ හුදු සම්බන්ධයක් පමණක් නොව, ඊට එහා ගිය විශාල රහසක් ඒ තුළ ඇත. එබැවින් ඇය මෙම පරීක්ෂණ වල වැදගත් සාධකයකි.

 පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පලා ගිය ඔවුන් පසුපස හඹා ගොස් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසට ඇතුළුවී එය පරීක්ෂා කිරීමේදී එහි තිබී කිලෝ 15ක් පමණ බරැති ගංජා පැළ 650 ක් සහ නිධන් හෑරීමේ දී උපයෝගී කරගන්නා පන්දම් ඇතුළු උපකරණ හා නිධන් වස්තු තිබෙන ස්ථාන පිළිබඳව නීරීක්ෂණය කරන යන්ත්‍රයක්ද සොයා ගැනීමට සමත්ව ඇත.

ඉන් පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්, ඔහුගේ සහායක පොලිස් නිලධාරී බොතේජු, මොනරාගල බුද්ධම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් සහ මොරටුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක්  පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන මොනරාගල පොලීසියට භාරදීමෙන් පසුව ඔවුන් ව මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට 2023 ජනවාරි මස 9 වැනි දින ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබී ඇත.

මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න රහස් පොලීසියට පරීක්ෂණ කටයුතු භාර දී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස මොනරාගල සිට 2023 ජනවාරි මස 9 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර පොලිස් ස්ථානයට රැගෙන එනු ලැබීය.

එහි සිරමැදිරියක පිරිස රඳවා තැබීමෙන් අනතුරුව කොළඹ සිට පිටත් වූ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුත් පරීක්ෂණ කණ්ඩායම 2023 ජනවාරි මස 9 වැනිදා රාත්‍රී 8 ට පමණ පස්සර පොලිස් ස්ථානයට පැමිණ පිරිස සිය භාරයට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණි. එය බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ලගේ මැදිහත්වීම මත සිදුවිය.

අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු අයෙකි. ඔවුන්ගේ මුල් නිවස පිහිටා ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට නුදුරිනි. ඔහුගේ තවත් සහෝදරයකු පොලීසියේ සේවය කරනු ඇත. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත්ය.

උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණු සිසිල කුමාර හේරත් කාලයක් සේවය කළේ නුගේගොඩ මිරිහාන පොලිස් ස්ථානයේය. එහි සිටියදීද ඔහු සිදුකළේ එතරම් හොඳ වැඩ නොවේ. පාතාල ලෝකයේ නමගිය අපරාධකරුවකු ලෙස ප්‍රචලිත චින්තක අමරසිංහගේ කල්ලි කණ්ඩායම් සමග එකතු වී අනිසි වැඩවල යෙදිණි.

ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබෙනවිට ඔහු ඒවාට මැදිහත්වී එකී පාර්ශ්වවලින් අල්ලස් ලබාගෙන චින්තක අමරසිංහගේ කණ්ඩායම් සමග එකතුවී ඒවා නිරවුල් කරදීමට මැදිහත් වූයේ පොලීසියේ නීතිය පාතාල නීතියට අනුබද්ධ කරමිනි.

උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණුදා සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් දක්වා උසස්වීම් ලැබෙමින් පැමිණි ගමනේදී, මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් සිදුකර ඇත්තේ නීතිය හා සාමය රකිමින් නීතිගරුකව කටයුතු කිරීම නොව, සිය නිලය අයුතු ලෙස උපයෝගී කරගෙන නීති විරෝධී වැඩ කරමින් දේශපාලන බලය සවියක් කරගෙන අත්තනෝමතික ලෙස කටයුතු කිරීමය.

එබැවින් රහස් පොලීසිය නිවැරදි පරීක්ෂණයක් සිදුකළහොත් එතෙක් මෙතෙක් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ඔහු වටා සිදුවූ විශාල ජාවාරම්  හා ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අත්අඩංගුවට ගත් සියලුම දෙනාගේ ජංගම දුරකථන පරීක්ෂා කළ යුතුය. එමගින් මේ හා සම්බන්ධ වූ පුද්ගලයන්ගේ තොරතුරු පැහැදිලිව නිරවුල් කරගත හැක.

එපමණක් නොව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ රාජකාරි කටයුතු වල නියැලී සිටී ආරක්ෂක පොලිස් නිලධාරීන්ගෙන්, මුළුතැන්ගෙයි සේවකයන්ගෙන්, කාර්යාල නිලධාරීන්ගෙන්, රියැදුරාගෙන් ප්‍රශ්න කළ යුතුය. සිසිල කුමාර හේරත්ගේ ජංගම දුරකථනය පමණක් නොව, රාජකාරි දුරකථනයේද වාර්තා ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කළහොත්, මෙම නීතිවිරෝධී ජාවාරම් වල සුලමුල පමණක් නොව, මැදිහත්කරුවෝද අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මොනරාගල බලප්‍රදේශය තුළ ගංජා ජාවාරමේ හා නිධන් වස්තු මංකොල්ල කෑමේ යෙදී සිටියදී, හසුවූ දෙවැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිසිල කුමාර හේරත්ය. මීට පෙර එවැනි ක්‍රියාවල යෙදී අසුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහොමඩ් ෂෙරීප්ඩීන්ය. ඔහු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ගජ මිතුරෙකි. එබැවින් එම බලය උපයෝගී කරගෙන නීතියේ ඇසට වැලි ගැසෙමින් කාලයක් තිස්සේ නිධන් වස්තු මංකොල්ලකමින් ගංජා ජාවාරමේ නියැලිණි.

දිනක් මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මාර්ග බාධකයක් තුළදී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහොමඩ් ෂෙරීප්ඩීන්ගේ නිල රථය නවතා පරික්ෂා කිරීමේදී එහි ගංජා කිලෝ 5ක් තිබී අසුවිය. එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සූදානම් වීමේදී,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් නිලධාරීන්ට අයුතු ලෙස බලපෑම් එල්ල කරමින් ඉන් මිදී පළා ගියහ.

එහිදී ,පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් ගංජා තොගය සමග ඊට අදාළ කරුණු ගොනු කර බී වාර්තාවක් බුත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පරීක්ෂණ සඳහා නීතිමය උපදෙස් පැතීය. එවිට බුත්තල මහේස්ත්‍රාත් ධුරය දැරුවේ ජානක ප්‍රියන්ත බණ්ඩාරය. ඔහු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහොමඩ් ෂෙරීප්ඩීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කරමින් වරෙන්තු නිකුත් කෙරිණි.

මින් කලබලයට පත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහාම එවකට අගවිනිසුරු ධුරය දැරූ තම මිත්‍රයා වූ සරත් නන්ද සිල්වා හමුවී සිද්ධිය සැලකර උපකාර පෑතීය. එවිට ඔහු දුරකථන මගින් බුත්තල මහේස්ත්‍රාත් ජානක ප්‍රියන්ත බණ්ඩාරට කතා කර දොස් පවරමින් වහාම එම වරෙන්තුව අවලංගු කරන ලෙස දැනුම් දුන්නේය.

නමුත් මහේස්ත්‍රාත්වරයා ඊට එකඟ වූයේ නැත. ඉන් දැඩි අමනාපයට පත් සරත් නන්ද සිල්වා සිය අගවිනිසුරු ධුරයේ බලය අයුතු ලෙස යොදා ගනිමින් බූත්තල මහේස්ත්‍රාත් ජනක ප්‍රියන්ත බණ්ඩාරගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව වෙනත් විනිසුරුවරයකු පත්කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහොමඩ් ෂෙරීප්ඩීන්ගේ වරෙන්තුව නැවත කැඳවා එය අහෝසි කර එම නඩුවෙන් ඔහුව බේරා ගැනීමට අගවිනිසුරුවරයා විසින් පියවර ගන්නා ලදී.

මෙම ස්වභාවය තුළ රැකියාව අහිමි වූ ජානක ප්‍රියන්ත බණ්ඩාරව මහින්ද රාජපක්ෂ විසින් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මහාභාරකාරවරයා ලෙස පත් කෙරිණි. ඉන් නොනැවතුණු මහින්ද රාජපක්ෂ 2010 පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ජානක ප්‍රියන්ත බණ්ඩාරව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කර බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කෙරිණි.

මෙහි තවත් සුවිශේෂී වූ සිද්ධියක් ඇත. එනම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මොහොමඩ් ෂෙරීප්ඩීන් තවත් පිරිසක් සමග බලංගොඩ කැලෑබද ප්‍රදේශයේ නිධන් වස්තුවක් කැනීමට යෑමේදී, ගම්වැසියන් පිරිසකට ආරංචි වී එම ස්ථානය වැටහිය. එහිදී, මොහොමඩ් ෂෙරීප්ඩීන් ගම්වැසියන්ගේ අත්අඩංගුවට පත්වූ අතර සෙසු පිරිස පළා ගියෝය. ගම්වැසියෝ ෂෙරීප්ඩීන්ව අල්ලා හොදටම පහරදී ඇඳුම් ගලවා නිරුවත් කර ගසක බැඳ පොලීසියට බාර දුනි.

නමුත් සිදුවූයේ කුමක්ද ? අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැදිහත්වී නීතියේ රැහැණින් ඔහුව බේරා ගැනීමට පියවර ගැනිණි. අන්තිමට නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. නීතියත් හාමුදුරුවන්ගේය. යන තත්ත්වයට සියල්ල පත්විය.

එම නිසා නිධන් වස්තු මංකොල්ල කමින් ගංජා ජාවාරමේ යෙදුණු වාරිමාර්ග අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විමල් වීරවංශගේ ගෝලයා වන මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් සම්බන්ධයෙන්ද නීතිය සර්ව සාධාරණව ඉෂ්ඨ වේයැයි විශ්වාසය තැබීමට අපහසුය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශය තුළ දී නිධන් මංකොල්ල කෑමේ යෙදුණු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හපුගොඩව මීට පෙර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදා හැර යළිත් පොලිස් සේවයට පැමිණ සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පමණක් නොව, නියෝජ්‍ය පොලිස්පති දක්වා මේ වනවිට උසස්වීම් ලැබ දැනට කොළඹ පොලිස් රථවාහන අංශය භාර ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. නඩුවද වංගුවක් ගසා අවසන් කර ගෙන ඇත.

එම නිසා මතු දිනක මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මෙම නිධන් සහ ගංජා ජාවාරම් නඩුවෙන් වංගුවක් ගසා උසස්වීමක් ලැබ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් නොවුණොත් ,එයත් පුදුම හතෙන් එකක් නොවනු ඇත. කුමන වැරදි සිදුකළද දේශපාලන බලයෙන් ඒ සියල්ල යටපත් කර ගෙන තනතුරු තානාන්තර තවදුරටත් ලබාගෙන ඉහළින් වැජඹීමට ජාවාරම්කරුවන්, වංචනිකයන් සමත් බව මෙයින් පෙන්නුම් කරන දෙයකි.

මෙහෙම පාලනයක් තිබෙන රටකට හරි යයිද ?

ශ්‍රී ලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.