අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන කායිකව හා මානසිකව වධබන්ධනයට ලක් කරන ලද කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක මුහුදු මාර්ග ඔස්සේ මිනිසුන් රට පැටවීමේ මහා පරිමාණ මිනිස් ජාවාරම්වලට හවුල් වූ අයකු බවට කරුණු අනාවරණය වෙයි.

ගෝල්ෆේස් අරගලයෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්ගමුවේ සිරිධම්ම හිමිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදීන් ලෙස සලකා අත්අඩංගුවට ගෙන දැනට මාස හයකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබා ගැනීමට පියවර ගැනිණි.

නමුත් ජාත්‍යන්තරයෙන් සහ විවිධ අංශ වලින් එල්ල වූ දැඩි බලපෑම් හේතුකොට ගෙන පූජ්‍ය ගල්ගමුවේ සිරිධම්ම හිමි පසුගිය දිනක ඇපමත මුදා හළ කළ අතර, වසන්ත මුදලිගේව තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට පියවර ගෙන ඇත.

ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක ඇතුළු නිලධාරීන් පිරිසකි. ඔවුන්ව නාරාහේන්පිට පිහිටි ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ තබාගෙන ඉතාමත් අමානුෂික ලෙස කායික හා මානසික වධ බන්ධනයට ලක් කරමින් ඔවුන් පීඩනයට පත්කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති කරුණකි.

සහකාර පොලිස් අධිකාරී ලසන්ත රක්නායක

කෑම බීම, නිසි ලෙස වාතාශ්‍රය, නිදා ගැනීමට අවශ්‍ය පහසුකම්, බෙහෙත් යනාදිය කිසිවක් ලබා නොදී ඉතාමත් අමානුෂික ලෙස එම කාර්යාංශයේ තබාගෙන අයුතු ලෙස ප්‍රශ්න කරමින් නැති වැරදි පටවා ඔවුන් පීඩනයට ලක් කිරීමට පියවර ගෙන ඇත්තේ මෙම සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායකය.

ඔහු කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයට පැමිණීමට පෙර සේවය කර ඇත්තේ රහස් පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙසය. එහි මිනිස් ජාවාරම් මැඬලීමේ අංශයේ සේවය කරමින් ලසන්ත රත්නායක මිනිසුන් මුහුදු මගින් රට පැටවීමේ ජාවාරමට හවුල් වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පූර්ණ සහයෝගය ඇතිව ඔහුගේ ගෝල බාලයන් පිරිසක් ග්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයේද සහයෝගය ඇතුව මෙම මිනිස් ජාවාරම සිදු කර ඇත.

එම සිද්ධිය පිළිබඳව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කරනු ලද පරීක්ෂණයකදී අනාවරණය වූ කරුණු වලට අනුව සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායකද මෙම ජාවාරමට හවුල් වී ඇති බවට කරුණු හෙළිවී තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

එනම්, 2010 සහ 2015 අතර වර්ෂ වලදී, ජනාධිපති ධුරය දැරුවේ මහින්ද රාජපක්ෂය. එම කාලපරිච්ඡේදය තුළ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මාතර, තංගල්ල, අම්බලන්තොට ඇතුළු තවත් බොහෝ ප්‍රදේශ යොදාගෙන මිනිසුන් මුහුදු මාර්ගය හරහා බෝට්ටු මගින් රට පැටවීමේ ජාවාරම ඉතාමත් විශාල වශයෙන් සිදු විය.

ඒ වනවිට මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දැරුවේ දේශබන්දු තෙන්නකෝන්ය. ඔහු මෙම ජාවාරම පිළිබඳව මාතර පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ යොදාගෙන පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

එහිදී අනාවරණය වූයේ මෙම ජාවාරමට නාමල් රාජපක්ෂගේ ගෝලබාලයින්,නාවික හමුදා බුද්ධි අංශයේ පිරිසක්, සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක ඇතුළු පිරිසක් හවුල් බවය.

එම අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් මෙම සිද්ධිය එවකට පොලිස්පති ධුරය දැරූ එන්.කේ.ඉලංගකෝන්ව දැන්වත් කිරීමෙන් පසු පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩගේ මූලිකත්වයෙන් පරීක්ෂණ දියත් කළද, එම පරීක්ෂණ නිසි ලෙස ඉදිරියට කරගෙන යෑමට හැකියාව ලැබුණේ නැත.

මෙම මිනිස් ජාවාරමට හවුල් නාවික හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙකුව මූලින්ම රැගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වූ සැනින්, එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ ඒකාබද්ධ  බුද්ධි මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ දුරකථන මගින් දේශබන්දු තෙන්නකෝන්ට කතාකර එම පරීක්ෂණ නැවැත්වීමට පියවර ගැනිණි.

එපමණක් නොව,මෙම පරීක්ෂණ සිදු කළ මාතර පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ පරීක්ෂණ වලට අදාළ සියලු ලිපිගොනුද රැගෙන ඔස්ට්‍රේලියාව බලා පළා ගියේය. ඔහුව එහි යැවීමට කටයුතු කර තිබුණේ මිනිස් ජාවාරමට හවුල් ජාවාරම්කරුවන් විසිනි.

එනම්, මෙහි පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ කර විනාශ කර දැමීමට ඊට අදාළ ලිපි ගොනු ද අතුරුදන් කර පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩව ඔස්ට්‍රේලියාවට පිටමන් කිරීමට මුදල් පවා වියදම් කර තිබුණේ මෙහි ජාවාරම්කරුවන්ය.

දීර්ඝ කාලයක් එහි රැඳී සිටි ධම්මික හපුගොඩ එම ජාවාරමේ උණුසුම මැකී ගිය පසු මේ වනවිට ලංකාවට යළිත් පැමිණ සිටින බව දැනගන්නට ඇත. එහෙත් ඔහුට විරුද්ධව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලීසිය පියවර ගෙන නැත. එදා ඔහු අතුරුදන් කරන ලද මිනිස් ජාවාරමේ ලිපිගොනු වලට සිදු වූයේ කුමක්ද ? මෙය අදටත් බරපතළ ප්‍රශ්නයකි.

මෙම මිනිස් ජාවාරම සිදුවන විට රහස් පොලීසියේ නීති විරෝධී මිනිස් ජාවාරම් හා සංක්‍රමිකයන් වැළැක්වීමේ අංශයේ ස්ථානාධිපති ධුරය දැරුවේ, එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ කටයුතු කළ දැනට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවය කරන ලසන්ත රත්නායකය.

මෙම ජාවාරමට ඔහු සම්බන්ධ බවට කරුණු අනාවරණයවීමත් සමග ඔහුව රහස් පොලීසියේ නීතිවිරෝධී මිනිස් ජාවාරම් වැළැක්වීමේ අංශයේ ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කර යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේට මාරු කිරීමට එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විසින් පියවර ගැනිණි.

නමුත් ටික දිනකට පසු ඔහු කෙසේ හෝ රාජපක්ෂලාගේ මාර්ගයෙන් එම මාරුව අහෝසි කරගෙන නැවතත් රහස් පොලීසියට පැමිණීමට පියවර ගැනිණි. ඒ 2014 ජූනි මස 3 වැනිදාය. මෙහි පුදුම සහගත සිද්ධිය නම්, 2015 මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු ලසන්ත රත්නායක රහස් පොලිස් මූලස්ථානය භාර ස්ථානාධිපතිවරයා ලෙස උසස්කර පත් කිරීමය.

පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ

රාජපක්ෂ ආණ්ඩුවේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන බවට පම්පෝරි ගසා බලයට පත් යහපාලන ආණ්ඩුව රහස් පොලීසිය වැනි ඉතාමත් වැදගත් ස්ථානයක ස්ථානාධිපති ධුරයට මෙවැනි මිනිස් ජාවාරම්කරුවෙක් පත් කිරීම තුළින්ම, සිදුකර ඇති බරපතළ හානිය කුමක්ද යන්න පැහැදිලි වනු ඇත.

මෙම මිනිස් ජාවාරම්කරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රහස් පොලිසියෙන් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයට අනුයුක්ත කර පසුව සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කෙරිණි.

දැන් ඔහු එහි සිට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයේ ප්‍රධාන පුරුකක් බවට පත්වෙමින්, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ වලට එරෙහිව කටයුතු කරන ජනතාව හා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් මර්දනය කිරීමට ප්‍රබල වැඩ කොටසක් සිදු කරනු ඇත.

ශ්‍රී ලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.