ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ බලවත් විරෝධයට ලක් වී ඇති රුසියාව අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ඉතාමත් කිට්ටුවන්ත පසමිතුරෝය. ඔවුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත, සහයෝගීතාවය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටීමට පසුබට වූයේ නැත.

ඒ බව කොතෙක් සනාථ කරන්නේ දැයි කිවහොත්,අතුරුගිරිය ඔරුවල වානේ කම්හල, සිමෙන්ති කර්මාන්ත ශාලාව, මිනිරන් පතල් ඇතුළු රටේ විවිධ ආර්ථික මර්මස්ථාන ඇති කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් සැපයූ ඉතාමත් ප්‍රබල රාජ්‍යයකි.

දකුණු ආසියාවේ පැවති හොඳම වානේ කම්හල ලෙස ප්‍රචලිතව තිබූ මෙය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිව සිටියදී කුණු කොල්ලයට විකුණා දැමුවේය.විදේශ රටවල් අපට නොමිලේ දායාද කළ එවැනි ජාතික සම්පත් අධිරාජ්‍යවාදී පිටරැටියන්ට විකුණා ගෙන කෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලකයන්ට ඇත්තේ කිසිවෙකුටත් සමකල නොහැකි නාමයකි.

එපමණක් නොව ,අපේ රටේ දක්ෂ දුවා දරුවන්ට 1961 සිට සෑම වසරකම නොමිලේ ශිෂ්‍යත්ව හතළිහක් පමණ වසරකට ප්‍රදානය කරනු ඇත.එය සිය හැකියාවන් තුලින් ඉදිරියට ගොස් ජාත්‍යන්තරය ජය ගැනීමට අපේ රටේ දූ දරුවන්ට හිමිවන මහඟු අවස්ථාවකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු ඉතාමත් සීඝ්‍රයෙන් රට දැඩි ලෙස ආර්ථික පිරිහීමකට ලක්වෙමින් අරාජික වුවද,රුසියාව අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔවූන්ගේ සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකා වෙත සේන්දු කළෝය.

එමඟින් මසකට ගුවන් ගමන් වාර 24 ක් පමණ සිදු කරමින් රුසියානු සංචාරකයින් වරින් වර ශ්‍රී ලංකා වෙත පැමිණියෝය .ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක පමණ මුදලක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

1960 සිට සෙසු රටවල් හා සංසන්දනාත්මකව බලන කල ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා රුසියාව ගුවන් ගමන් වාර 25% ක් පමණ ලංකාව තුළ සිදුකර ඇත. ලංකාවේ ආර්ථිකයට ඔවූන් සපයා ඇති දායකත්වය ඉන් පිළිඹිබු වනවා ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුකොටගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක හා වෙනත් චෝදනා එල්ල කර කුඩුපට්ටම් කිරීමට සැරසුණු සෑම අවස්ථාවකම ඒවාට විරුද්ධ වෙමින් ශ්‍රී ලංකා වෙනුවෙන් පෙනී සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් දක්වා ලංකාව බේරා ගත්තේ රුසියාව විසිනි.

එපමණක් නොව,කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන පොහොර, කෘමි නාශක ඇතුළු ද්‍රව්‍ය ඉතාමත් අඩු සහ සහන මිලට සැපයීමට රුසියාව නිරතුරුව ක්‍රියා කළේය. රට තුළ බරපතළ ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන මෙවන් අවස්ථාවක ඉන්ධන පවා ලෝක වෙළදපොළේ පවතින මිලට වඩා 35% ක අඩුවකින් ලබාදීමට ඔවුන් එකග විය.

නමුත් ඇමරිකාව ආණ්ඩුවට එල්ල කළ බලපෑම් හේතුකොටගෙන අඩුවට සැපයූ එම ඉන්ධන ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පියවර ගත්තේ නැත. සිදු කළේ වැඩි මිලට ඉන්දියාවෙන් සහ වෙනත් රටවල් වලින් තෙල් ලබා ගැනීමය.

එයත් සිදු කළේ ඉතාමත් අපූරු ආකාරයටය. එනම්,එම රටවල් රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදීගෙන ඒවා අනෙක් පැත්තෙන් අපේ රටට වැඩිමිලට විකිණීමය. දිවා රෑ නොතකා දින ගණන් පෝලිමේ සිට හෝ මිනිසුන්ට වැඩි මිලට තෙල් මිලදී ගැනීමට හැකි වී ඇත්තේද ආණ්ඩුවේ තකතීරු එම කූඨ ක්‍රියා නිසාය.

දසක කිහිපයක් තිස්සේ අපේ රටට ඇස්බැස්ටෝස් ආනයනය කළේ රුසියාවයි. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීමේ ප්‍රධාන ගැනුම්කරුවකු වූයේ රුසියාවයි .මේ නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ඉතාමත් සීග්‍ර ලෙස ඉදිරියට රැගෙන යමින් රටේ ආර්ථිකයට පමණක් නොව, මහජනතාවගේ ආර්ථික සුබසිද්ධියටද එය විශාල පිටුවහලක් සැපයීය.

නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව පැවැති වකවානුව තුළ මෛත්‍රීපාල සිරිසේන රුසියාවෙන් ඇස්බැස්ටෝස් ආනයනය කිරීම තහනම් කළේය. ඊට හේතු වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ ඇස්බැස්ටෝස් වලින් පිළිකා කාරක රෝග ඇති විය හැකි බවය.

මින් අපහසුතාවයට පත් රුසියාව ප්‍රකාශ කර සිටියේ ලංකාවේ තේ වලට කුඩා කෘමී වර්ගයක් කලවම් කර ඇති බැවින් තවදුරටත් ලංකාවෙන් තේ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බවය. එය ආණ්ඩුවට එල්ල වූ බරපතළ ප්‍රහාරයකි. ඉන් තේ දළු වල මිල ශීඝ්‍ර ලෙස පහළ ගොස් තේ වවන්නෝ දැඩි අපහාසුතාවයට පත්වෙමින් තේ කර්මාන්තය දැඩි අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් ඉස්මතු විය.

ඉන් බේරීම උදෙසා අවසානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇස්බැස්ටෝස් ආනයනය කිරීම සඳහා පැනවූ තහනම ඉවත්කර තවදුරටත් රුසියාවෙන් ඇස්බැස්ටෝස් මිලදී ගැනීම උදෙසා අවශ්‍ය කරන වෙළෙඳපොළ විවෘත කරදී රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කර තේ ලබාදීම සඳහා රුසියානු වෙළෙඳපොළ විවෘත කර ගත්තේය.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ඇරඹීමත් සමග ලෝකයේ බොහෝ රටවල් වලට රුසියානු ගුවන් යානා පියාසර කිරීම ඇණ හිටිණි.නමුත් එම ක්‍රියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවූන් අනුගමනය කළේ නැත.ශ්‍රී ලංකාව දිගුකාලීන මිත්‍ර රටක් බැවින් දෙපාර්ශ්වය අතර තිබෙන සූහද සබඳතාවය හේතු කොටගෙන හොඳ විශ්වාසයකින් යුතුව ශ්‍රී ලංකාවට ගුවන්යානා එවීමට ඔවුන් පියවර ගැනිණි.

එතරම් විශ්වාසනීය තියුණු සබඳතාවකින් තිබූ රුසියාවේ ගුවන් යානයක් හිටි අඩියේම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්වීම නැවැත්වීමත් සමග දෙපාර්ශවය අතර ඇති වුණේ දරුණු බරපතළ මතභේදාත්මක අමනාපයකි.

නිශ්චිත දුරදක්නා නුවණකින් කල්පනා නොකර මෙවැනි අදබාල අමනෝචිත ක්‍රියාවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙළඹුණේ ඇයි ? මේවා ලංකාවේ කල්ලි කණ්ඩායම් හා කුළල්කා ගන්නා දේශපාලන පක්ෂ අතර සිදුවන තත්ත්වයක් ලෙස සලකා විසඳාගත හැකි ප්‍රශ්න නොවේ. මේවා රටට ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරන කරුණුය. එම නිසා ඒවාට අත පෙවීමේදී ඉතාමත් සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කළ යුතුය.

නමුත් මෙහිදී එවැනි බුද්ධිමත් භාවයක් නොතිබූ බැවින් එය බරපතළ ප්‍රශ්නයක් දක්වා දුර දිග ගියේය.අද රට තුළ පවතින්නේ ආණ්ඩුවක් නොව, කල්ලි කණ්ඩායම් හා ජාවාරම්කරුවන් විසින් තමන්ගේ හිතුමනාපෙට පාලනය කරමින් තිබෙන ජාවාරම්කාර තිප්පොළකි.

සැබවින්ම මෙම ගුවන් යානා ප්‍රශ්නය මතු වූයේ එවැනි ස්වභාවයක් තුළය. මෙය යුක්රේන රුසියා යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැක. එනම් ,යුක්රේනය යනු සෝවියට් සමූහාණ්ඩුව හා බැඳුණු රාජ්‍යකි. එය 1991දී මිහායිල් ගොර්බචොෆ් නම් රුසියානු ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙළ නිසා රුසියානු සමූහාණ්ඩුව බෙදී වෙන්වී ගියේය.

එමඟින් රුසියානු සමූහාණ්ඩුව රටවල් තිහක් වශයෙන් කැඩී වෙන් වී ගියේය. ඉන් එක් රටක් වන්නේ යුක්රේනයයි.ඇමරිකානූ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවය මත සිදු වූ එම බිඳී යෑමෙන් සෑදුණු විශාලම රාජ්‍යය වූයේ රුසියාවයි.

රුසියාව තමන්ට අවශ්‍ය ආකාරයට නතු කර ගැනීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට හැකියාව ලැබුණේ නැත. නමුත් යුක්රේනය ඇමරිකන් ගැති රාජ්‍යයක් බවට පත්විය.ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගනිමින් රුසියාවට එරෙහිව කටයුතු කිරීමේ තත්ත්වයක් දක්වා ඉදිරියට ගියේය.

එම අවස්ථාවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිරතුරුව ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය ලබා නොදෙන ලෙසය.එසේම එහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් වළකින ලෙසද රුසියාව යුක්රේනයට අවස්ථා කිහිපයකදීම දැනුම් දෙනු ලැබීය.

මන්ද ,යම් හෙයකින් එලෙස ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය යුක්රේන ලබාගතහොත්,ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට රුසියාව මර්දනය කිරීම සඳහා සතුරු රාජ්‍යයක් ලෙස යුක්රේනය යොදාගැනීමට ඇමරිකාවට හැකියාව ලැබෙනු ඇත.එය රුසියාවේ පැවැත්මට බරපතළ තර්ජනයකි. එම නිසා එය වැළැක්වීම සඳහා නිරතුරුව රුසියානු ජනාධිපතිවරයා උත්සාහයක නියැලිණි.

නමුත් ඊට පිටුපා යුක්රේන ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගැනිණී. එම තත්ත්වය ඉවසුම් නොදුන් රුසියානු ජනාධිපතිවරයා 2022 පෙබරවාරි මස 28 වෙනිදා යුක්රේනයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ රටවල් හරහා රුසියාවට සම්බාධක පැනවිය. එහි එක් සම්බාධකයක් වුයේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ හා නඩත්තු වලට අවශ්‍ය බඩු බාහිරාදිය රුසියාවට සැපයීම නතර කිරීමය. මේ නිසා රුසියාව දැඩි අසීරු තත්ත්වයකට මුහුණ පෑවේය.

රුසියාව අයර්ලන්තයෙන් ලීසිං ක්‍රමයට විවිධ අවස්ථාවල ගුවන් යානා 500 ක් පමණ ලබාගෙන ඇත.ගුවන් යානා අමතර කොටස් සැපයීම රුසියාවට තහනම් කිරීමත් සමග රුසියාව සිදුකළේ එම යානා වලට ලීසිං ගෙවීමට අපහසු බැවින් ලීසිං ගෙවීම ප්‍රතික්ෂේප කිරීමය.

මේ තත්ත්වය තුළ අයර්ලන්තයද දැඩි ප්‍රශ්නයකට මුහුණ පෑවේය.එවිට ඔවුන් උත්සාහ කළේ ලෝකයේ විවිධ රටවලට පියාසර කරන රුසියාවට අයත් මෙම ගුවන් යානා එම රටවල් වලට පියාසර කළ පසු ඒවා එම රටවල ගුවන් තොටුපළවල් හරහා අත්පත් කරගෙන සිය බාරයට ගැනිමටය.

මේ ක්‍රියාව දියත් කිරීම සඳහා අයර්ලන්තය රටවල් කිහිපයක් හරහා උත්සුක වුවද එයට එම රටවල් අකමැති වූ බැවින් ඒ සඳහා ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සැලසුණේ නැත.මෙම අනතුරු සහගත තත්වය හමුවේ රුසියාවද බොහෝ රටවලට ගුවන් යානා පියාසර කිරීම අත්හිටුවනු ලැබීය.

එවැනි තත්ත්වයක් තුළ සමහර රටවලට රුසියාව ගුවන් යානා පියාසර කළේ එම රටවල් සමග කතාබහ කර ගුවන් යානා අත්පත් කර නොගන්නා බවට සහතික වීමෙන් පසුවය.ශ්‍රී ලංකාව ද රුසියාවට සහතික වී තිබුණේ එවැනි කිසිදු අත්පත්කර ගැනීමක් සිදු නොකරන බවය.

එම විශ්වාසය මත රුසියාවේ සිට පැමිණි එරෝප්ලොට් ගුවන් සේවයට අයත් එම්.එස්. 1301 අංක දරන ඒ 330 එයාර් බස් රථය කටුනායක ගුවන් තොටුපොළින් පිටත්වීමට නියමිතව තිබියදී ,2022 ජූනි මස දෙවැනිදා අධිකරණ නියෝගයක් යැයි කියමින් පියාසර කිරීම අත්හිටුවනු ලැබීය.

එම අවස්ථාවේ මෙම ගුවන් යානයෙන් රුසියාව බලා පියාසර කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයේ 30 ක් සමග ගුවන් මගින් 191 ක් එහි සිට ඇත. ඔවුන් සියලුම දෙනාම ගුවන් යානයෙන් බස්සවා අවසානයේ හෝටල් කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඉන් කුපිත වූ රුසියාව දැඩි තීරණයකට එළැඹෙමින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේව වහාම එරට විදේශ අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳව දැඩි විරෝධය ප්‍රකාශ කරමින් සිය අප්‍රසාදය පළකර ඇත. ඉන් නොනැවතුණු ඔවූන් ගුවන් යානා දෙකක් ලංකාව වෙත එවා ලංකාවේ සිටි රුසියානු ජාතිකයින් පන්සියයකට අධික පිරිසක් ආපසු රැගෙන ගොස් ඇත.

මේ තුළින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් මතු වෙමින් ලංකාවට ගුවන් ගමන් වාර අත්හිටුවමින් ආර්ථික ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් රුසියාව ඉදිරියට යෑමේ තත්ත්වයක් මතුවිය. මෙවැනි අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවීමට ආණ්ඩුව කටයුතු කළේ ඇයි ?

රුසියානු ගුවන් යානා ලීසිං ප්‍රශ්නය කිසිසේත්ම ලංකාවට අදාල දෙයක් නොවේ. එය රුසියාව සහ අයර්ලන්තයේ සෙලෙස්තියන් ඒවේෂියන් ට්‍රේඩින් ලිමිටඩ් සමාගම අතර ඇති වූ ප්‍රශ්නයකි. එය අපේ ප්‍රශ්නයක් ලෙස සලකා අපේ කරේ දමා ගත්තේ ඇයි ?

මෙවැනි ප්‍රශ්නයකට අත දැමීම තුළින් ශ්‍රී ලංකාවට කිසිම සුගතියක් අත්වන්නේ නැත.සිදුවන්නේ නැති ප්‍රශ්න ඇති කර ගැනීමකි.ජාත්‍යන්තර අර්බුදයක් නිර්මාණය කර ගැනීමකි.

ශ්‍රී ලංකාව යනු, මේ වනවිට දේශපාලන සහ ආර්ථික වශයෙන් අරාජික වූ රටකි.එසේම මුදල් වලට ඕනෑම දෙයක් කරගත හැකිය යන්න ලෝකයා තුළ රට පිළිබඳව ඇති චිත්‍රයකි. මේ ස්වභාවය තුළ අයර්ලන්තය උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ මුදල් වලට ඕනෑම දෙයක් කරන නීතිඥවරු කිහිපදෙනෙක්ද අල්ලාගෙන අධිකරණයද එයට ඈඳාගෙන මෙම ගුවන් යානය තමන් සතුකර ගැනීමටය.

ඒ අනුව රුසියානු ගුවන් යානය ගුවන් ගතවීමට පෙර අයර්ලන්ත සමාගම නීතිඥවරුන් කිහිප දෙනෙක් අල්ලා ගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ කඩිමුඩියේ නඩුවක් පවරා ගුවන් යානයට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමය.

වාරණ නියෝගය ලබා ගැනීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ නීතිඥ අරුණ ද සිල්වා සහ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල්වරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් ගුවන් පර්යන්තයේ නවතා තිබු ගුවන් යානයට බලහත්කාරයෙන් ගොඩවැදී පාලක මැදිරියට කඩාවැදී එහි ගුවන් නියමුවන්ට බැණ වැද තර්ජනය කර අධිකරණ නියෝගයක් ඇති බැවින් ගුවන් යානය ගුවන් ගත කිරීම වහාම නතර කරන ලෙස නියෝග කර ඇත.

වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග ප්‍රකාශ කරන්නේ ගුවන් යානය ගුවන් ගතවීමට නොහැකි ලෙස තමා වාරණ නියෝගයක් නිකුත් කර නොමැති බවය. තමා කළේ ගුවන් යානයට නොව ,ගුවන් සමාගමට එරෙහිව වාරණයක් නිකුත් කිරීමක් පමණක් බවය.

මෙය ප්‍රශ්න සහගත කරුණකි. ගුවන් යානයට වාරණ නියෝගයක් පනවා නොමැති නම් , ප්‍රශ්නය පැන නැගුණු අවස්ථාවේම වගකිවයුතු පාර්ශ්වවලට ඒ බව ගුවන් යානයේ කපිතාන්වරයාට දැනුම් දී ගුවන් යානයට පිටත්වීම සඳහා අවකාශ සැලසීමේ හැකියාව තිබුණි.

නමුත් එවැනි දෙයක් සිදුවූයේ නැත.සිදුවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මෝසමක් මගින් නැවත නඩුව 2022 ජූලි මස 6 වැනිදා කැඳවා වාරණ නියෝගය අත්හිටුවා ගුවන් යානයට පිටත්වී යෑම සඳහා අවසර ලබාදුන් බවට කියැවුණු කරුණකි.

ගුවන් යානයට පිටත්වීම සඳහා එවැනි වාරණයක් නොතිබුණේ නම්, මෙලෙස නැවත අත්හිටූවුයේ කුමන වාරණයද ? ගුවන් සමාගමට දමා තිබූ වාරණයද ? ගුවන් යානයට දමා තිබූ වාරණයද ? මෙය තුළ ඇත්තේ බරපතළ පරස්පරතා විරෝධී කරුණුය. තමන්ගේ ඇඟ බේරා ගැනීම සඳහා කරන නන් දෙඩවිළිය.

එසේ නැත්නම්,අධිකරණ නියෝගයට පිටින් යෑමට පිස්කල්වරයාට තිබූ හදිසිය කුමක්ද ?

පිස්කල්වරයා නීතිඥවරයා සමග එකතුවී වැරදි ලෙස මෙම නඩු තීන්දුව අර්ථකථනය කරමින් ගුවන් යානයට පිටත්වීමට නොහැකි ලෙස කටයුතු කර ඇද්ද ?.පිස්කල්වරයා සහ නීතිඥවරයා අයුතු ලෙස ගුවන් යානයට ඇතුල් වී බලහත්කාරය පාන ආකාරයට අදාළ සීසීටීවී දර්ශන පවා මේ වනවිට ඇත.

පිස්කල්වරයා තමන්ගේ පුද්ගලික හිතුමනාපෙට මෙය කළා යැයි විශ්වාස කළ හැකිද ? මෙය වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග ගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුවූ දෙයක්ද ? තිරය පිටුපස ඇති කතාවට අනුව නම්, මහාධිකරණ විනිසුරුවරයා, පිස්කල්වරයා සහ අදාළ නීතිඥයන් ගේ අනුදැනුම ඇතිව මෙම සියල්ල සිදුවී ඇති බව කියැවෙයි. එය සත්‍යයක්ද ?

මෙම කරුණු කාරණා පිටුපස ලක්ෂ සීයක අල්ලස් ගණුදෙනුවක් සිදුවී ඇති බවටද ප්‍රකාශ වී තිබෙන කරුණකි .එම නිසා මෙය කිසිසේත්ම බැහැර කළ හැකි සුළු කොට තැකිය හැකි සිද්ධියක් නොවේ. මහාධිකරණ විනිසුරුවරයාගේ, පිස්කල්වරයාගේ, සිද්ධියට සම්බන්ධ නීතිඥවරුන්ගේ සහ ඔවුන්ට අදාළ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ ජංගම, නිවාස සහ රාජකාරී දුරකථන සහ බැංකු ගිණුම් සහ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම වැදගත් කරුණකි.

සාමාන්‍යයෙන් අප දන්නා ක්‍රමයට නම්, කිසියම් වාහනයක් ලීසිං ගෙවීම පැහැර හැරීම තුළ ඊට එරෙහිව නඩු පවරන්නේ එය මිලදී ගත් නම සඳහන් පුද්ගලයාට හෝ ආයතනයට විරුද්ධවය.එහිදී වාහනයට මාර්ගයේ ධාවනයට ඉඩදිය නොහැකි බවට වාරණයක් හෝ නඩුවක් පැනවෙන්නේ නැත.

දැන් මෙහිදී සිදුවී ඇත්තේ අදාළ ආයතනයට සහ ගුවන් යානයේ ගමනට යන දෙකටම වාරණ නිකුත් කිරීමද යන ගැටළුව මතුවෙයි.එසේ නොවේ නම්, ගුවන් යානයට ගුවන්ගතවීමට නොහැකි ලෙස අවහිර කළේ ඇයි ?

මෙම සිද්ධියට අදාළ කරුණු කිසිවක් නොදැණූවත්ව , අතපසුවීමකින්, වැරදිමතයකින් හෝ නිසි අවබෝධයක් නැතිකම නිසා සිදු වූ දෙයක් ලෙස පිළිගැනීමට අපහසුය.මෙය තනිකරම මූදල් කුට්ටියක් වෙනුවෙන් රට බිල්ලට දුන් අවස්ථාවක් ලෙස සැලකිය හැක.

ජාත්‍යන්තර වශයෙන් මේ වනවිට උඩුදුවා ඇති ශ්‍රී ලංකාවට ඉතාමත් අහිතකර බලපෑමක් එල්ල වී තිබෙන මෙම ප්‍රශ්නය පිළිබඳව ඉක්මන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය.එහෙත් එවැනි දෙයක් නිශ්චිත වශයෙන් සිදුවේද යන්න මෙම ආණ්ඩුවේ කල් ක්‍රියාව දෙස බලනවිට මතුවන සැකයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published.