එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය ඊට වගකිවයුතු මිනීමරුවාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකළ පසු ඔහුට ඇප ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගවිනිසුරුවරයාට දුරකථන මගින් බලපෑම් එල්ල කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳ අගවිනිසුරුවරයා උපරිමාධිකරණ ලේඛකාධිකාරීවරයා මගින් රහස් පොලීසියට සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට අදාළ සියලු තොරතුරු සහ වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට රහස් පොලිසිය සමත් වී ඇත.
රත්නපුර ,කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වන ශාන්ත දොඩම්ගොඩව 2015 ජනවාරි මස 5 වැනිදා වෙඩි තබා ඝාතනය කර තවත් කිහිප දෙනෙකුට තුවාල කරනු ලැබීය.එම අපරාධය සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුළු කිහිප දෙනෙකු විසිනි.
එනම්, 2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට පුරා පැවතියේ විශාල මැතිවරණ උණුසුමකි.එහි ප්‍රධාන තරගකරුවන් වූයේ පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුගේ ප්‍රතිවාදියා ලෙස මහින්ද රාජපක්ෂය.
මෙම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පැවති අවසන් මහා රැළි අතරින් එක් රැළියක් කහවත්ත ප්‍රදේශයේදී පැවැත්විණි.ඒ 2015 ජනවාරි මස 5 වැනිදා රාත්‍රියේය.මෛත්‍රිපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැළියට විශාල ජනතාවක් පැමිණියෝය.
එහිදී ,මහින්ද රාජපක්ෂගේ පිල නියෝජනය කළ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුළු පිරිසක් කඩු, පොලු ,කිනිසි සහ තුවක්කු ගෙන එම ස්ථානයට කඩාවැදී පහරදී වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළා ගියෝය.
ඉන් මෛත්‍රිපාල සිරිසේනගේ ජීවිතේ බේරුණේ අනූනවයෙනි .එහෙත් ඔහුගේ ජයග්‍රහණය පතා එම රැළියට සහභාගී වූ ශාන්ත දොඩම්ගොඩ ඝාතනයට ලක්වී තවත් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
මෙම සිද්ධිය සිදුවී හරියටම දින තුනකට පසු එනම්, 2015 ජනවාරි මස 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කර රනිල් ,මෛත්‍රී යහපාලන ආණ්ඩුව පිහිටුවනු ලැබීය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ රහස් පොලිසිය වෙත යොමු කෙරිණි. ඒ සමග ප්‍රහාරයට වගකිවයුතු ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිස සැඟවුණි.
රහස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී ,අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු සහ මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි නන්දිමිත්‍ර ඒකනායකට අයත් නිවසක සැඟව සිටියදී, ප්‍රේමලාල් ජයසේකරව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි විය. ඒ 2015 ජනවාරි මස දහ වැනිදාය.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දීර්ඝ කාලයක් ඔහුට ඇප ලැබුණේ නැත.ඇප ලබා ගැනීම සඳහා පවුලේ ඥාතීන් උත්සාහ කළද ,එය එතරම් සාර්ථක වුයේ නැත.
2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රේමලාල් ජයසේකර රිමාන්ඩ් බාරයේ සිට මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රයටද අත්සන් කළේය.මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ඉහළම මනාප ලබා ගනිමින් ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන්ම ප්‍රථමයා බවට පත්විය.
මිනීමරුවන්ව හිරේ විලංගුවේ යවනවා වෙනුවට මහජනතාව සිදු කරනු ලැබුවේ ඔවුන්ව මනාප ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමය. මෙවැනි ඡන්දදායකයන් සිටින රටකට සුගතියක් අත්වේද ? මෙවැනි ස්වභාවයක් තුළ මෙතරම් හෝ ශ්‍රී ලංකාව ඉතිරි වී තිබීම අරුම පුදුම දෙයකි.
ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවද, ඔහුට ඇප ලබා රිමාන්ඩ් භාරයෙන් නිදහස්වීමට හැකියාව ලැබුණේ නැත. දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ කාලය ගත කිරීමට සිදුවිය.
මේ ස්වභාවය තුළ ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රේමලාල් ජයසේකරට ඇප ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහයෝගය ලබා ගැනීමට තීරණය කෙරිණි. එම කාර්යය මෛත්‍රීපාල සිරිසේන සමග කතාකර කිරීමේ වගකීම ප්‍රේමලාල් ජයසේකරගේ මස්සිනා කෙනෙකු වන සබරගමුව පළාත් සභාවේ සමාජ, සුබසාධන ,පරිවාස ,ළමාරක්ෂක ,ග්‍රාමීය ,ග්‍රාම සංවර්ධන අමාත්‍යව සිටි බෙලිගස්වත්ත අක්කර කුරුප්පු මුදියන්සේලාගේ රංජිත් බණ්ඩාර වෙත පැවරිණි.
ඒ අනුව ඔහු 2015 අගෝස්තු මස 28 වැනිදා පෙරවරු 9.15 ට පමණ මෛත්‍රිපාල සිරිසේන මුණගැසී තම කාර්යය ඔහු වෙත ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන දුරකථනයෙන් එවකට අගවිනිසුරු ධුරය දැරූ කේ.ශ්‍රි පවන් වෙත කරුණු ඉදිරිපත් කර ඔහුට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉඩප්‍රස්ථා ලබාදෙන ලෙස දැනුම් දී තිබේ.
ඉන් පසුව මෛත්‍රිපාල සිරිසේන සබරගමුව අමාත්‍ය රංජිත් බණ්ඩාර වෙත දැනුම් දී ඇත්තේ අගවිනිසුරුවරයාට දුරකථනයෙන් කතා කර ප්‍රේමලාල් ජයසේකරගේ නඩු අංකය සහ අදාළ විස්තර ලබා දෙන ලෙසය.
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකරගේ මස්සිනා වන සබරගමුව පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර 2015 අගෝස්තු මස 31 වෙනිදා පෙරවරු 11.23 ට ඔහුගේ කාර්යාලය දුරකථනය වන 045-2223126 දරණ අංකයෙන් අගවිනිසුරුවරයාට අයත් 011-2437507 අංක දරන දුරකථනයට කතාකර අදාළ කරුණු ප්‍රකාශ කර තිබේ.
අගවිනිසුරුවරයා සහ පළාත් අමාත්‍යවරයා අතර එම දුරකතන සබඳතාවය තප්පර 52 ක් පැවති බව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව පෙන්නුම් කෙරෙයි. ඇමතිවරයාට එම දුරකථනය සම්බන්ධ කර ඇත්තේ ඔහුගේ පුද්ගලික ලේකම්වරයාය. ශ්‍රේෂ්ඨාධිකරණ උපරිමාධිකරණ කාර්ය මණ්ඩලය මගින් එම ඇමතුම අගවිනිසුරුවරයාට සම්බන්ධ කර ඇත.
අගවිනිසුරු කේ .ශ්‍රී පවන් මෙම සිද්ධිය පිළිබඳව උපරිමාධිකරණයේ ලේඛකාධිකාරීවරිය මගින් රහස් පොලීසියට පැමිණිලි කර ඇත. ඔහු ඉන් ප්‍රකාශ කර ඇත්තේ මිනීමැරුමක විත්තිකරුවෙකුට ඇප ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විත්තිකරුගේ පාර්ශවය තමන්ට බලපෑම් එල්ල කළ බවය.
රහස් පොලිසියේ භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනෙවිරත්න සහ එවකට අධ්‍යක්ෂව සිට පසුව නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබූ සුදත් නාගහමුල්ල මේ පිළිබඳව සාකච්ඡා කර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරිව සිටි සාගර කීර්තිපාල වෙත පවරා ඇත.
දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කරන සාගර කීර්තිපාල පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ක්‍රියා කරනු ඇත.
ඔහුගේ අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් කොස්තාපල් සුරංග ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් යටතේ පරීක්ෂණ දියත් විය.ඔවුහු පරීක්ෂණ වලට අනුව උපරිමාධිකරණයේ ලේඛකාධිකාරීවරිය ගෙන්ද ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන සිද්ධියට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තා දුරකතන සමාගම් මගින් ලබා ගැනිණි.
එමගින් මෙහි බොහෝ නිවැරදි තොරතුරු හෙළිකර ගැනීමට හැකියාව ලැබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පරීක්ෂණ අංශ රහස් පොලිසියට අයත් කැබ් රථයකින් රත්නපුරය බලා පිටත් විය. එහි රියදුරා ලෙස ක්‍රියා කළේ පොලිස් කොස්තාපල් සුරංගය.
පරීක්ෂණ අංශ රත්නපුරයට ගොස් සබරගමුව පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර සහ ඔහුගේ ලේකම්වරයාගෙන්ද ප්‍රශ්න කර කටඋත්තර ලබා ගත්තේය. එහිදී සිද්ධියට අදාළ සියලු තතු ඔහුගෙන් හෙළිකර ගැනීමට හැකියාව ලැබිණි.
මෙහිදී මිනීමරා රිමාන්ඩ් භාරයට පත්වූ ප්‍රේමලාල් ජයසේකරගේ පවුලේ අය මෛත්‍රීපාල සිරිසේන සමඟ එකතු වී ඔහුට ඇප ලබා ගැනීම සඳහා අගවිනිසුරුවරයාට දුරකථන මගින් බලපෑම් එල්ල කර සෙසු කටයුතු සිදුකර ඇති බව ඉන් හෙළිවූ කරුණුය.
මෙම පරීක්ෂණ වලට අනුව මෛත්‍රීපාල සිරිසේන ගෙන් කටඋත්තර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණද, ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කළ බැවින් රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තර ලබා ගැනීමට මැළිවිය.ඊටත් මෛත්‍රීපාල සිරිසේන මෙම සිද්ධියට මැදිහත්වී ඇති බැවින් රහස් පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට බියවිය.
එබැවින් පරීක්ෂණ කටයුතු එතැනින්ම නවතා දැමීමට රහස් පොලීසිය පියවර ගැනිණි. මෙහි පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය මුල සිට ආරම්භ කළේද, දෙගිඩියාවකිනි.අගවිනිසුරුවරයා මෙහි පැමිණිලිකරු බැවින් පරීක්ෂණ නොකරත් බැරිය.ජනාධිපතිවරයා මෙහි විත්තිකරු බැවින් පරීක්ෂණ කරන්නත් බැරිය .යන සිද්ධාන්තය සිට රහස් පොලීසියට කටයුතු කිරීමට සිදුවිය.
මෙවැනි සිදුවීම්වලදී රහස් පොලීසිය ක්‍රියා කරන ස්වභාවයක්ද ඇත. එය බොහෝ දෙනෙක් දන්නේ නැත. එනම්, ඔවුන් මූලික වශයෙන් පරීක්ෂණ පවත්වන විධි ක්‍රම කිහිපයක් ඇත. ඉන් එක් පරීක්ෂණ ක්‍රමවේදයක් ” පී.ඒ .”යනුවෙන් හඳුන්වනු ඇත. ඉන් ප්‍රකාශ වන්නේ ලියාපදිංචි නොකළ ලිපිගොනු පරීක්ෂණ යනුවෙනි.
ඊළඟ ක්‍රමවේදය වන්නේ සී.එම් , සී.ආර්.හා සී.ඩී.යනුවෙනි. ඉන් හැඟෙන්නේ ලියාපදිංචි කළ පරීක්ෂණ ලිපිගොනු යනුවෙනි. එවැනි පරීක්ෂණ ලිපිගොනු යටපත් කිරීම ටිකක් අපහසුය.එවැනි පරීක්ෂණ අවසන් වන්නේ අධිකරණයේ නඩු පවරා නඩු විභාග තීන්දුවකින්ය.
එබැවින් මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව මෙම පරීක්ෂණ රහස් පොලිසිය ආරම්භ කළේ ” පී.ඒ ” ලිපි ගොනුව යටතේය.එනම් ,ඕනෑම වෙලාවක පරීක්ෂණ කටයුතු නවතා එය යටපත් කිරීමේ හැකියාව ඇති ආකාරයෙනි.
එලෙස ලියාපදිංචි නොකළ පරීක්ෂණ ලිපිගොනූ යටතේ ආරම්භ කරන ලද මෙහි පරීක්ෂණ වාර්තාවේ අංකය පී.ඒ / ඩී.සී.අයි / අයි.ජී.පී/4437/15 ලෙස සඳහන් වෙයි. පරීක්ෂණ යට කර මෙම ලිපිගොනුව රහස් පොලිසියේ ලේඛනාගාරයේ සඟවා තැබීමට පියවර ගැනිණි.
පසුව රහස් පොලීසිය අගවිනිසුරු කේ.ශ්‍රී පවන් වෙත අතිශය පුද්ගලික මට්ටමින් කරුණු කියාපාමින් මෛත්‍රීපාල සිරිසේන ප්‍රේමලාල් ජයසේකරගේ පවුලේ අයගේ අනුදැනුම ඇතුව ඔවූන් සමග එකතුවී අගවිනිසුරුවරයාට දුරකථන මගින් ප්‍රේමලාල් ජයසේකරට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් පරීක්ෂණ වලින්ද සනාථ වී ඇති බව ප්‍රකාශ කර තිබේ.
එහෙත් ජනාධිපතිවරයා මෙයට සම්බන්ධවී ඇති බැවින් තවදුරටත් පරීක්ෂණ කිරීමේ අපහසුතාවයක් මතුවී ඇති බව රහස් පොලිසිය අගවිනිසුරුවරයාව මෙලෙස රහසිගතව දැනුවත් කර ඇත.
මෙම තත්ත්වයන් හමුවේ අවසානයේ මිනීමරා දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට අධිකරණය මගින් ඇප ලබා නිදහස් වී නිවසට පැමිණීමට හැකියාව ලැබිණි.
රත්නපුර ,කහවත්ත මැතිවරණ වේදිකාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ශාන්ත දොඩංගොඩ මරුමුවට පත් වූයේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ගොස්ය. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද ?තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ජීවිතය පරිත්‍යාග කළ ශාන්ත දොඩම්ගොඩගේ ගේ මිනීමරුවාව නීතියේ රැහැනින් බේරාගැනීමට මෛත්‍රිපාල සිරිසේනම ඉදිරිපත්වීමය. මෙය මොනතරම් කාලකන්නි තත්ත්වයක්ද ?
නමුත් මෙම මිනීමැරුමට අදාළ නඩුව රත්නපුර මහාධිකරණයේදී විභාග කර ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිව වැරදිකරු බවට තීරණය කර එල්ලා මැරීමට නියම විය. එහෙත් ඊට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයේ නඩුව ඇපිල් කර එහි තීන්දුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එක රටක් එක නීතියක් යන අවජාතක සංකල්පයට හැකියාව ලැබිණි. නීතිය උන්ගේය. විනිසුරුවෝත් උන්ගේය. අධිකරණයත් උන්ගේය. පැමිණිලිත් උන්ගේය. දඬුවම් වීඳීම අපේ උන්ගේය. දැන්වත් මෙය තේරුම් ගත යුතුයි නේද ?