පළමු කොටස.

රටේ පවතින සම්මත නීතියට අනුව කිසියම් පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ දුරකථන වලට හොරෙන් සවන්දීම, ඒවා පටිගත කිරීම හෝ ටැප් කිරීම සපුරා තහනම්ය .එහෙත් එවැනි ක්‍රියා යුද හමුදා රහස් තොරතුරු අංශය හා රාජ්‍ය බුද්ධි සේවය ( S.I.S ) කාලයක සිට ඉතාමත් සූක්ෂම ආකාරයට හොර රහසේ සිදු කරනු ඇත.

නමුත් මෙය නිශ්චිත වශයෙන් සනාථ කිරීමේ නිවැරදි සාධකයක් කිසිදු පාර්ශ්වයක් දත්ත සහිතව මෙතෙක් හෙළිදරව් කර නැත .බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ යුද හමුදා රහස් තොරතුරු අංශය හා රාජ්‍ය බුද්ධි සේවය දුරකථන ටැප් කරනවා යැයි යන කියමන පමණි .ඊට වැඩි දෙයක් ඔවුහු ප්‍රකාශ කර නැත.

දුරකථන ටැප් කරන්නේ නම්, එය සිදු වන්නේ කෙසේද ? එවැනි යන්ත්‍ර වල ස්වභාවය කුමක්ද ? සැබැවින්ම එවැනි ටැප් යන්ත්‍ර ලංකාවේ තිබෙනවාද ? ඒවා ලැබුණේ කෙසේද ? ඒ කුමන රටකින්ද ? ඒවා ලංකාවට ගෙන්වූයේ කෙසේද ? මෙයට මැදිහත් වූයේ කවුද ? ඒවායේ මිල ගණන් කෙසේද ? යනාදී තවත් කරුණු ප්‍රකාශ කළ යුතුය. එහෙත් කිසිදු අයෙක් මෙතෙක් දත්ත සහිතව එය සමාජයට හෙළිදරව් කර නැත.

එබැවින් මෙතෙක් කලක් කිසිවෙකුටත් දත්ත සහිතව නිවැරදි ආකාරයට සොයා ගැනීමට අපහසු ඒ සියලු කරුණු සොයා ගැනීමට හැකියාව ලැබිණි. මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් එම යන්ත්‍ර වල සම්පූර්ණ විස්තර හා ලංකාවේ බුද්ධි අංශ එම ටැප් යන්ත්‍ර භාවිත කර හොරෙන් සවන් දෙන දුරකථන ඇතුළත් විශේෂිත පුද්ගලයන්ගේ කරුණුද මේ තුළින් අනාවරණය වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, සමගි ජන බලවේගය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු තෝරාගත් තවත් මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් පිරිසකගේ දුරකථන වලටද මෙම ටැප් යන්ත්‍ර වලින් හොරෙන් සවන්දීම විශේෂිතය.

මෙම සුවිශේෂී කර්තව්‍ය කිරීම උදෙසා යුද හමුදා රහස් තොරතුරු අංශයට හා රාජ්‍ය බුද්ධි සේවයට මෙම ටැප් යන්ත්‍ර ලැබුණේ කෙසේද ? එහි පසුබිම කුමක්ද ? යන්න විපරම් කර බැලීම කාලෝචිතය.

මෙහි ඇරඹුම ඉතාමත් සංවිධානාත්මකව සිදුවූයේ 2015 දී මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමගය. එම පාලනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර අමනාපකම් ක්‍රමානුකූලව මතුවීමට පටන් ගැනීමත් සමග ටැප් යන්ත්‍ර මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මෛත්‍රීපාල සිරිසේන තුළ ඉස්මතු වී ඇත.

එම කර්තව්‍ය කිරීම උදෙසා භාරදිය හැකි සුදුසුම පුද්ගලයා කවුද ? යන්න මෛත්‍රීපාල සිරිසේනට නිසි වැටහීමක් තිබුණේ නැත.

එවකට පොලිස්පති ධුරය දැරුවේ පූජිත ජයසුන්දරය. ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේනට පමණක් දැන්විය යුතු පොලිස්පති මූලික කරගෙන ලැබෙන යම් යම් රහසිගත බුද්ධි තොරතුරු හා කරුණු වලට අදාළ සාකච්ඡා වලට පූජිත ජයසුන්දර මෛත්‍රීපාල සිරිසේනව හමුවීම සඳහා ඔහුගේ නිවෙසට යන විට රැගෙන ගිය විශ්වාසවන්ත පුද්ගලයා වූයේ එවකට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාය.

සමහර අවස්ථාවල පූජිත ජයසුන්දර තමන් නැතුව නාලක සිල්වාව පමණක්, එවැනි රහසිගත සාකච්ඡා වලට මෛත්‍රීපාල සිරිසේනව හමුවීමට යෑවිය .එමගින් මෛත්‍රීපාල සිරිසේන හා නාලක සිල්වා අතර ඉතාමත් කිට්ටු සබඳතාවක් ගොඩනැගිණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන හා නාලක සිල්වා හමු වූ එවැනි රහසිගත සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ අදහස නාලක සිල්වා වෙත ප්‍රකාශ කර ඇත. එනම්, තමන්ට හා රජයට එරෙහිව ක්‍රියා කරන විවිධ පුද්ගලයන්ගේ දුරකථන ටැප් කිරීම උදෙසා අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

එය ඉතාමත් සතුටින් භාරගත් නාලක සිල්වා මෛත්‍රීපාල සිරිසේන සමග සංවාදයේ යෙදෙමින් එවැනි ටැප් යන්ත්‍ර සවිකර කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත. එයට මෛත්‍රීපාල සිරිසේන පූර්ණ අනුමැතිය හා එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව නාලක සිල්වා ටැප් යන්ත්‍ර මිලදී ගැනීමේ වැඩපිළිවෙළට අතගැසීය. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ තමන් දන්නා කියන කොළඹ 02, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට නුදුරින් කාර්යාලයක් පවත්වාගෙන යන මුස්ලිම් ජාතිකයකු වන ” එර්ෂාඩ් ” නමැත්තාවය. ඔහු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය සමග ඉතාමත් කිට්ටු සබඳතා පවත්වන අයෙකි.

ආරක්ෂක අංශ වලට අදාළ ටැප් යන්ත්‍ර ඇතුළු දියුණු තාක්ෂණික උපකරණ නිපදවීම අතින් ඊශ්‍රායලය ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසු වෙයි. එබැවින් එර්ෂාඩ් තමන්ගේ අතට වැඩේ ලැබුණු සැනින් අදාළ උපකරණ ඊශ්‍රායලයෙන් මිලදී ගැනීමට ඊශ්‍රායල් ඔත්තු සේවයේ කටයුතු කරන තම හිතවත් නියෝජිතයකුට කතා කර අදාළ ක්‍රියාවලියට මුලපිරීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊශ්‍රායල් ඔත්තු සේවයට සම්බන්ධ නියෝජිතයෝ දෙදෙනෙක් 2017 පෙබරවාරි මස 19 වැනිදා ටැප් යන්ත්‍ර රැගෙන ලංකාවට පැමිණියහ. ඔවුන්ව රටට ඇතුළත් කර ගැනීම උදෙසා එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන පුද්ගලිකවම මැදිහත් විය.

එනම්, මෙම ටැප් යන්ත්‍ර රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිවිසුමෙන් රට තුළට ඇතුළු වීමට අපහසුය. එසේ වුවහොත් ,ගුවන්තොටපොළ පිවිසුමේ සවිකර තිබෙන ස්කෑන් යන්ත්‍ර වලට මේවා අසූවනු ඇත. එය එම රහසිගත ටැප් යන්ත්‍රවල ආරක්ෂාවට ප්‍රශ්නයකි.

එබැවින් මෙම ස්වභාවය ගැන නාලක සිල්වා මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළ පසු ඔහු එවකට ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට දුරකථනයෙන් කතා කර කිසිදු පරීක්ෂාවකින් තොරව එම යන්ත්‍ර රැගත් ඊශ්‍රායල් මොසාඩ් නියෝජිතයන්ට ගුවන් තොටුපොළින් පැමිණීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසන ලෙස දැනුම් දුනි.

ඒ අනුව සියල්ල සිදුවිය. එවිට මොසාඩ් නියෝජිතයින් ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට ගොඩබසින වේලාව ඉලක්ක කර ඔවූන්ව භාර ගැනීම උදෙසා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ තවත් නිලධාරීන් දෙදෙනෙක් සමග නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගුවන්තොටුපොළට ගියේය.

ඔවුහු එම ගමනට ඉතාමත් ආරක්ෂිත රථයක් යොදා ගැණිනි. එය කොටි සංවිධානය සතු එකකි. කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමේ අවසන් මෙහෙයුමේ දී ආරක්ෂක අංශ මගින් අත්පත් කරගත් කේ.ඩී.එච්. වර්ගයට අයත් එම වෑන් රථය තවත් වැඩි දියුණු කරමින් භාවිත කරනුයේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයයි.

මෙම රථය ගුවන්තොටුපොළ පර්යන්තය අසල නවතා තිබිණි. මොසාඩ් නියෝජිතයන් ටැප් යන්ත්‍ර සමග පූර්ණ ආරක්ෂාව යටතේ කිසිදු පරීක්ෂාවකින් තොරව ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත පිවිසුමෙන් පැමිණ රථයට ගොඩවැදුණි. ඉන් පසු ඔවූහු රැගත් රථය කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි ජයික් හිල්ටන් හෝටලයට පැමිණියේය. එහි පසුපස දොරටුවෙන් වාහනය හෝටලටය පිවිස රථවාහන අංගණයට ඇතුළු විය.

අනතුරුව ඔවුහු ජයික් හිල්ටන් හෝටලයේ ඔවුන්ට වෙන් කර තිබූ තුන්වැනි මහලේ නවාතැනට පිවිසිණි. එහි බෙඩ් රූම් දෙකක් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත කාමර වෙන්කර තිබිණි. එය වෙන් කිරීමට අදාළ සියලු කටයුතු කර තිබුණේ මෙම ක්‍රියාවලියේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ මුස්ලිම් ජාතිකයකු වන එර්ෂාඩ් විසිනි.

එහි නවාතැන් ගත් පිරිසට ඊළඟට උදා වූයේ 2017 පෙබරවාරි මස 20,21,22 යන දිනයන්ය. එම දිනවල පිරිස ජයික් හිල්ටන් හෝටලයෙන් බැහැරව තෝරාගත් ස්ථානවල සිට ටැප් යන්ත්‍රවල තාක්ෂණික ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලූහ .එයට ඊශ්‍රායල් ජාතිකයන් දෙදෙනාට අමතරව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේ සම්බන්ධ විය.

ඔවුහු ප්‍රථමයෙන්ම සිය පරීක්ෂණ කටයුතුවලට යොදා ගත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයයි.පිරිස 2017 පෙබරවාරි මස 20 වැනිදා එම හෝටලයට ගොස් තේ පානය කර සාකච්ඡා කරමින් සිය කාර්යය ඇරඹිණි. එනම්, ඊශ්‍රායල් නියෝජිතයන්ගේ ගමන් බෑගයක තිබූ ටැප් යන්ත්‍රයක් හෙමින් සීරුවේ එළියට ගෙන තෝරාගත් දුරකථන අංක කිහිපයක් එයට ඇතුළත් කර ඉන් හුවමාරු වන කතාබහට පිරිස සවන් දුණි. පටිගත කෙරෙණි. එය ඉතාමත් සාර්ථක බව සියල්ලටම අවබෝධ විය.

ඊළඟට ඔවුහු කොළඹ හිල්ටන් හෝටලය, සිනමන්ඩ් ලේක් හෝටලය හා කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයට වරින්වර ගොස් ටැප් යන්ත්‍ර වල තාක්ෂණික ක්‍රියාකාරීත්වය පරික්ෂා කර බලා එහි සාර්ථකත්වය මැන බැලූහ .සියල්ල අවශ්‍ය ආකාරයට තිබිණි.

මෙහි සුවිශේෂී කරුණක් ඇත. එනම්, කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ ආරක්ෂිත කාමරයක් පවතින්නේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය සතුවය. එය මුදල් ගෙවා එම කාර්යාංශයේ රහසිගත වැඩවලට වෙන් කරගෙන ඇත. ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් ඉතාමත් රහසිගතව අත්අඩංගුවට ගන්නා සුවිශේෂී පුද්ගලයන් සඟවා තබාගෙන ප්‍රශ්න කරන්නේ මෙම කාමරය තුළය.

මෙම ටැප් යන්ත්‍ර පරීක්ෂණය සිදු කළේද එම රහසිගත කාමරයෙහි සිටය. ටැප් යන්ත්‍ර වල ඇති තවත් විශේෂ කරුණක් නම්, එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අනිවාර්යෙන්ම අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය. එසේ නොමැතිව එය ක්‍රියාත්මක කළ නොහැක. කොටින්ම කිවහොත්, මෙය පහසුවෙන් ක්‍රියා කළ හැක්කේ වයිෆයි කලාප තුළය. එවැනි කලාප වලින් බැහැර ස්ථානවල මෙය ක්‍රියාකිරීමට නම් හොස්පොට් හෝ සෘජු අන්තර්ජාල පහසුකම් ඊට ඇතුළත් කළ යුතුය.

මෙහි සියලු පරීක්ෂණ කටයුතු අවසන් කළ පසු එහි සාර්ථකත්වය පිළිබඳ දැනුම් දීම උදෙසා පිරිස 2017 පෙබරවාරි මස 22 වැනිදා රාත්‍රී 7.30 ට පමණ එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේනව හමුවිය. ඒ කොළඹ 7, මල්ලසේකර මාවතේ, අංක 61 හා 62 දරන ස්ථානයේ පිහිටි ඔහුගේ ජනාධිපති නිවස තුළය.

එම අවස්ථාවට ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවයේ නිලධාරීන් දෙදෙනාට අමතරව එවකට පොලිස්පති ධුරය දැරූ පූජිත ජයසුන්දර,නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේ සම්බන්ධ විය.

එදින එනම්, 2017 පෙබරවාරි මස 22 වැනිදා දහවල් පූජීත ජයසුන්දර මෛත්‍රීපාල සිරිසේනට දුරකථනයෙන් කතා කර සිද්ධිය පැහැදිලි කරදී මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගැනිණි. ඒ අනුව ඔවුහු මෛත්‍රීපාල සිරිසේනගේ නිවසට ගොස් තිබේ.

ඔවුහු නිවසට ගොඩ වැදීමත් සමග සේවකයෙක් පැමිණ පිරිස මෛත්‍රීපාල සිරිසේනගේ පුද්ගලික සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන ගොස් වාඩිවීමට ඉඩ සලසා තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය .ඉන් ස්වල්ප මොහොතකට පසු මෛත්‍රීපාල සිරිසේන පැමිණ පිරිස සමඟ ටැප් යන්ත්‍ර පිළිබඳ සාකච්ඡාව ආරම්භ කෙරිණි.

ඒ ගැන හොඳ පැහැදිලි ස්වභාවයක සිටි මෛත්‍රීපාල සිරිසේන ඊශ්‍රායල් නියෝජිතයන්ගේ ඉල්ලීමට අනුව ටැප් යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය එහිදී පරීක්ෂාවට ලක් කෙරිණි. එවිට මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ කාර්යාල දුරකථනයෙන් කිසියම් අයකුට ඇමතුමක් ලබා ගැණිනි. ඔහු එහිදී අදාළ අයට කතා කළේ “ඩොක්ටර්” යනුවෙනි. එම කතාබහ දෙදෙනා අතර විනාඩි 5ක් පමණ පැවතිණි.

මෙම කතාබහ ඊශ්‍රායල් නියෝජිතයන් දෙදෙනා ටැප් යන්ත්‍ර වලින් පටිගතකර මෛත්‍රීපාල සිරිසේනට ඇසෙන්නට සැලැස්විය. දුරකථනවලින් දෙදෙනා කතා කරන දේවල් ඉතාමත් පැහැදිලිව එහි පටිගතවී තිබිණි. එය ඇසීමෙන් පුදුමයට පත් මෛත්‍රීපාල සිරිසේන සතුටු සිනාවක් මුහුණට නංවාගෙන මේවා ඉක්මනින් ලබා ගැනීම උදෙසා අවශ්‍ය කටයුතු කරන ලෙස පිරිසට උපදෙස් දුන්නේය.

මේවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මෛත්‍රීපාල සිරිසේනගේ අවධානයට යොමු කළේය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මුදල් පිළිබඳ ගැටලූවක් ඇති කර නොගන්නා ලෙසය. එයට තමන් වැඩපිළිවෙළක් යොදන්නම් යනුවෙන් ඔහු පැවසීය. විනාඩි 45ක් පමණ පැවති එම හමුවෙන් පසු පිරිස විසිර ගියෝය.

ඊළඟට සිදු වූයේ කුමක්ද ? ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.

 ශ්‍රීලාල් ප්‍රියන්ත

මෙම ලිපිය කොටස් කිහිපයකින් පළවන එකකි. එබැවින් ඉතාමත් දීර්ඝ කරුණු සහිත විස්තරයක් ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. බොහෝ අයගේ දුරකතන මේ වනවිට එම යන්ත්‍රය හරහා ටැප් කර ඇති බැවින් ඔබගේ දුරකථනයද එලෙස ටැප් කර තිබෙන්නට පුළුවන. එබැවින් ඔබගේ දැනුවත්භාවය උදෙසා එම ලිපි පෙළ සම්පූර්ණයෙන් කියවීම ඉතා වැදගත්ය.

මෙම ලිපියේ දෙවැනි කොටස “ආණ්ඩු විරෝධීන්ගේ නිවාස, කාර්යාලය, ජංගම හා වත්සප් දුරකථන ටැප් කරන බුද්ධි මෙහෙයුම” යන සිරස්තලය යටතේ පළ වී ඇත. එය බලන්න.

වැඩිදෙනාගේ දැනුවත්භාවය උදෙසා මෙම ලිපිය ෂෙයාර් කිරීමට වගබලා ගනු මැනවි.

Similar Posts

Leave a Reply

Your email address will not be published.