බලයෙන් ගිලිහී බිඳ වැටෙමින් තිබූ ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට අතරමැදියකු ලෙස මැදිහත් වෙමින් අගමැතිකම ලබාගෙන රාජපක්ෂ පවුල බේරා ගැනීමට පෙරමුණ ගත්තේ රනිල් වික්‍රමසිංහය.ඔහු එම මැදිහත්වීම නොකළේ නම් ,සමහරවිට මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු එම පුටුවේ නොසිටින්නට ඉඩ තිබිණි.එබැවින් එම පාපකර්මයට කර ගසමින් රට තවත් ප්‍රපාතයට තල්ලු කිරීමේ වගකීමෙන් රනිල් වික්‍රමසිංහට ඉවත්විය නොහැක.

2022 මැයි මස 9 වැනිදා එවකට අගමැති ධූරය දැරූ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැර කල්ලිය ගෝල්ෆේස් අරගල භූමියට කඩා වැදී එල්ල කළ තිරිසන් ප්‍රහාරයත් සමඟ මහින්ද රාජපක්ෂට අගමැති ධුරයත් දමා ගසා ජීවිත ආරක්ෂාව පතා සැඟවීමට සිදුවිය.එම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට ඉදිරිපත් නොවී, ගෝඨාභය රාජපක්ෂටත් ඉවත්වීම සඳහා ජන අරගලය තියුණු කළේ නම්, ඔහුටත් අකමැත්තෙන් හෝ ගෙදර යෑමට සිදුවනු ඇත. එය ව්‍යාර්ථ කරමින් ජනමතයට පිටුපා ක්‍රියා කළේ රනිල් වික්‍රමසිංහය.

ඇතැමුන් රනිල් වික්‍රමසිංහව හදුන්වන්නේ දකුණු ආසියාවේ හොඳම මොළය ලෙසය .සැබවින්ම මේ කියන මොළය රනිල් වික්‍රමසිංහගේ තිබෙන්නේ කොතැනද යන්න ගැටලුවකි .රනිල්ට ඔය කියන ආකාරයේ දියුණු මොළයක් තිබුණේ නම්, එක්සත් ජාතික පක්ෂය මෙතරම් බිමට සමතලා වන්නේ නැත. ජනතාව මෙතරම් පීඩනයට පත්වන්නේද නැත. රට දුක්ඛිත තත්ත්වයට පත්වන්නේ නැත.එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන 2022 මාර්තු මස 29 වෙනිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ අගමැති වී පැය 48 ක් ඇතුළත සියලු පෝලිම් අවසන් කරන බවය. එය සිදුවූවාද ? නැත. එමගින්ම රනිල් වික්‍රමසිංහගේ ස්වභාවය සහ ඔහු පිළිබඳව හිස් විලාප නගන අයගේ තත්ත්වය පැහැදිලිවනවා ඇත.

එපමණක් නොව ,රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය ලබාගෙන මසකට පමණ පසු යළිත් වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මේ වනවිට ජනතා ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා දී ඇති බවය.සැබවින්ම මේවා ඇසෙනවිට අපට හැඟෙන්නේ වජිර අබේවර්ධනගේ මොළය විකෘති වී පිස්සු හැදී ඇති බවය.රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොව ,තවත් ප්‍රශ්න වැඩි වී ඇත .

කිලෝ මීටරයක් දුරට තිබූ ගෑස් ඉන්ධන පෝලිම් දැන් කිලෝමීටර් දෙක තුනකින් දීර්ඝ වී ඇත. මේවා නොදැනෙන නොපෙනෙන ජනතා ප්‍රශ්න නොහඳුනන වජිර අබේවර්ධන වැනි ගොන් මැටි දේශපාලනඥයෝ පාලන බලයට පැමිණි පසු ජනතාවත් රටත් දුක් විදිම අරුමයක් නොවේ.ජනතා ප්‍රශ්න වලට කෙසේ වෙතත්, වජිර අබේවර්ධනලාගේ ප්‍රශ්න වලට නම් රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු විසඳුම් ලැබී ඇති බව පෙනේ.

ජනතා ඡන්දයෙන් පරාජයවී මෙතෙක් කලක් ගෙදරට වී එළොවක් මෙළොවක් නැතුව සිටි වජිර අබේවර්ධනට රනිල් වික්‍රමසිංහගේ අගමැතිධුරයත් සමග සිතූ හැටියට මුදල් හම්බ කර ගැනීම සඳහා මාර්ගය විවර වී ඇත.රට ආර්ථික වශයෙන් නගා සිටුවමින් ජනතා ප්‍රශ්න විසඳීමට යැයි කියා රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත් වූ පසු ප්‍රථම පියවරෙන්ම තම අති ජාතක ගෝලයන් සිව්දෙනෙකු ගෙන් සමන්විත කමිටු 4ක් පත් කළේය.ඒ වජිර අබේවර්ධන, සාගල රත්නායක ,අකිල විරාජ් කාරියවසම් සහ රංග බණ්ඩාරගේ ප්‍රධානත්වයෙනි.

මෙම කමිටු පත්කර දැනට මාස දෙකකට ආසන්න වෙමින් තිබුණද ,අද වනතුරුත් කිසිදු ජනතා ප්‍රශ්නයකට අබමල් රේණුවක තරම් විසඳුමක් ලබාදීමට හෝ විසඳුමක් ඉදිරිපත් කිරීමට සමත් වී නැත.සිදුවී ඇත්තේ ජනතා ප්‍රශ්න විසඳීමට මුවාවී ඔවුහු තමන්ගේ සුපුරුදු අල්ලස් ගනුදෙනු ව්‍යාපාර දියත් කිරීමය.රට තුළ ගෑස්, ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිගවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඒවා මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීමය.

එබැවින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් වූ පසු ප්‍රසිද්ධියේත් පුද්ගලිකවත් විවිධ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීම් කළේ තමන් සතුව ඩොලර් තිබේ නම් ,ඒවා රජයට ලබා දෙන ලෙසය.ඊට ප්‍රතිචාර දක්වමින් එල්.ඕ.එල්.සී සමාගමේ ප්‍රධානී ඉෂාර නානායක්කාර ඩොලර් මිලියන දෙකක් ආණ්ඩුවට ලබාදීම සඳහා ඉදිරිපත් වී ඇත.එය සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය වැඩ කටයුතු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ භාරදී ඇත්තේ වජිර අබේවර්ධන වෙතය.එහිදී වජිර අබේවර්ධන ,ඉෂාර නානායක්කාරට ප්‍රකාශ කර ඇත්තේ එක ඩොලර් එකකට රුපියල් 15 බැගින් තමන්ට කොමිස් මුදල් අවශ්‍ය වන බවය.

එසේ නොමැතිව මෙම ගනුදෙනුව සිදුකිරීමට වජිර අබේවර්ධන එකඟ වී නැත.ඩොලර් එකකට රුපියල් 15 බැගින් අල්ලස් ලබා දුනහොත් ඩොලර් මිලියන දෙකකට මොනතරම් මුදලක් වජිර අබේවර්ධනට ලැබෙනු ඇතිද ?නමුත් මේ ආකාරයට අල්ලස් ලබාදීමට ඉෂාර නානායක්කාර කැමති වී නැත. එමගින්ම ආණ්ඩුවට ඩොලර් ලබාදීම සඳහා ඉෂාර නානායක්කාර දරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇත. වජිර අබේවර්ධන නම් ,මෙම අල්ලස් ගනුදෙනුව පිළිගැනීමට සූදානම් නැත.ඕනෑම හොරෙක් කුමන දේවල් හොරකම් කළද එය පිළිගැනීමට සූදානම් නැත .

සාමාන්‍ය ස්වභාවය එයයි. එබැවින් වජිර අබේවර්ධන ගෙන්ද අපට ඊට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැක.ඩොලර් නොමැතිව රට හෙම්බත් වී ඇති අවස්ථාවක අල්ලස් මුදල් වලින් තොරව එම ඩොලර් මිලියන දෙක ලබා ගත්තේ නම්,ඉන්ධන හා ගෑස් අර්බුදයට යම් විසඳුමක් ඒ තුළින් ලබා ගැනීමේ හැකියාව තිබිණි.එය ව්‍යවර්ථ කළේ වජිර අබේවර්ධනය. රට අන්තිම ප්‍රපාතයට වැටී තිබියදීත් වජිර අබේවර්ධනලා මේ උත්සාහ කරන්නේ අන්තිම මොහොතෙත් මිනිස්සුන්ගේ බෙල්ල මිරිකා ලේ උරා බී තම කුස පුරා ගැනීමටය.

මෙය මොන තරම් නින්දිත තිරිසන් පාහර තුච්ඡ ක්‍රියාවක්ද ?රාජපක්ෂ කඳවුරේ දූෂිත රැළත් සමඟ එදා පටන් අද වනතුරු ගනුදෙනු කරන වජිර අබේවර්ධන සීතල ගණන්කාරයෙකි.2015 -2019 යහපාලන ආණ්ඩුව තුල රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ මොහු දූෂිත රාජපක්ෂ බළඇණිය නීතියේ රැහැනින් ආරක්ෂා කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරූ අයෙකි.මොහුගේ අති ජාතක මිත්‍ර ජාවාරම්කරුවකු වන්නේ ඇවන්ගාඩ් ආයතනයේ අධිපති මේජර් නිශ්ශංක සේනාධිපතිය.2015 අගෝස්තු 15 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වජිර අබේවර්ධනගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ මුදල් වියදම් කළේ නිශ්ශංක සේනාධිපතිය.කොළඹ ,රැජින පාරේ පදිංචි වී සිටින වජිර අබේවර්ධනගේ සුවිසල් මන්දිරය මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කළේ නිස්සංක සේනාධිපතිය. එය රුපියල් ලක්ෂ 1800 ක් පමණ වනු ඇත.

මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවේ. එසේනම්,නිස්සංක සේනාධිපති වජිර අබේවර්ධන වෙනුවෙන් මෙතරම් වියදම් කරන්නේ ඇයි ? ඒ ඔහුගේ දූෂිත ගනුදෙනුවලට ආධාර උපකාර කරමින් ඊට අදාළ නීතිමය ගැටළු වලින් ඔහුව බේරාගැනීමට වජිර අබේවර්ධන සිය දේශපාලන බලය භාවිතා කරන බැවිනි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පාලනය තුළ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දරනවිට නිශ්ශංක සේනාධිපතිගේ දූෂිත ගනුදෙනුවලට සෘජු ලෙසම දායකත්වය සැපයූ දෙදෙනෙක් නම්, ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට සේවය කළ අතිරේක ලේකම්වරුන් වන දමයන්ති ජයරත්න සහ සමන් දිසානායකය.නිශ්ශංක සේනාධිපතිගේ සුප්‍රකට ඇවන්ගාඩ් අවි ආයුධ ගනුදෙනුව ඊට කදිම නිදසුනකි.

මෙම සිද්ධියට අදාළව යහපාලන ආණ්ඩුව තුල රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා දමයන්ති ජයරත්නව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ මොහොතේ එය ව්‍යර්ථ කරමින් ඇයව රටින් පිටුවහල් කිරීමට පියවර ගත්තේ වජිර අබේවර්ධනය.එම ගනුදෙනුවට අදාළව බරපතළ චෝදනා එල්ල වී සිටි සමන් දිසානායකව යහපාලන ආණ්ඩුව තුල ජාතික පොලිස් කොමිසමේ ලේකම් ධුරයට පත්කිරීමට පියවර ගත්තේ එවකට පොලීසිය භාරව සිටි අමාත්‍ය සාගල රත්නායක සහ වජිර අබේවර්ධනය.රහස් පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයන ආයුධ ජාවාරමක අපරාධකරුවෙක් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ධුරයට පත්කරනවිට පොලිසියෙ සහ නීතියේ කඩාවැටීම කොතෙක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

වජිර අබේවර්ධනගේ ස්වභාවය මින් පෙන්නුම් කෙරෙනවා නේද ?යහපාලනය ආණ්ඩුව තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ රාජපක්ෂ දූෂිතයන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වනවිට ඇයව එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.ඇය ඊට පසු තමන්ගේ සුපුරුදු රාජකාරිය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කටයුතු කරමින් සිටියදී, වැඩ තහනමට ලක්වූයේ වජිර අබේවර්ධන නිසාය.

එනම්, දිනක් වජිර අබේවර්ධන, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහව සිය නිවසට ගෙන්වා යම් කතා බහක නියැලී සිටියදී, එක්වරම දුරකථනයට නිස්සංක සේනාධිපතිව සම්බන්ධ කර ඔවුන් දෙදෙනාට කතාබහ කිරීමට සලස්වා ඇත.එම අවස්ථාවේ කතාබහට ලක්වූ දේවල් නිශ්ශංක සේනාධිපති පටිගත කර දේශපාලන බලපෑම් මත නිශ්ශංක සේනාධිපතිට එරෙහිව බොරු නඩු පැටලූ බවට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ආකාරයේ අදහස් ඇතුළත් කතාබහක් නිස්සංක සේනාධිපති ජනමාධ්‍යට මුදා හැර තිබිණි.මෙය රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වීමත් සමඟ නීතිපතිව සිටි දප්පුල ලිවේරා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

එම පරීක්ෂණයෙන් සනාථ වූයේ අදාළ හඬපට නිස්සංක සේනාධිපති විකෘති කරමින් සකස් කරන ලද ඒවා බවය.මෙය නිශ්ශංක සේනාධිපතිගේ පජාතකම පෙන්නුම් කිරීමේ කදිම සාධකයකි.මෙමගින් නීතිපතිධූරයට පත්වීමට තිබූ ඉඩකඩද දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට ඇහිරී ගියාය. එනම් ,ඇය ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරමින් සිටියේ ජේෂ්ඨ සොලිසිටර් ජෙනරාල්වරිය ලෙසය. ඇයගේ වැඩ තහනම් කිරීමත් සමගම එම පුරප්පාඩුවට පත්කළේ දැනට නීතිපතිධූරය දරන සංජය රාජරත්නම්ය.

එදා ඇයගේ වැඩ තහනම් නොවුණේ නම්, අද නීතිපති ධූරය දරන්නේ සංජය රාජරත්නම් නොව, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහය.රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් රුපියල් ලක්ෂ 6000 ක සිල් රෙදි මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බෙදාදීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිටට එරෙහිව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් දෙදෙනාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. මෙම අවස්ථාවේ වජිර අබේවර්ධන මැදිහත්වී කොළඹ මහාධිකරණ විනිසුරුවරියව සිටි කුසලා සරෝජනී වීරවර්ධන සමඟ සාකච්ඡා කර ඔවුන් දෙදෙනාව මහාධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදීමට කූට ලෙස කටයුතු කරනු ලැබීය.පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ නම් ,අනිවාර්යෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කරනු ඇත. එය වළක්වා දුෂිතයන් ආරක්ෂා කිරීමට කුසලා සරෝජනී වීරවර්ධන සමග අධිකරණයත් අවභාවිතා කළේ වජිර අබේවර්ධනය.

කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මේවා නොමිලේ කළේ යැයි විශ්වාස කිරීමට අපහසුය. සමහරවිට මුදල් ගනුදෙනු හෝ වෙනත් තෑගිබෝග හුවමාරු වන්නට ඇත. ඒ සම්බන්ධයෙන්ද බොහෝ චෝදනා නැතුවා නොවේ.ඇය සතුව ඉඩම් විශාල ප්‍රමාණයක් තඹුත්තේගම ප්‍රදේශයේ ඇත. ඒවායේ විවිධ බෝගද වගා කර තිබේ.

මේවායේ ආරක්ෂාවට ඇයගේ මැදිහත්වීම මත ඉඩම් වටකර නීතිවිරෝධී ලෙස විදුලි කම්බි වැටවල් ගසා ඇත. පසුගිය යුගයේ මෙම විදුලි වැට වලට නතුවීමෙන් අලි ඇතුන් කිහිප දෙනෙක්ම මිය ගියෝය.පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී, කුසලා සරෝජනී වීරවර්ධන එයට වගකිවයුතු විත්ති කාරිනියක් ලෙස කරුණු ඉස්මතු වී ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණද ,එය ව්‍යාර්ථ වී ගියේ ඇය මහාධිකරණ විනිසුරුවරයක් ලෙස නීතියේ ඉහළින් වැජඹුණු බැවිනි.

අන්තිමට පොලීසිය සිදු කළේ කුමක්ද ? පරීක්ෂණ වාර්තා වෙනස් කරමින් කුසලා සරෝජනී වීරවර්ධන වෙනුවට එම සිදුවීමට අදාළ විත්තිකරුවා ලෙස එම ඉඩමේ සේවය කරන වෙනත් පුද්ගලයෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමට පියවර ගැනිණි.අද වනවිට කුසලා සරෝජනී වීරවර්ධනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පරීක්ෂණ කමිටුවක සභාපති ධුරයට පත්කර ඇත. මෙවැනි අයගෙන් බලාපොරොත්තු වියහැකි අපක්ෂපාතී නීතිමය කඩතුරාව කුමක්ද ?

ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ,වජිර අබේවර්ධන, නිස්සංක සේනාධිපති, කුසලා සරෝජනී වීරවර්ධන, යන එකී මෙකී සියලු දෙනාම එකම වල්ලේ පොල්ය.මෙවැනි අය තනතුරු උසුලන ආණ්ඩුවක් තුළ රටට විපතක් මිස සුගතියක් නම් කිසිදිනක අත්වන්නේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.