රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගිනි තැබුවේ කවුද ? එය අනුකම්පාව දිනා ගැනීම උදෙසා රනිල් සිය සහචරයන් ලවා කරගත් දෙයක්ද ? නැත්නම් ගෝඨා කල්ලිය සිදුකළාද ? අරගලකරුවන් කළාද ? ගිනි තැබීම පිටුපස සිරස මාධ්‍ය සිටිනවාද ? එතැනට පැමිණි සිරස මාධ්‍යවේදීන්ට පොලිසිය පහර දුන්නේ ඇයි ? යන්න තවමත් බොහෝ දෙනාට ප්‍රහේළිකාවකි.

රට තුළ මහත් කතාබහක් ඇතිකළ මෙම ගිනි තැබීම ගැන රනිල් මාධ්‍ය වෙත ඉතාමත් සානුකම්පිත ලීලාවෙන් ප්‍රකාශ කර සිටියේ නිවසට ගිනි තැබීමෙන් තමන්ට අහිමි වූ ලොකුම වස්තුව පුස්තකාලය බවය.ලෝකයේ දුර්ලභ වටිනා පොත්පත් 2500 ක් පමණ දැවී අළුවී ගිය බවට ඔහු ප්‍රකාශ කළේ ඉතාමත් වේදනාවෙන් මෙනි.

එම පොත්පත් කොළඹ රාජකීය විද්‍යාලයට සහ වෙනත් පුස්තකාලවලට පරිත්‍යාග කිරීම තමාගේ අරමුණ වී තිබූ බවද ඉන් කියැවිණි.කඩාකප්පල්කාරී, පැසිස්ට්වාදීන් තම නිවසට ගිනි තැබීමෙන් ඒ සියල්ල අහිමිවීම අනාගත පරපුරට දැනුම ලබාගැනීම සඳහා තිබූ මාවතක් ඇහිරී ගිය බව ඔහුගේ කතාවෙන් අපට ඉඟි කළ දෙයකි.

ඔහුගේ නිවෙසට හෝ පුස්තකාලයට ගිනි තැබීම කිසිවකු අනුමත කරන්නේ නැත.එය ඉතාමත් සාහසික ක්‍රියාවකි. ප්‍රශ්නය වන්නේ රනිල්ට තමන්ගේ පුස්තකාලය ගිනි තැබීමෙන් විනාශ වූ වේදනාව හා පාඩුව 1983 දී යාපනය පුස්තකාලය ගිනි තැබීමේදී ඇති වූයේ නැද්ද ? යන්නය.

එදා ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටිමින් 83 කළු ජූලියට සිරිල් මැතිව්ලා සමග දායකත්වය සැපයූ රනිල්ලා යාපනය පුස්තකාලය ගිනිතබා පොත්පත් ලක්ෂයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවේ වසර කල්පයකටත් මකා දැමිය නොහැකි සාපරාධී කළු පැල්ලමකට මහපොළොව උරුම කරමිනි.

රනිල්ගේ නිවස ගිනි තැබීමෙන් ඔහුට අහිමි වූයේ පොත්පත් 2500 ක් පමණි. නමුත් දකුණු ආසියාවේ හොඳම පුස්තකාලය ලෙස ඇතැම් දෙනාගේ පිළිගැනීමට ලක්වී තිබූ යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් අහිමි වූයේ පොත්පත් ලක්ෂයක් පමණක් නොව, සිංහල දෙමළ මිනිසුන්ගේ හොඳහිත විශ්වාසය හා සහෝදරත්වයද රනිල්ලා එදා විනාශ කර දැමුවේ යළිත් ලෙහෙසි පහසුවෙන් එය ආපසු ලබාගත නොහැකි ලෙසය.

ඒවා රනිල් වික්‍රමසිංහට අමතකද ? 1983 ජාතිවාදී කෝලාහල ඇති කරමින් කොටි ත්‍රස්තවාදය හා ආරක්ෂක අංශ හා සිංහල ජනතාව අතර ලේ වැකි මිනී කන්නන්ගේ දේශයක් බවට පත් කිරීමේ පුරෝගාමි මෙහෙවරක යෙදුණේ රනිල් වික්‍රමසිංහලා නොවේ නම්, වෙන කවුද ?

කළු කෝට් ටයි පටි දමා ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සමාජය තුළ පෙනී සිටීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කලාට ,ඔහුගේ කළු කෝට් ඇතුළත ඇත්තේ කෲර පාලකයෙකුගේ ගති ලක්ෂණය. එක්සත් ජාතික පක්ෂය බිමට සමතලා කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් රනිල් වික්‍රමසිංහ අගමැති පුටුව හරහා වැඩබලන ජනාධිපති ධූරයට පත්වූයේ අරගලකරුවන්ගේ කර මතිනි.

අගමැති ධූරය දැරූ මහින්ද රාජපක්ෂව 2022 මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් පලවා හැරීමත් සමග හොර පාරෙන් එම ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ, අරගලකරුවන්ව සාධාරණීයකරණය ලැබීය. නමුත් 2022 ජූලි මස 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමත් සමග එම පුටුවට පැමිණි රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් දෙස බැලුවේ ඔවූහූ පැසිස්ට්වාදී ත්‍රස්තවාදීන් ලෙසය.

රනිල් වික්‍රමසිංහගේ දෙබිඩි පිළිවෙතක අරුමය එතැනින්ම පිළිබිඹු වනවා ඇත.බලය නැති වී විපක්ෂයේ සිටිනවිට මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස පෙනී සිටින රනිල් බලය ලැබුණු විට අමුම අමු ලේ වැකි දේශපාලනයකට උරුමකම් කීමට සමත්වන නරුම දේශපාලන චරිතයක් බව ඉන් අප කාටත් කියාපාන පණිවිඩයකි.

අරගලකරුවන්ගේ මූලික සටන් පාඨය වූයේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම සිය තනතුරුවලින් ඉවත්වී යායුතු බවය.එම හඬට බිය වී ගෝඨාභය රාජපක්ෂ පලා යෑමත් සමඟ අරගල කරුවන් පිරිසක් රනිල් වික්‍රමසිංහ ගේ නිවස අසලට රැස්වූයේ එම බලපෑම ඔහු වෙත දැඩි කිරීමටය.

සමස්තයක් වශයෙන් ගත් කළ රනිල් වික්‍රමසිංහ ගේ නිවස අසල විරෝධතාවයේ නියැළුණේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙරටුගාමී පක්ෂයේ අය හෝ ගෝල්පේස් අරගලයට මූලිකත්වය ගත් ක්‍රියාකාරීන් නොව, සජිත් ප්‍රේමදාස නියෝජනය කරන සමගි ජන බලවේගයේ පිරිස්ය.

මෙය වාර්තා කිරීමට සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් පිරිසක් එම ස්ථානය තුළ යුහුසුළුව කටයුතු කරන විට එයට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම බලවත් ප්‍රශ්නයකි.මාස කිහිපයක් තිස්සේ ඇදී ගිය අරගලය සහ උද්ඝෝෂණ වාර්තා කිරීමේදී කිසිදු මාධ්‍යවේදියකුට හිරිහැර කිරීමට ආරක්ෂක අංශ හිතාමතා කටයුතු කළේ නැත.

නමුත් රනිල් වික්‍රමසිංහ ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය වාර්තා කිරීමේදී පමණක් ආරක්ෂක අංශ මාධ්‍යයට හිරිහැර කළේ ඇයි ? එය සාමාන්‍යය හිරිහැරයක් නොව, සම්පූර්ණයෙන්ම හිතාමතා සිදුකරන ලද සාපරාධී බලහත්කාරී අපරාධමය ක්‍රියාවකි.

මෙහිදී සිරස මාධ්‍ය ජාලයේ සරසී පීරිස්,වරුණ සම්පත්, ජනිත මෙන්ඩිස්,යූ.ඩී.සින්දූජන් ඇතුළු මාධ්‍යවේදීන් 7 ක් බරපතළ අමානුෂික ප්‍රහාරයකට ලක්විය. මාධ්‍යවේදීනී සරසී පීරිස්ට පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ භටයන් වටකරගෙන අමානුෂික ලෙස බැටන් පොලු,අතපය සහ පයින් පහර දෙනවිට ඇය කෑ කෝ ගසමින් ප්‍රකාශ කර සිටියේ තමාට පහර නොදෙන ලෙසය.

එහෙත් ඒ කිසිදු කීමකට ඇහුම්කන් නොදුන් ඔවුහු ඇයට පහර දුන්නේ ශිෂ්ට සම්පන්න සමාජය කිසිසේත් අනුමත නොකරන ඉතාමත් තිරිසන් ,අමානුෂික ,මිලේච්ඡ සක්කිලියන් පිරිසක් ලෙසය. ඒ සියල්ලට ආධාර හා අනුබල දෙමින් පහරදීමට පූර්ණ දායකත්වය සැපයූවේ රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාවට යොදවා සිටි අගමැති ආරක්ෂක අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රුමේෂ් ලියනගේය.

ඔහු රනිල් වික්‍රමසිංහගේ අති ජාතක ගෝලයා වන සාගල රත්නායක සමග කොළඹ රාජකීය විද්‍යාලයේ එකට ඉගෙන ගත් එකම පන්තියෙ යාලුවෝය.ජේෂ්ඨ පොලිස් අධිකාරි රුමේෂ් ලියනගේ කොළඹ කුරුදුවත්තේ පදිංචි වී සිටින කෝටිපති පොලිස් නිලධාරියෙකි.

එන්. කේ .ඉලංගකෝන් පොලිස්පති ධුරය දරනවිට ඔහුගේ ප්‍රධාන පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ රුමේෂ් ලියනගේ පසුව පූජිත ජයසුන්දර පොලිස්පති ධූරයට පත් වූ විට ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළේය.

නමුත් වැඩි කාලයක් පූජිත ජයසුන්දරගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැත.රුමේෂ් ලියනගේ ඩබල් ගේම්කාරයකු බවට හඳුනා ගැනීමත් සමග පූජිත ජයසුන්දර ඔහුව ඉවත් කර ඒ වෙනුවට සහකාර පොලිස් අධිකාරීවරුන් වන සෙනෙවිරත්නව සහ හේරත් ආරච්චි යන දෙදෙනාව පත්කර ගත්තේය.

ජේෂ්ඨ පොලිස් අධිකාරි රුමේෂ් ලියනගේ පිළිබඳව බොහෝ උසස් පොලිස් නිලධාරින් ගෙන් විමසූවිට ප්‍රකාශ කරන්නේ ඔහු ඉතාමත්ම හොඳ අයකු බවය.ඒ ගැන සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු ඕනෑම උසස් අයෙක් කියන හොඳ නරක වැඩ අකුරට ඉෂ්ට කර හොඳ නම දිනාගැනීමට සමත් වී ඇති බවය.

තම පැවැත්ම වෙනුවෙන් ඕනෑම ඩබල් ගේමකට නතු වී වැඩ කරන රුමේෂ් ලියනගේව පූජිත ජයසුන්දර සිය ආරක්ෂක බලඇණියෙන් ඉවත් කළේ ඇයි ? ඒ ඔහු පූජිත ජයසුන්දර ළඟට කිට්ටු වී සිට එහි සිදුවන දේවල් සියල්ල හිටපු පොලිස්පති එන් .කේ .ඉලංගකෝන් සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීප් යන අයට තොරතුරු සැපයීමේ කරුණු මතය.

මොහු මොනතරම් ශූර කපටියෙක් දැයි කිව්වොත්, තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කර එය සාක්කුවේ දමාගෙන හෝ අතේ තබාගෙන පූජිත ජයසුන්දර නිල නිවසේ වෙනත් අය සමග කතා කරනවිට ඒ අසල රැඳී සිටිමින් ඒවා එන් .කේ. ඉලංගකෝන්ට සහ එම් .ආර් .ලතීෆ්ට ඇසීමට සලස්වා ඇත.

මෙය සහ වෙනත් කරුණු කිහිපයක් අතටම අසුවීමත් සමග පූජිත ජයසුන්දර ඔහුව ආරක්ෂක බලඇණියෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි. තම පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී අමානුෂික ලෙස හිරිහැර කරමින් කටයුතු කරන මොහු කාට චණ්ඩිපාට් දැම්මද ගෙදර බිරිඳට ඇත්තේ පරාණ බයකී.

ඕනෑම උසස් නිලධාරියෙක් කියන කුප්ප වැඩක් ඉතාමත් සූක්ෂම ලෙස කිරීමේ හැකියාවක් ඇති රුමේෂ් ලියනගේ සිරස මාධ්‍යවේදීන්ට පහර දුන්නේද එම ක්‍රියාවලිය තුළ සිටය.රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගිනි තැබීම හා සිරස මාධ්‍යවේදීන්ට පහරදීම අහම්බෙන් සිදු වූ ඕපපාතික සිදුවීමක් නොව ,ඉතාමත් සැලසුම් සහගතව සිදු වූ ක්‍රියාවකි.

එය සිදු වූ ආකාරය පෙර සිටම පූර්ණ වශයෙන් දැන සිටියේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු කිහිප දෙනෙකි.

රනිල් ගේ නිවසට ගිනි තැබීම ඔහුගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුනු පිරිස් සිදු කළ ක්‍රියාවක් නොව, එම උද්ඝෝෂණය තුළට පොලිසිය මගින් රිංගවා සිටි පිරිසක් කළ කුප්ප වැඩකි.නිවසට ගිනි තබා ඔවූන්ට උද්ඝෝෂකයන් තුළින් පලා යෑමට පවා අවශ්‍ය පසුබිම සැකසූවේ ආරක්ෂාවට යොදවා සිටි අගමැති ආරක්ෂක අංශයේම ඇතැම් භට පිරිස් විසිනි.

මෙම උද්ඝෝෂණය වාර්තා කිරීමට ඉඩ නොදී සිරස මාධ්‍යවේදීන්ට පහර දී පලවා හැරීමට පොලීසිය ක්‍රියා කළේ ඇයි ? ඔවුන්ට නිසි ලෙස එම වාර්තාකරණයේ යෙදීමට අවශ්‍ය ඉඩ පහසුකම් තිබුණේ නම්, රනිල් ගේ නිවසට ගිනි තැබීමට පොලිස් ඔත්තුකරුවන්ට හැකියාව ලැබෙන්නේ නැත.

එසේ වූයේ නම්, නිවසට ගිනි තබන ආකාරය, එය සිදු කරන පුද්ගලයන්,එයට ඉන්ධන සහ වෙනත් පහසුකම් සපයන ආකාරය යනාදී බොහෝ දේවල් සිරස මාධ්‍යවේදීන් ඡායාරූප ගත කර ප්‍රචාරය කරනු ඇත. එවිට මෙම සිද්ධියට සම්බන්ධ කරුණු කාරණා වල සුළමුල සහ තොරතුරු හෙළිදරව් වනවා ඇත.

එය වැළැක්වීම සඳහා ප්‍රථමයෙන්ම සිදුකළේ උද්ඝෝෂණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදී පලවා හැරීමය. එමගින් වාර්තාකරණය අඩපණ කර පොලිස් ඔත්තුකරුවන් ( පැරා මිලිටරි ) නිවසට ගිනි තබා එය අරගලකරුවන් විසින් සිදුකළ බවට මාධ්‍ය මෙහෙයුමක යෙදිණි.

රනිල් වික්‍රමසිංහ කල්ලිය පුන පුනා ප්‍රකාශ කළේ සිරස මාධ්‍ය ආයතනය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිටට පිරිස් රැස් කර එය ගිනි තැබීමට සැලැස්සූ බවය. එය අමූලික බොරුවකි.එවැනි දෙයක් ඇත්නම් පොලිසිය නිවැරදි ආකාරයේ පරීක්ෂණයක් සිදු කර පෙන්විය යුතුය.

මෙහි ප්‍රබල ප්‍රශ්නය වන්නේ රනිල්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය වාර්තා කිරීමට පැමිණි සිරස මාධ්‍යවේදීන්ට පහරදී අඩන්තෙට්ටම් කර එය වැලක් වූ පොලිස් විශේෂ කාර්ය බලකායට රනිල් ගේ නිවස ගිනි තැබීම වැළැක්වීමට හෝ ගිනි තැබූ බව කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නය.

සිරස මාධ්‍යවේදීන්ට පහර දීමේ සිදුවීම සමාජයේ දැඩි අප්‍රසාදයට ලක්වීමත් සමග එයට හවුල් වූ විශේෂ කාර්ය බළකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රුමේෂ් ලියනගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනිණි. නමුත් එය ප්‍රශ්නයට විසඳුමක් නොවේ.

මෙය අමානුෂික මිලේච්ඡ ප්‍රහාරයකි.එබැවින් රුමේෂ් ලියනගේ පමණක් නොව ,ඊට සම්බන්ධ සියලූ දෙනාම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර නඩු පැවරිය යුතුය.

දැන් ඇති අලූත්ම කරුණ නම්,සමාජ උණුසුම පහව ගිය පසු වැඩ තහනමට ලක්ව සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරී රුමේෂ් ලියනගේව නැවත සේවයේ පිහිටුවන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට උපදෙස් ලැබී ඇත.

රනිල්ගේ නිවසට ගිනි තැබීමෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලාපොරොත්තු වූයේ, රනිල් වික්‍රමසිංහ සහ අරගලකරුවන් අතර දේශපාලන ප්‍රශ්ණයක් නොව, ඉන් ඔබ්බට ගොස් දෙපාර්ශවය අතර පෞද්ගලික ප්‍රශ්නයක් දක්වා සිද්ධිය වර්ධනය කිරීමටය.එය සාර්ථක වූ බවක් පෙනේ.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් වූ සැනින් රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ඇඳිරි නීතිය පනවා අරගලකරුවන් පැසිස්ට්වාදී, ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඔවූන්ව මර්දනය කිරීමට ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අවශ්‍ය බලතල ලබාදෙන බව ප්‍රකාශ කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නිරතුරුව ප්‍රකාශ කරන්නේ රට තුළ ජාතික ආරක්ෂාව උපරිම වශයෙන් සහතික කර ඇති බවය. එලෙස වැල් බයිලා නිදිවරාගෙන මාධ්‍ය තුළින් දෙසා බානවිට අනෙක් පැත්තෙන් ඔහු රනිල් වික්‍රමසිංහ ,ටිරාන් අලස් ,දේශබන්දු තෙන්නකෝන් සමග එකතු වී ආණ්ඩුවට විරුද්ධව නැගී එන ජන බලය මර්දනය කිරීම සඳහා ලේ පිපාසාවෙන් තුවක්කු අමෝරාගෙන ගිනි බිඳීමට පටන්ගෙන ඇත.

මෙය ඉක්මනින්ම ජනතාව පරාජය කළ යුතුය. එසේ නොවුණහොත්, සිය බලය රැකගැනීම සඳහා රනිල් , රාජපක්ෂ කල්ලිය මිනිස් ජීවිත කීයක් බිළිගන්නේ ද යන්න බරපතළ ප්‍රශ්නයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published.