හිස උදුම්මා ගත් උද්ධච්ච පාලකයෝ නිරතුරුව හිතන්නේ බලය යනු, අන් අයගේ මතයට ගරු කිරීමක් හෝ ඇහුම්කන්දීමකින් තොරව තම බලහත්කාරී බල පැවැත්ම වෙනුවෙන් ජනතාවට එරෙහිව භාවිතා කළ හැකි බලගතු ගිනි අවියක් බවය.

රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ හිතන්නේත් එසේය .එසේ නොවේ නම්, මෙතරම් රටට බරපතළ අපරාධයක් සිදු වී තිබියදීත්, ඒ කෙරෙහි කිසිදු තැකීමක් නොකර තම බලය රැකගැනීම උදෙසා ඉතාමත් තිරිසන් පිළිවෙතක් ඹවූහු අනුගමනය කරන්නේ නැත.රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ දී, එහි තිබී විනාශයට පත් වූ වැඩිම වස්තුව ලෙස ප්‍රකාශ වූයේ පුස්තකාලයයි .

එහි ඓතිහාසික වශයෙන් වැදගත් පොත් පත් 2500 ක් පමණ තිබූ බව කියැවෙයි.ප්‍රශ්නය ඇත්තේ මෙතරම් වටිනා පොත්පත් තිබී ඒවා කියවා බලා ගුණ නුවණ වඩවා තිබුණේ නම් ,රනිල් වික්‍රමසිංහට ජනතා හිතවාදී මොළයක් තිබිය යුතුය. නමුත් ඔහු කරන කියන දේවල් වලින් පෙන්නුම් කෙරෙන්නේ එවැනි සුවඳවත් මොළ කුහරයක් ඔහුට නැති බවය.කොස් ගෙඩියක් තරම් ඔලු ගෙඩියක් තිබුණාට කොස් ඇටයක් තරම්වත් මොළයක් නැත. තිබුනේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නායකයෙකු ලෙස ජනමතයට ගරු කර සිය ධූරයෙන් ඉල්ලා අස්වී නිවැරදි අයෙක් අගමැති හෝ ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතුය.

ඔහු පෙනී සිටින්නේ දකුණු ආසියාවේ උගත්, බුද්ධිමත් ,විඥානයක් හිමි හොඳම දාර්ශනික වියතා ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදීයේ දෙවොල ලෙසය. එංගලන්ත අගමැතිටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අයකු ලෙසය. නමුත් ඒ සියල්ල බොරු බයිලා බව ඔහු සිය පූටුවට පත්වූ පසු කරන නින්දිත ක්‍රියාවලිය තුළින් මනාව පැහැදිලිය.ශ්‍රී ලංකා දේශපාලන භූමිය තුළ විශාල ජන බලයක් හිමිකරගෙන සිටි එක්සත් ජාතික පක්ෂය බිමට සමතලා කර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකින් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහට ජනාධිපති හෝ අගමැති පුටුවේ වාඩිවීමට ඇති ජනවරම කුමක්ද ? සදාචාරාත්මක අයිතිය කුමක්ද ?69 ලක්ෂයක් ඡන්දය ලබා ගත් ගෝඨාභය රාජපක්ෂටත් ජන බලය අහිමි වී රටින් පලා යෑමට සිදු වූවා නම්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස බලහත්කාරයෙන් අගමැති හා ජනපති පුටුවේ වාඩි ගත් රනිල් වික්‍රමසිංහට ඔහුගේ මෙම ක්‍රියාදාමයන් තුළ යෑමට සිදුවන්නේ ලිබියාවේ ගඩාපි ගිය සෝචනීය මාර්ගය වීමට බැරි නැත.රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ පසු ප්‍රකාශ කළේ අරගල භූමිය සක්තිමත් කළ යුතු බවය .ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙමින් ආරක්ෂාකාරීව එය කරගෙන යෑම උදෙසා වටපිටාව නිර්මාණය කළ යුතු බවය.

දැන් වැඩ බලන ජනාධිපති හා අගමැති යන දෙකම අතේ තබාගෙන ඔහු ප්‍රකාශ කරන්නේ කුමක්ද ? අරගලකරුවන් පැසිස්ට්වාදීන් බවය .ඔවුන් මර්දනය කිරීම උදෙසා ආරක්ෂක අංශවලට සියලු බලතල ලබාදිය යුතු බවය .මුළු රට පුරා හදිසි නීතිය දමා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් රනිල් දැන් සැරසෙන්නේ රටම ලේ විලක් කිරීමටය.රනිල් වික්‍රමසිංහ මේ පළිගන්න උත්සාහ කරන්නේ කාගෙන්ද ?

මේ රටට දැයට ආදරේ ජනතාවගෙනි. එයට අප ඉඩ දිය යුතුද ? නැත.රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබුවේ ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී හෝ දේශප්‍රේමී අරගලකරුවෝ නොවේ .එය ආණ්ඩුවේ පැරා මිලිටරි බලකාය විසින් සිදුකරන ලද දෙයකි.ගිනියම්ම තිබූ ජනතා පීඩනය තුළ ගෝඨාභය රාජපක්ෂ පියවර ගත්තේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගැනීමටය.

ඉන් ඔහුගේ වෑයම සාර්ථක විය .ඔහුගේ පැරා මිලිටරි බලකාය රනිල්ගේ නිවස ගිනි තබා එය අරගලකරුවන්ගේ පිටින් යැවීමට ක්‍රියා කෙරිණි.එමගින් රනිල් හා අරගලකරුවන් අතර නොමිදෙන ගැටුමක් නිර්මාණය කළෝය .1988 ,89 යුගයේ සිදුවූයේත් එයයි .හමුදා අතුරු බලඇණි හමුදාවේ අයගේ නිවාස ගිනි තබා ඔවූන්ගේ පවුල් පිටින් මරා එහි වගකීම ජ.වි.පෙ මත පටවා හමුදාව හා ජනතා විමුක්ති පෙරමුණ අතර වෛරයක් හා ගැටුමක් ඇති කිරීමට පසුබිම සැකසිණි.රනිල් ගේ නිවස ගිනි තැබීම තුළ නිර්මාණය වි ඇත්තේත් දැන් එවැනි ගැටුමකි.

මුලින් අරගලකරුවන්ට ප්‍රශංසා කරමින් ඔවූන්ට පහසුකම් සපයන බව ප්‍රකාශ කළ රනිල් දැන් අරගලකරුවන් පැසිස්ට්වාදීන් ලෙස හංවඩු ගසමින් ඔවූන්ව මර්දනය කිරීමට බැටන් පොලු ,වෙඩි ප්‍රහාර, කඳුළු ගෑස් ,ජල ප්‍රහාර එල්ල කිරීමට නියෝග දෙන්නේ එබැවිනි.” ජනතා වරමක් නැති රනිල්ට අගමැතිධූරයේ රැඳී සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. එබැවින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් විය යුතුය”යන්න .ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරමින් කියා සිටියේ අගමැතිධූරය තමන් භාර ගෙන මාස හයක් ඇතුළත මූලික ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට පියවර ගන්නා බවය.එයට ප්‍රතිචාර දක්වමින් රනිල් කියා සිටියේ තමා ඉල්ලා අස්වී අනුරට අගමැති කම බාරදීමට කැමති බවය.

එසේ ප්‍රකාශ කළ රනිල් දැන් අගමැතිකම පමණක් නොව, වැඩ බලන ජනාධිපති පූටුවද අත්පත් කර ගනිමින් තම බල තණ්හාව තවත් උද්දීපනය කර ඇත.රනිල් දැන් සම්පූර්ණයෙන්ම උත්සාහ කරන්නේ රාජපක්ෂ බල ඇණියට දේශපාලන රැකවරණ ලබා දෙමින් ඔවුන්ව නීති රාමුවෙන් ආරක්ෂා කර තවදුරටත් සිය බලය සහයෝගයෙන් පවත්වාගෙන යෑම උදෙසා අවශ්‍ය පරිසරය සකසා ගැනීමටය.මෙය තනිකරම රනිල් ,රාජපක්ෂ මාලිගා කුමන්ත්‍රණයකි. ජනතා විරෝධය හමුවේ මැරුම් නොකා ගෝඨාභය රාජපක්ෂ රටින් පළා ගියේ රනිල්ගේ සම්පූර්ණ සහය ඇතිවය. බැසිල් රාජපක්ෂටද රටින් පිටවී යෑමට රනිල් වික්‍රමසිංහ අවශ්‍ය පහසුකම් සලසමින් සිටී.රාජපක්ෂලාගේ එකම ගැලවුම්කාරයා එදත් අදත් රනිල්ය.

රනිල් ,ගෝඨා ,බැසිල් රාජපක්ෂ ,හා ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ බලඇණිය රහසිගතව කතාබහ කර ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පැන යෑමට මාර්ගය පෑදීය. ගෝඨාභය ප්‍රකාශ කළේ තමා රටින් ගිය සැණින් ජනාධිපති ධූරයෙන් ඉවත්වීම නිවේදනය කරන බවය.දැන් එය සිදු වූවාද ? නැත .එසේ නම් ,සිදු වූයේ කුමක්ද ? ගෝඨාභය ජනාධිපති මුක්තියට මුවා වී රටින් පිටවී වැඩ බලන ජනාධිපති ලෙස රනිල්ව පත් කිරීමය.එමඟින් ප්‍රකාශ වන්නේ කුමක්ද ? ගෝඨා තවමත් ජනාධිපතිධුරයෙන් ඉවත්වී නැති බව නොවේද ?වැඩ බැලීම උදෙසා වෙනත් අයකු පත්කරන්නේ ගෝඨා රටින් පිට වී ඇති බැවින් නැවත පැමිණෙනතුරු යන සංකල්පය මතය. එවිට එය ජනාධිපති ධූරයෙන් ඉවත්වීමක් වන්නේ කෙසේද ?දැන් රනිල් උත්සාහ කරන්නේ අගමැති ධූරයෙන් ඉවත් වී වෙනත් අයකු එයට පත්කර ජනාධිපතිධූරයේ ඔහු දිගටම රැඳී සිටීමට මාර්ගය පාදා ගැනීමටය.

අරගලකරුවන් සටන් කරන්නේ රනිල්, ගෝඨා දෙන්නාවම ගෙදර යායුතු බවය .එසේ තිබියදී ,රනිල් තවදුරටත් ජනපති,අගමැති පුටුවේ සිටීම අරගල හඬට පිටුපෑමකි.එසේනම් ,අස්ථාවර වී ඇති රට ස්ථාවර කිරීමට නම්, ගෝඨාභයසේම රනිලුත් ගෙදරයා යුතුමය.එමගින් කතානායක මහින්ද යාපා අබේවර්ධනව තාවකාලිකව වැඩ බලන ජනාධිපති ලෙස පත්කළ යූතුය.ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කර ගෙන රට නැවත යථා තත්වයට පත්කළ යූතුය.ඉන් පසු මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පිරිසක් පත්කර පාලනය රැගෙන යෑමට පියවර ගත යුතුය.එයින් තොරව ඇති වී තිබෙන අයහපත් ස්වභාවයට යහපත් පිළිතුරුක් බලාපොරොත්තු විය නොහැක.

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published.