පොලිසිය දේශපාලනීකරණයට ලක්වීම නීතියේ ආධිපත්‍ය වළපල්ලට යෑමකි. මේ තුළින් පොලීසියත්, දේශපාලනයත්, නීතියත් බල්ලාට ගොස් ඇත.

නිවැරදි ආකාරයට නම්, සිදුවී ඇත්තේ දේශපාලනය හෝ පොලිසිය බල්ලට යෑම නොව, බල්ලෝ දේශපාලනේට සහ පොලීසියට ප්‍රවිශ්ඨවීමය.2022 මැයි මස 9 වෙනි දින ගෝල්පේස් අරගලකරුවන්ට පහරදීමේදී අප දුටුවේ මෙම අශෝභන තත්ත්වයේ කැඩපතකි.හිටපු ඇමතිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටුවේ මැරකල්ලි එම අරගලකරුවන්ට පහර දෙනවිට ඔවූන්ව ආරක්ෂා කරමින් රැකවරණ සැපවූයේ පොලිසියයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැරයන් සමග එකට සිටිමින් කටයුතු කළ ස්වභාවය ඊට කදිම නිදසුනකි. සමාජ යහපත උදෙසා නීතියේ ආධිපත්‍යය සුරැකීමේ ඉහළින්ම වැජඹෙන පොලිස් ප්‍රබලයෙක් එලෙස කටයුතු කිරීම තුළම පොලිසිය වැටී ඇති තත්ත්වය කුමක්ද යන්න පැහැදිලි වනු ඇත.ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් හා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රහස් පොලීසියට නියෝග කර ඇතත්, එය අද වනතුරුත් ක්‍රියාත්මක නොකිරීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ නීතිපති හෝ මහේස්ත්‍රාත්වරයාවත් පොලිසිය සතපහකට ගණන් නොගන්නා ස්වභාවයක් ඉස්මතු වී ඇති බවය.

මෙහි තවත් සුවිශේෂී වූ සිද්ධියක් නම්,දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලේකම් ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායක වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුකොටගෙන විශ්‍රාම ගොස් ඇතත්, ඔහුව යළි සේවයේ පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින අරගලකරුවන් මර්දනය කිරීමට සහ දේශපාලන කුමන්ත්‍රණ දියත් කිරීමට ඔහුව යොදා ගැනීමේ සැලසුමයි.

මොහු දියත් කළ ආන්දෝලනාත්මක දේශපාලන කුමන්ත්‍රණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායකව හඬපට සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා කරන ලද තිරය පිටුපස ක්‍රියාවලියයි.කවුරුත් දන්නා ආකාරයට රන්ජන් රාමනායකගේ නිවස වටලා ඔහු සතුව තිබූ හඬපටි තොගයක් 2020 ජනවාරි මස 4 වන දින පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිණි. නමුත් මෙහි සැබෑ කතාව කිසිවකුත් හරි හැටි දන්නේ නැත. එසේනම්, එම කතාව කුමක්ද ?එනම්, රංජන් රාමනායක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ බල ඇණිය දැඩි ලෙස විවේචනය කළ අයෙකි.එබැවින් ඔහු සමග දැඩි අමනාපයකින් පසු වූ රාජපක්ෂලා රංජන් රාමනායකව කිසියම් උගුලකට පටලවා ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක නියැලී සිටියෝය.

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තට දැනගන්නට ලැබී ඇත්තේ රංජන් රාමනායක සතුව විවිධ ප්‍රභූ පුද්ගලයන් සමඟ දුරකතනයෙන් කතා කරන ලද හඬපට තොගයක් තිබෙන බවටය.ඒවා රන්ජන් රාමනායකගේ නිවසේ යම් අයෙකු අල්ලාගෙන සියතට ගැනීමේ සැලසුමක් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ලොහාන් රත්වත්ත, දේශබන්දු තෙන්නකෝන්,ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායක ඇතුළු කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ඉතාමත් රහසිගතව ක්‍රියාවට නැගිණි.

ඒ අනුව රංජන් රාමනායකගේ ලේකම්වරයකුව උපක්‍රමශීලීව තමන් වෙත නම්මා ගෙන ඉන් හඬපටයක් ලබා ගැනීමට සැලසුම්කරුවෝ සමත්විය. ඒ 2019 දෙසැම්බර් මස මැද භාගයේදීය.මෙය රන්ජන් රාමනායකගේ මාධ්‍ය ලේකම්ව සිටි මොහාන් හෙට්ටිආරච්චි මාර්ගයෙන් සිදු වූ බව කියැවෙයි.නමුත් එය පිළිගැනීමට මොහාන් හෙට්ටිආරච්චි කැමති නැත.ඔහු ප්‍රකාශ කරන්නේ තමා මීට කිසිදු සම්බන්ධයක් නැති බවය. එසේනම්,එම හඬපටය රන්ජන් රාමනායකගේ නිවසින් සොරකම් කර සැලසුම් කරුවන්ට ලබා දුන්නේ කවුද ?

සොරකම් කරන ලද එම හඬපටය කුමන්ත්‍රණකරුවන් විසින් පරිගණක ආධාරයෙන් ක්‍රියාත්මක කළවිට ඒ තුළ බොහෝ රහසිගත දේවල් රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබිණි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක, කඩුවෙල දිසා විනිසුරු ධම්මික හේමපාල, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, රහස් පොලිසියේ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් බොහෝ අය රන්ජන් රාමනායක සමග දුරකථන මගින් කතා කරන ලද කරුණු එහි අඩංගු විය.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වෙනුවෙන් මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වාගේ නඩු කටයුතු පිළිබඳව සහ තවත් නඩු වල විස්තර පමණක් නොව,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ ලිංගික කරුණු පිළිබඳව කතා කරන හඬපටද ඒ තුළ තිබිණි.

මේවා හිරු, දෙරණ මාධ්‍ය නාලිකා මගින් ප්‍රචාරය කිරීම නිසා රට තුළ මහත් කතාබහක් ඇති විය.පසුව පොලිසිය රන්ජන් රාමනායකගේ නිවස වටලා තවත් හඬපට තොගයක් සමග ඔහුවද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එය සිදු වුයේ කුමන ආකාරයටද ? එහි තිරය පිටුපස කතාව ඉතාමත් අපූරු එකකි.එනම්, එම හඬපටය රන්ජන් රාමනායකගේ නිවසින් සොරකම් කළ පසු ඔහුගේ නිවස වටලා ඉතිරි හඬපට තොගය සමඟ රන්ජන් රාමනායකවද අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය විය.එම කටයුත්ත කිරීමේ වගකීම පැවරුණේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතය.

ඔහු එය අකුරටම ඉෂ්ට කෙරිණි.ඔහු කළේ දෙමටගොඩ ,වැල්ලම්පිටිය පාරේ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වාට දුරකථනයෙන් කතා කර සිද්ධියට අදාළ කරුණු පැහැදිලි කර දී රන්ජන් රාමනායකගේ නිවස වටලා එම හඬපට තොගය සමග ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසය.සිද්ධියේ බරපතලකම තේරුම් ගත් ඔහු ඊට අකමැති විය.ඊළඟට දේශබන්දු තෙන්නකෝන් කතා කළේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාටය.

ඔහුත් සිද්ධියේ බරපතලකම තේරුම්ගෙන එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මීළඟට දේශබන්දු තෙන්නකෝන් කතා කළේ දැනට රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහටය.ඔහු ඒ වනවිට පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අංශය බාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.දේශබන්දු තෙන්නකෝන් ඔහුට කතා කර සිද්ධිය පැහැදිලි කරදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාට කතා කර රංජන් රාමනායක සමග හඬපට තොගය අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස වැටලීමට එකග කර ගන්නා ලෙස දැනුම් දුන්නේය.ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ජයන්ත පෙරේරාට දුරකථනයෙන් කතා කර ඔහුව පොලිස් මූලස්ථානයේ සිය කාර්යාලයට ගෙන්වා ගෙන කරුණු පැහැදිලි කරදී එම මෙහෙයුම දියත් කිරීම සඳහා ඔහුව එකඟ කරවා ගත්තේය.

ඉතිරි වැඩකටයුතු කර සිද්ධිය සැලසුම් කිරීමට සම්පූර්ණයෙන්ම භාර කෙරුණේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලේකම් ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායකටය.ඔහු කාලයක් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේය. එමගින් ඔහු එම පොලිස් කොට්ඨාසයේ බොහෝ දෙනාව දැන අඳුනාගෙන වූණි. ඒ අනුව ඔහු ග්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට නුදුරින් කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි ගරාජ් හිමියෙකුට දුරකථනයෙන් කතා කර සිද්ධිය පැහැදිලි කර දී විශ්වාසවන්ත ත්‍රීරෝද රථ රියදුරකු සොයා දෙන ලෙස දැනුම් දුන්නේය. එයට ඔහු එකඟ විය.එම ත්‍රීරෝද රථ රියැදුරා නම්, බත්තරමුල්ල ,දකුණු තලංගම, අංක 890 දරන ස්ථානයේ පදිංචි අබේකෝන්ගේ වෙනුර කුෂාන්තය.ඔහු වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙක් නොව ,සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන අයෙකි.

සේවය නිමවීමෙන් පසු කිසියම් අමතර මුදලක් සොයා ගැනීම සඳහා ත්‍රීරෝද රථය මගී ධාවනය සඳහා යොදා ගනු ඇත.අද්‍රළ සැලසුමට අනුව ගරාජ් හිමියා මගින් එම ත්‍රීරෝද රථ රියදුරාව සාකච්ඡාවක් සඳහා තලවතුගොඩ ප්‍රදේශයට ගෙන්වනු ලැබීය. එම සාකච්ඡාවට ඔවුන් දෙදෙනා සමඟ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා පැමිණියෝය.එම අවස්ථාවේ සියළු දෙනා එකතු වී සාකච්ඡා කර ත්‍රීරෝද රථ රියදුරාට අදාළ කරුණු පැහැදිලි කරදී රන්ජන් රාමනායකගෙ නිවසින් සොරකම් කරන ලද හඬපටය ඔහුට ලබාදුනි. එතැන් සිට ඔහුට පැවරුණු කාර්ය භාර්ය කිරීමට සිදුවිය.දිනය 2020 ජනවාරි මස දෙවැනිදාය. වේලාව පස්වරු 7.00 ට පමණ ඇත.

අබේකෝන්ගේ වෙනුර කුෂාන්ත A. B. J 5428 අංක දරන සිය ත්‍රිරෝද රථය පදවාගෙන බත්තරමුල්ලේ සිට පාර්ලිමේන්තු පාර හරහා කිඹුලාවල, කෝට්ටේ පාර ඔස්සේ ඉදිරියට ඇදෙමින් නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.ඒ වනවිට ඔහු පැමිණෙනතුරු මග බලාගෙන අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කිහිප දෙනෙක් සිටියෝය.

එහි පැමිණි ත්‍රීරෝද රථ රියදුරා අදාල සැලසුමට අනුව පොලිස් නිලධාරියෙක් වෙත රංජන් රාමනායකගේ නිවසින් සොරකම් කළ හඬපට අඩංගු හාර්ඩ් ඩිස් එක ලබාදෙමින් අපූරු ප්‍රකාශයක් කළේය.එනම්, ඔහු ප්‍රකාශ කර සිටියේ තම ත්‍රිරෝද රථයට කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස අසලින් කිසියම් පුද්ගලයකු කූලී ගමනක් යෑම සඳහා ගොඩවැදුනු බවය. එම පුද්ගලයා කෝට්ටේ, බැද්දගාන ක්‍රීඩාංගනය අසලින් බැස ගිය බවය.නමුත් ඔහු අත තිබූ මෙම හාර්ඩ් ඩිස් එක අමතක වී ගොස් ඇති බැවින් එය ලබාදීම සඳහා ආපසු බැද්දගාන ප්‍රදේශයට ගොස් සොයා බැලුවද ඔහුව හමුනොවූ බවය. මෙය වැදගත් දෙයක් විය හැකි බැවින් තමා මෙය රැගෙන ආවේ පොලිසියට ලබාදීමට යැයි කියමින් ඔහු එම හාඩ් ඩිස් එක එම පොලිස් නිලධාරියාට ලබාදුනි.ඉන්පසුව පොලිස් නිලධාරියෙක් ඔහුගේ කට උත්තරය පොලිස් පොතේ සටහන් කෙරිණි.

ඔහුගේ නම ,ත්‍රිරෝද රථයේ අංකය, දුරකථන අංකය හා සිද්ධියට අදාළ ඔහුගේ කට උත්තරයේ සියලු කරුණු එහි අඩංගු කෙරිණි. මෙහි ඔහුගේ දුරකථන අංකය ලෙස 071-4762991 ලෙස සඳහන් වී ඇත.එය මා පරික්ෂා කර බැලූ විට එය ව්‍යාජ අංකයක් බව සනාථ විය. එම අංකයේ හිමිකරුවා එම ත්‍රීරෝද රථ රියදුරා නොව,ඒ වනවිට වවුනියාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි කැඩෙට් නිලධාරියකු වන අසංක නැමැත්තා ගේය.අනතුරුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් එම හාඩ් ඩිස්ක් එක ඉහළ මාලයේ පිහිටි පරිගණකයකට සම්බන්ධ කර එහි අඩංගු වී තිබෙන්නේ මොනවාදැයි රාත්‍රී 10:30 පමණ තෙක් විස්තර විපරම් කර බැලුවෝය.

එහි රන්ජන් රාමනායක විනිසුරුවරු ,පොලිස් නිලධාරින්, මන්ත්‍රීවරු සහ වෙනත් අය සමග කතා බහ කරන සියලු දුරකථන සංවාද පටිගත වී තිබිණි. එම කරුණු අඩංගු කර බී වාර්තාවක් සකස් කර බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස ඒ වනවිට කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්ප කුමාර වෙත ඉදිරිපත් කළේය.ඔහු මෙය ඒ වනවිට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ධූරය දැරූ මහේෂ් සේනාරත්න වෙත ඉදිරිපත් කර ඔහුගේ උපදෙස් මත වැඩිදුරටත් කටයුතු කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා වෙත උපදෙස් දුනි.ඒ අනුව අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳව 2020 ජනවාරි මස 4 වන දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂාකර ඉතිරි හාර්ඩ් ඩිස්ක් සමග ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගත්තේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් රන්ජන් රාමනායකගේ නිවස වටලා ඉතිරි හාර්ඩ් ඩිස් සමග ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කිරීමට පියවර ගැනිණි.මෙහි ප්‍රධාන කාර්ය භාරයක් සිදුකල කිඹුලාවල ගරාජ් හිමියාට සහ ත්‍රීරෝද රථ රියදුරාට විශාල මුදලක් දෙන බව ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දසනායක එකඟවී සිටියද ඔවුන්ට එකී මුදල් ලබා දුන්නේ නැත. වැඩේ කරගෙන පොල්ල තියා ඔවූන්ව රැවටීය.මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන දායකයකු වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලේකම් රංජිත් දහනායක ඒ වනවිට සිටියේ පොලිස් අධිකාරිධූරයේය.කුමන්ත්‍රණය සාර්ථකව කිරීමෙන් පසුව ඔහුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට උසස් කරනු ලැබීය.එපමණක් නොව,වයස අවුරුදු 60 සම්පූර්ණවීම නිමිති කොටගෙන ඔහු 2021 දෙසැම්බර් මස විශ්‍රාම යනු ලැබීය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මැදිහත් වී ඔහුගේ සේවය තවත් මාස හයකට දීර්ඝ කරනු ලැබීය.ඉන් පසු ඔහුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි නැගී එන ජනතාව මර්දනය කිරීමට පසුගිය දිනවල යොදා ගනු ලැබීය.කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය වටකර ඊට ඇතුල්වීම සඳහා විශාල ජනතාවක් එක්රොක් වී දින ගණන් අරගල කරනවිට ඔවූන්ව එම ස්ථානයෙන් පන්නා දමා මර්දනය කිරීමට පියවර ගත් එක් පොලිස් ප්‍රධානියකු වූයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් දහනායකය.ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් රංජිත් දසනායකගේ සේවය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇත. එනම්, මීට පෙර ඔහුගේ දීර්ඝ කළ මාස හයද 2022 ජුනි මස අවසන්ය.

එබැවින් තවත් මාස හයක් ඔහුගේ සේවය දීර්ඝ කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්නට දැනුම් දී ඇතත්, ඔහු ඊට කැමති නැති බව කියැවෙයි.එම නිසා දැන් පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ මාර්ගයෙන් මෙය කැබිනට් මණ්ඩලයට යොමු කර රංජිත් දහනායකගේ සේවය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට පියවර ගනිමින් සිටී. මෙයට පොලිසිය තුළින් මේ වනවිටත් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

එබැවින් පොලිස්පතිවරයා මීට එරෙහිව දැඩි තීරණයක් ගත යුතු බව උසස් පොලිස් නිලධාරීන්ගේ මතයයි.පොලිසිය දේශපාලනීකරණයවීම තුළින් පොලීසියට අත්වී ඇති ඉරණම කුමක්ද යන්න මෙම කරුණු තුළින් මනාව සනාථ වනු ඇත. මේ ආකාරයට දේශපාලන කුමන්ත්‍රණ වල යෙදෙමින් වරදාන, වරප්‍රසාද, උසස්වීම් හා සේවා දිගු ලබාගෙන කටයුතු කරන පොලිස් නිලධාරීන් කරන ජනතා සේවය කුමක්ද ?පොලිසිය විනාශ කරන මේ හැත්ත බුරුත්ත සහ රට කාබාසිනියා කරන දේශපාලනඥයන්ව ගෙදර යැවීමේ කාලය දැන් පැමිණ ඇත. ඒ වෙනුවෙන් ජනතාව පියවර ගත යුතුය. නැත්නම් අපට රටක් හෝ ජීවත්වීමට කිසිදු මගක් නැතිවනූ ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.