පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අපරාධකරුවකුගේ බැංකු ගිණුමක තිබි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති ග්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනගේ හොඳම හිතවතකු වන පොළොන්නරුව නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වරට අයත් රුපියල් කෝටි 47 ක මුදල් ගණුදෙනුවක තොරතුරු අනාවරණය වෙයි.

2019 අප්‍රේල් මස 21 වැනි දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සහ දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 265 දෙනෙකු මියගොස් තවත් 600 කට ආසන්න පිරිසක් බරපතළ හා සුළු තුවාල ලැබූවෝය.තව්සික් ජමාල් සංවිධානය මගින් එල්ල කළ මෙම ප්‍රහාරය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘පාස්කු බෝම්බ ප්‍රහාරය’ යනුවෙනි. එහිදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරවා හැරීමට සම්බන්ධ වූයේ එම සංවිධානයේ ඉන්සාඩ් අහමඩ් නැමති අයෙකි.ඔහු විසින් භාවිතා කරන ලද 077-7363198 අංක දරන ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී බොහෝ රහසිගත තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

එහි සුවිශේෂී කරුණක් නම්, එක් පුද්ගලයෙක් පමණක් දුරකථන ඇමතුම් වරින්වර අසීමිත ලෙස ලබාගෙන තිබීමය. ඔහු විසින් ලබාගෙන තිබු සමස්ත දුරකථන ඇමතුම් ප්‍රමාණය 567 කි.එනම්, ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරුවා හැරි ඉන්සාඩ් අහමඩ් සමඟ 2018 වසර තුළ පමණක් දුරකථන ඇමතුම් 316 ක් ලබාගෙන ඇත.2019 ජනවාරි මස 3 වැනිදා සිට 2019 අප්‍රේල් මස 18 වැනිදා දක්වා එනම්, පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවීමට දින තුනක් තිබියදී පමණක් ලබාගෙන ඇති දුරකථන ඇමතුම් ප්‍රමාණය 251 කි.ඒ අනුව ඔවුන් දෙදෙනා අතර හුවමාරු වී ඇති සමස්ත දුරකථන ඇමතුම් සංඛ්‍යාව 567 කි.මෙම බෝම්බ ප්‍රහාරකයා සමඟ මෙතරම් දුරකථන සංඛ්‍යාවක් හුවමාරු කර ගත්තේ කවුද ?

මේ ගැන කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු කොච්චිකඩේ, පෝරුවතොට පාරේ, අංක 198 දරන ස්ථානයේ පදිංචි අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලා නැමැති අයකු බවය.ඒ අනුව ඔහුව රහස් පොලීසිය මගින් 2020 අප්‍රේල් මස 14 වන දින අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී බොහෝ කරුණු අනාවරණය වී ඇත. හෙළිවන කරුණු වලට අනුව ඔහු බෝම්බකරු සමඟ ඉතාමත් කිට්ටුවෙන් සබඳතා පවත්වමින් බෝම්බකරුට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ආයතනයට 2018 ජූනි මස 20 දින තඹ කිලෝ 673 ක් විකුණා ඇත.

එම තඹ තොගය ඔහු ලබාගෙන ඇත්තේ අනුරාධපුර, මහබුලන්කුලම ,උලුක්කුලම, තුසිත බේකර්ස් අධිපති ගීකියනගේ තුසිත විනෝද් ගෙනි.එසේම, අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලා 2018 ජූලි සහ අගෝස්තු මාස වල වේයන්ගොඩ ,බාදුරාගොඩ පාරේ පදිංචි රංජිත් විල්සන් දිසානායකට අයත් යැංකි කන්ට්‍රක්ෂන් ආයතනය හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබූ තඹ කිලෝ 1000 ක් මිලදී ගෙන බෝම්බකරුට අයත් වැල්ලම්පිටියේ පිහිටි කර්මාන්ත ශාලාවට ලබා දී ඇත.සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරා හැරි ඉන්සාඩ් අහමඩ් සහ අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලා නුවරඑළිය ප්‍රදේශයේ සිටද දුරකථන ඇමතුම් හුවමාරු කරගෙන ඇත.

ඒ ගැන කරුණු විපරම් කර බැලීමේදී වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල පාරේ පදිංචි සුප්පයියා මුත්තයියා,කඩවත ,සූරියපාළුව ,පල්ලිය පාරේ පදිංචි වැලිවිට අහංගම සුදත් ගාමිණි ඉන්ද්‍රරත්න සහ අමානූල්ලාගේ පෙම්වතිය වන මරදාන ,රම්‍ය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් පාතිමා සමග නුවරඑළියෙ සංචාරයක නියැලී සිටියදී මෙම කතාබහ සිදුවී ඇති බව හෙළි වී තිබේ.මෙහි ඇති සුවිශේෂීම කරුණ නම්, අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලා පොළොන්නරුව, කදුරුවෙල, ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් පවත්වාගෙන යමින් රුපියල් 46,65,41,275 ක මුදලක් ඒ තුළ හුවමාරු වී තිබීමය. එතරම් විශාල මුදලක් ඔහුට ලැබුණේ කෙසේද ? මෙය රහස් පොලිස් නිලධාරින්ගේ විමතියට හේතු වූ කරුණකි.

ඒ ගැන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇති කරුණු වලින් පැහැදිලිව පෙන්නුම් කෙරුණේ එම මුදල් පොළොන්නරුව නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වරට අයත් මුදල් බවය.එනම්, නිව් රත්න සහල් අධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වීම තුළින් නිව් රත්න සහල් අධිපතිවරයාත් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී තිබේද යන ප්‍රශ්නය රහස් පොලිස් නිලධාරීන් තුළ මතුවී ඇත. පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වනවිට ජනාධිපති ධුරය දැරුවේ මෛත්‍රිපාල සිරිසේනය. ඔහු පොළොන්නරුවේ අයෙකි.ඔහුගේ දැනුම සහ අවබෝධය මත පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී ඇති බව රහස් පොලිසිය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනෙවිරත්නගේ මූලිකත්වයෙන් කරන ලද පරීක්ෂණවලදී කරුණු තහවුරු වී තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන නම් ප්‍රකාශ කර සිටින්නේ තමන් මේ පිළිබඳව කිසිදු දැනුවත් භාවයකින් නොසිටි බවය.මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව 2019 අප්‍රේල් මස 4 වැනිදා සිට රාජ්‍ය බුද්ධි අංශය දැනුවත් භාවයකින් සිටියද, ඒ බව තමන්ව දැනුවත් නොකළ බව ඔහු කියන කතාවකි.නමුත් රහස් පොලිස් පරීක්ෂණ හරහා අනාවරණය වී ඇති සමස්ත කරුණු නිරීක්ෂණය කිරීමේදී පෙන්නුම් කෙරෙනුයේ මෙම ප්‍රහාරය කල් වේලා ඇතුව මෛත්‍රිපාල සිරිසේන දැනුවත් භාවයකින් සිටියද ,එය ව්‍යාර්ථ කිරීමට ඔහු කිසිදු උත්සාහයක් ගෙන නැති බවය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ රහස් පොලිස් කණ්ඩායම් පැහැදිලිව ප්‍රකාශ කර සිටින්නේ මෙම ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේන දැනුවත්ව සිදු වූ බවය.යහපාලන ආණ්ඩුව පෙරළී ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම ,රහස් පොලීසිය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට විශ්‍රාම යෑමට සිදුවීම හා රහස් පොලීසිය භාරව සිටි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන සිරගත කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොටගෙන පාස්කු බෝම්බ ප්‍රහාරය ඉදිරියට නිවැරදිව රැගෙන යෑමට නොහැකිවීම ඇතුළු තවත් බොහෝ කරුණු මත පරීක්ෂණ මේ වනවිට ඉබාගාතේ ගොස් ඇති බව රහස් පොලිසිය තුළින්ම මතුවන කරුණකි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනාවට මේ වනවිට ලක්වී ඇති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේ අයෙකු මෙන්ම ඔහුගේ ළඟම හිතවතෙකු වන පොළොන්නරුව නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වරගේ රුපියල් 46,65,41,275 ක මුදලක් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලාගේ පොළොන්නරුව, කදුරුවෙල ,ලංකා බැංකු ශාඛාවේ ගිණුම හරහා හුවමාරුවීම බරපතළ සැකයට තුඩු දෙන කරුණකි.

පොළොන්නරුව නිව් රත්න සහල් ආයතනය නම්, ප්‍රකාශ කර සිටින්නේ වී අලෙවි මණ්ඩලය වී තොගයක් කුඩා මෝල් හිමියන්ට ටෙන්ඩර් දමා විකිණීමට තීරණය කර තිබියදී, එම හාල් තොගය මිලදී ගැනීමට අමානූල්ලා ‘අත්තනගල්ල පෘඩ් ප්‍රඩක්ට්ස් ‘ යන ව්‍යාපාර නාමයකින් එම වී තොග මිලදී ගැනීමට උත්සාහ කළත් ඔහුට ඒ සඳහා මුදල් නොතිබුණු බවය.එබැවින් එම වී තොගය රුපියල් 1.05 ක කොමිස් මුදලක් යටතේ නිව් රත්න සහල් ආයතනයට ලබාදීමට ඔහු කතාබහ කර එකඟ වූ බැවින් එම වී තොගය ඔහුට මිලදී ගැනීම සඳහා එකී මුදල් නිව් රත්න සහල් ආයතනයේ ගණකාධිකාරිවරයකු වූ දර්ශන සෙනෙවිරත්න මාර්ගයෙන් අමානූල්ලාට ලබා දුන් බවය.

නමුත් සොයා බැලීමේදී අනාවරණය වූයේ එවැනි ටෙන්ඩරයක් වී අලෙවි මණ්ඩලය තුළ සිදුවී නැති බවය. එයට නිදහසට කරුණු වශයෙන් නිව් රත්න සහල් ආයතනය ප්‍රකාශ කර සිටින්නේ එවැනි ටෙන්ඩර් කිරීමක් සිදු කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබුණත්, එය කිසියම් හේතුවක් මත පසුව අහෝසි ගිය බවය.පසුව එම මුදල් නැවතත් අමානූල්ලා විසින් නිව් රත්න සහල් වෙත ලබාදුන් බව එම ආයතනය ප්‍රකාශ කරන දෙයකි. එය කොතෙක් දුරට නිවැරදිද ? එසේම අනුරාධපුරයේ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලා විසින් ගිණුමක් පවත්වාගෙන ගොස් ඇත. එම ගිණුම හරහාද රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් හුවමාරු වී තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කර එය විනාශයට පත්කල තව්සික් ජමාල් සංවිධානයේ ඉන්සාඩ් අහමඩ් සමඟ දුරකථන ඇමතුම් 567 ක් හුවමාරු කරගැනීම තුළ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී බොහෝ කරුණු අනාවරණය වෙමින් පැවති මෙම අබ්දුල් මජිදු මොහොමදු අමානූල්ලාව රහස් පොලිසිය මගින් නිදහස් කර යවා ඇත.එය බරපතළ කරුණක් බව රහස් පොලිසියේම ඇතැම් අය ප්‍රකාශ කරන දෙයකි.පාස්කු බෝම්බ ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දැනුවත්භාවය මත සිදු වූ දෙයක් බැවින් ඹහුගේ මිත්‍රයකු වන නිව් රත්න සහල් අධිපතිවරයාගේ මුදල් මෙලෙස එම පුද්ගලයාගේ ගිණුමක හුවමාරු වී තිබීම තුළ දේශපාලන මැදිහත් වීමකින් ඔහුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නිදහස් කර යැව්වාද යන ගැටලුව රහස් පොලිසියේම ඇතැම් නිලධාරීන් තුළ මතුවී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.