පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරමින් එය නොපැවැත්වීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකතුව කරන ලද කූට දුෂ්ඨ කුමන්ත්‍රණයක කරුණු අනාවරණය වෙයි.

වජිර අබේවර්ධන

එයට අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ .ප්‍රනාන්දු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න සම්බන්ධ වී ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මගින් ඡන්ද අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත් කිරීමට දින නියම කිරීමත් සමග රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් ඇප මුදල් භාර නොගන්නා ලෙස දැනුම් දෙනු ලැබීය.

2023 ජනවාරි මස 10 වැනිදා දින සහිතව යවන ලද එම ලිපිය මගින් ප්‍රකාශ කර තිබුණේ කැබිනට් මණ්ඩලය මගින් ගන්නා ලද තීරණයක් අනුව එවැනි නිගමනයකට එළැඹුණු බවය. එම ලිපිය රට තුළ මහත් ආන්දෝලනයකට ලක් කෙරිණි.

පවතින නීතිරීති වලට අනුව මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවටය. එවැනි පසුබිමක් තුළ මැතිවරණය පැවැත්වීම, නොපැවැත්වීම හෝ ඇප මුදල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට හෝ කැබිනට් මණ්ඩලයට නැත.

එබැවින් විවිධ දේශපාලන පක්ෂ වලින් සහ බහුජන සංවිධාන වලින් පමණක් නොව, මැතිවරණ කොමිසන් සභාවෙන්ද එම ලිපියට එරෙහිව විරෝධතා ගොඩනැගීමත් සමඟ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා එම ලිපිය ඉල්ලා අස් කර ගත්තේය.

නීල් බණ්ඩාර හපුවින්න

ඊට අමතරව ඔහු 2023 ජනවාරි මස 13 වැනි දින මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඒ ගැන සමාව  ගනු ලැබීය. නමුත් එය සමාව දිය නොහැකි තරම් බරපතළ වරදකි. නිවැරදි ආකාරයට නම්, ඔහුව අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් පවා ඉවත් කළ යුතුය.

සැබවින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න එවැනි ලිපියක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ තේරීම් භාර නිලධාරීන්ට යැව්වේ ඇයි ? ඊට හේතු භූත වූ කරුණු මොනවාද ? ඒ සඳහා උපදෙස් සහ නියෝග දුන්නේ කවුද ? එය අදටත් බොහෝ දෙනාගේ ප්‍රශ්න කිරීමට භාජන වී ඇති කරුණකි.

කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකතුවී මෙවැනි ලිපියක් යවන ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්. එම් .ඩී.ජේ  ප්‍රනාන්දුට බලපෑම් කර ඇත.

ඒ අනුව ඔහු මෙවැනි ලිපියක් යවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුවින්නට දැනුම් දී ඇත. එහිදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා නිල් බණ්ඩාර හපුවින්නට දැනුම්දී ඇත්තේ ඇප මුදල් භාර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බැවින් එය වහාම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙසය.

නමුත් සැබවින්ම කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් හෝ එවැනි සාකච්ඡාවක්වත් සිදුකර නැත. මෙම බොරුව රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන එකතු වී සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල ලේකම් හරහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ගයෙන් සමාජගත කිරීමට උත්සාහ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය කූට ලෙස කඩාකප්පල් කරමින් එය නොපැවැත්වීම සඳහා යම් යටිකූට්ටු කුමන්ත්‍රණයක නියැළීමටය.

නමුත් සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. මැතිවරණයක් පැවැත්වුවහොත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව අන්ත පරාජයක් ලබන බැවින් මෙවැනි කූට ක්‍රම හරහා ඉන් බේරීමට විශාල උත්සාහයක නියැළී සිටින බව පෙනෙයි. එහෙත් එය එතරම් සාර්ථක නැති බැවින් ආණ්ඩුව මේ වනවිට විශාල අවුලකට පත්වී ඇත.

ශ්‍රීලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.