රට මේ වනවිට වැටිය යුතු අන්තිම අඩියටම වැටී හමාරය. යළිත් මෙය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළ යුතුය. සැලසුම් සහගත වැඩපිළිවෙළක් හා දර්ශනයක් මෙන්ම ප්‍රතිපත්තියක් තිබිය යුතුය.

නමුත් එවැනි දෙයක් ආණ්ඩු පාලකයන්ට තිබේද, යන්න ප්‍රශ්න සහගතය. බැලූ බැල්මටම පෙනෙන්නේ එවැනි කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවය. අගාධයට රට වැටී තිබියදීත්, තාමත් ආණ්ඩුවේ පාලකයෝ ජනතාවට පොරටෝක් දෙමින් ආතල් ගන්නා බවක් පෙනේ.

මෙහෙම පාලකයෝ ඉන්න රටකට රටක් ගොඩනැගිය හැකිද ? මේ රට මෙතරම් වළපල්ලට ඇද දැමුවේද මෙම පාලකයෝය. එසේනම් මේ අය කෙරෙහි ජනතාවට තැබිය හැකි බලාපොරොත්තුව කුමක්ද ? මේ අය තවදුරටත් කරන්නේ රට ගොඩ දැමීමේ මුවාවෙන් රට තවත් ප්‍රපාතයට තල්ලු කිරීමය.

අද රට තවදුරටත් භාර ගෙන සිටින්නේ කවුද ? එදා පටන් මේ රට හොරා කෑ හොර තක්කඩි රැළකි. රනිල් රාජපක්ෂ යනු, හොරකමට කියන තවත් අන්වර්ථ නාමයකි. අද මුදල් ඇමැති ධුරය භාර ගෙන සිටින්නේ කවුද ? මහ බැංකුවේ බැඳුම්කර මගඩියෙන් විශාලම වංචාව සිදු කිරීමට නායකත්වය සැපයූ රනිල් වික්‍රමසිංහය.

එසේනම් ,මේ හොරාට රටේ ආර්ථිකය බාර දීමෙන් රට ගොඩ නැගිය හැකිද ? එය කිසිසේත්ම බලාපොරොත්තු විය හැකි කරුණක් නොවේ. රනිල් ඉදිරියේදී ඉතිරි වී ඇති රාජ්‍ය ආයතන ටිකද අනිවාර්යෙන් ම විදේශීය බහුජාතික සමාගම්වලට විකුණනවා නියතය. රට තවත් ණය බරින් පුරවන්නවා ඇත.

ඔහු ඔවුන්ට විරුද්ධව කටයුතු කර හොරා කෑ ජනතා දේපළ හෝ මිල මුදල් කිසිදු ආකාරයකින් යළිත් අයකර ගැනීමට පියවර ගන්නේ නැත.රනිල් වික්‍රමසිංහ අගමැති වූයේ ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට නොව, ඔවූන්ව ආරක්ෂා කිරීමටය.

රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වූ දයා ඇපරල් පුද්ගලික සමාගමේ හිමිකරු වූ දයා ගමගේ පවා ආණ්ඩුවේ බැංකු වලට පොලු තැබූ වංචාකාරයකි.ඔහු වසර පහක් තිස්සේ මහජන බැංකුවට නොගෙවා පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 3500 ක් පමණ වෙති. ඒවා අයකර ගැනීමට එම බැංකුවද කිසිදු උත්සාහයක් ගෙන නැත.

යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුව සිටි දයා ගමගේ පමණක් නොව ,ඔහුගේ බිරිඳ අනෝමා ගමගේ ද නියෝජ්‍ය ඇමතිධූරයක් එම ආණ්ඩුව තුළ දැරිය.ජනතා ඡන්දයට මුවාවී පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා ගනිමින් ජනතාවගේ මුදල් මෙලෙස අමු අමුවෙම වංචා කරන විට, ඒවා නොගෙවා පැහැර හරිනවිට මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ කරන්නේ කුමක්ද ?

දයා ගමගේ යනූ ,සල්ලි නැති බංකොලොත් ව්‍යාපාරිකයෙක් නොවේ. ප්‍රකෝටිපතියෙකි. ඔහුට ගුවන් යානා පවා ඇත. පුද්ගලික බැංකු ,අරක්කු නිෂ්පාදනය කිරීමේ කම්හල්, පාරවල් හා ගොඩනැගිලි ඉදිකිරීමේ හා අලුත්වැඩියා කිරීම් කොන්ත්‍රාත් සමාගම් වැනි ව්‍යාපාරික ජාලයකින් ඔහුගේ ආයතන ව්‍යුහය ගොඩ නැගී ඇත.

රාජපක්ෂලා සමග ඩීල් දමමින් තම ව්‍යාපාරික ජාලය ශක්තිමත් කර ගැනීමට ඔහු සෑම අවස්ථාවකම කටයුතු කළේය.ඔහූ දේශපාලනය කරන්නේ ජනතාවට සේවය කිරීමට නොව , ජනතාවගේ රීරි මාංශ හූරා ගෙන කමින් තම ව්‍යාපාරික ජාලය දියුණු කර ගැනීමටය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් ටිරාන් අලස්ද එසේය.මව්බිම පුවත්පතේ අයිතිකරුවා වූ ඔහුද ලංකා බැංකුවට පමණක් තබා ඇති පොල්ල රුපියල් මිලියන 2370 කි. ඔහු එම මුදල් ලබාගෙන ඇත්තේ එකම දේපල බැංකු කිහිපයකට ඇපයට තබාය.

එසේ කළ හැකිද ? කිසිසේත් නොහැක .එහෙත් ඔහු තම වංචනික ක්‍රියාදාමය ඉතාමත් සූක්ෂම ලෙස දියත් කරමින් එය සිදුකර තම අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීමට සමත් වී ඇත.ටිරාන් අලස්ට එලෙස බැංකු ණය පහසුකම් නොදෙන ලෙස ලංකා බැංකුවේ තක්සේරුකරු නිර්දේශ කර තිබියදීත් ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආනුභාවයෙන් ඔහු එය ලබා ගැනීමට සමත් වී ඇත.

ලංකා බැංකුවට පමණක් රුපියල් මිලියන 2370 නොගෙවා පැහැර හැරි වංචාකාරයකු ලෙස චෝදනා ලබා සිටියදී, වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යධූරය ලබාදීමට තරම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාරුණිකවීම තුළින්ම ජනාධිපතිවරයාගේ වංචාකාරී තක්කඩි ස්වභාවයද තවත් ඉහළට ඔසවා පෙන්නුම් කරනු ඇත.

රාජපක්ෂලාගේ පිහිටෙන් අවස්ථා දෙකකදීම පාර්ලිමේන්තුවට රිංගා ගත් ටිරාන් අලස් මේ රටේ ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් සිදු කර නැත. සිදුකර ඇත්තේ ජනතා මුදල් වලින් නඩත්තු වෙමින් විශ්‍රාම වැටුපක් ද උරුම කරගෙන බැංකු වලට පොලු තබමින් ඇමතිධූරයක් දැරීමය.

සජිත් ප්‍රේමදාසගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ හොඳම ව්‍යාපාරික මිතුරා වූ යසෝදා සමූහ ව්‍යාපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චිද මහජන බැංකුවට තබා ඇති පොල්ල රුපියල් මිලියන 2400 කි.

එපමණක් නොව, රාජපක්ෂ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විදින කොළඹ ග්‍රෑන්ඩ් මවූන්ට් හෝටලයද මහජන බැංකුවට තබා ඇති පොල්ල රුපියල් මිලියන 3685 කි. මෙම මුදල් අයකර ගැනීමට ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත. සිදුකර ඇත්තේ තව තවත් බැංකු පහසුකම් ඔහුන්ට සැපයීමය.

මුළු රටම මහත් ආන්දෝලනයකට තුඩුදුන් අගමැති රනිල් වික්‍රමසිංහගේ මහ බැංකු බැඳුම්කර වංචාවේ තක්කඩියා වූ අර්ජුන ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගම පමණක් මහජන බැංකුවට වසර ගණනාවක් තිස්සේ නොගෙවා පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 3242 කි.

රනිල් වික්‍රමසිංහ මේවා අයකර ගන්නවාද ? එය කිසිසේත්ම බලාපොරොත්තු විය හැකි තත්වයක් නොවේ.බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව අයකර ගැනීමට තවමත් නොහැකි වී ඇති තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මෙන්ඩිස් සමාගමේ එම මුදල් අය කර ගනීද ?

මෙලෙස ආණ්ඩු හිතවාදී දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයින් පස් දෙනෙක් පමණක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට නොගෙවා පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 15, 177 කි. ආණ්ඩුවේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාවී ඇති මෙවන් අවස්ථාවක එකී මුදල් අයකර ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු උත්සාහයක් දරන්නේ නැත.

සාමාන්‍ය ගොවියෙක්, කම්කරුවෙක් හෝ වෙනත් සුළු ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරන අහිංසක පුද්ගලයෙක් බැංකුවකින් යම් ණයක් ලබාගෙන ගෙවීමට නොහැකි වුවහොත් එම බැංකුව එම අහිංසකයන්ව මොනතරම් පීඩනයට ලක් කරනවාද ?

නමුත් කෝටි ගණන් බැංකුවලට ණය තබා කට්ටි පනිමින් සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට හා දේශපාලකයින්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැත. සිදුවන්නේ ඔවුන්ට තවදුරටත් වරදාන වරප්‍රසාද දෙමින් ආරක්ෂා කිරීමය.

අද රටේ පවතින ආර්ථික පීඩනයට යම් සහනයක් ලබා ගැනීමට අඩු තරමින් බැංකු වලට පොලු තබා ඇති මෙම කෝටිපතියන්ගේ ණය ටික හෝ අයකර ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේ නම් මොන තරම් සහනයක්ද ? ඒත් එය සිදුවේ යැයි විශ්වාස කිරීමට අපහසුය. ආර්ථික පීඩනයෙන් ගොඩ ඒම සඳහා රනිල් වික්‍රමසිංහ දැන් කිරීමට සූදානම් වන්නේ කුමක්ද ? මුදල් රුපියල් ට්‍රිලියනයක් අලුතෙන් මුද්‍රණය කිරීමටය. ඒ ප්‍රශ්නයට විසඳුමක්ද ? නැත. ඉන් සිදුවන්නේ තවත් රටේ උද්ධමනය ඉහළ ගොස් ජනතාව ආර්ථික වශයෙන් පීඩනයට ලක්වීමය.මෙහෙම පාලකයන් ඉන්න රටක් ගොඩනැගිය හැකිද යන්න සිතීමත් මුලාවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published.