ලංකාවේ අංක එකේ හොර තක්කඩි ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ධම්මික පෙරේරා මේ වන විට දේශපාලන කරළියේ බඩ පිණූම් ගසමින් සිටි.ඔහු ප්‍රකාශ කර සිටින්නේ ආර්ථික වශයෙන් වැටී ඇති රට ගොඩනැගීම උදෙසා ඔහුට හැකියාව ඇති බවය.ජනතාව මුලා කරමින් මේ ඔහු උත්සාහ කරන්නේ මෙතෙක් කල් කොටස් වශයෙන් රට උලා කෑ ධම්මික පෙරේරා එකවරම මුළු රටම උලාගෙන කෑමේ ක්‍රියාවලියකට ප්‍රවිශ්ඨවීමටය.ධම්මික පෙරේරා යනු, අවංකව සිය උත්සාහයෙන් ව්‍යාපාරයක් කර කෝටිපතියෙකු බවට පත් වූ පුද්ගලයකු නොවේ. ඔහු ජනතාව නඟාසිටුවීමේ ලේබලයට මුවා වී ජනතාව ඉතාමත් සූක්ෂම ලෙස සූරාගෙන කෑමේ හොඳ දක්ෂ කපටි කෛරාටික හැකියාවක් ඇති තක්කඩියෙකි.මේ තක්කඩියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇමතිධුරයක්ද පිරිනමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකිරීමට යන්නේ තවත් මහා විනාශයක දොර කවුළු ජනයාට විවෘත කරදීමකි. ජාවාරම්කරුවකු වූ ධම්මික පෙරේරා ගෙන් ලැබිය හැකි ජනතා සුබසෙත කුමක්ද ? බලයට පත්වන සෑම ආණ්ඩුවක් සමග ගනුදෙනු කරමින් සිය ජාවාරම් කටයුතු පුළුල් කර ගැනීමට ක්‍රියා කළ ධම්මික පෙරේරා නිරතුරුව පෙනී සිටියේ ඔහුගේ ව්‍යාපාරික ජාලය කුමන ක්‍රමයකින් හෝ යහපත කරා තල්ලූ කිරීමටය .එතැනදී ඔහුට ජනතාව යන කොටස අවශ්‍ය වූයේ තම වාසියට මිස ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමට නොවේ.

මෙම ජාවාරම්කාරගේ සැබෑ මුහුණුවර එළිදැක්වීමට හැකි හොඳම සාධකය වන්නේ රතුපස්වල දී යුද හමුදාව මගින් පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි. එයට මූලික වූයේ ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකය.පරිසර වාර්තා සහ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව නීති විරෝධී තත්ත්වයන් මගින් ඔහු විසින් දිගු කලක් තිස්සේ තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් රබර් කර්මාන්ත ශාලාවක් රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ.මෙයින් මහ පොළොවට නිකුත් වන විෂ කාරක හේතුකොටගෙන රතුපස්වල ප්‍රදේශයේ මහජනතාවට ජලය පානය කිරීමේ නොහැකි තත්ත්වයක් උදාවුණි.

එබැවින් මෙම තත්ත්වය ව්‍යාර්ථ කර තමන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව පරිසර, සෞඛ්‍ය හා වගකිවයුතු අංශවලින් නිරතුරුව ඉල්ලීම් කළද එයට නිසි සාධාරණ විසඳුමක් ලැබුණේ නැත.අවසානයේ මෙම තත්ත්වය ඉවසා දරාගෙන සිටීමට අපහසු වූ තැන එම ප්‍රදේශවාසී ජනතාව ධම්මික පෙරේරාගේ රබර් කර්මාන්ත ආයතනයට එරෙහිව ජන අරගලයක නියැලුණේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනි.අවසානයේ සිදු වූයේ කුමක්ද ? ධම්මික පෙරේරා ,ගෝඨාභය රාජපක්ෂට කතා කර එම ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නේ වෙඩි උණ්ඩයෙනි. ඒ 2013 අගෝස්තු මස පළමූ වෙනිදාය.

එවකට ජනාධිපති ධූරය දැරුවේ මහින්ද රාජපක්ෂය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂය.රාජපක්ෂ ජාවාරම් වළල්ලේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරිය. එවිට ප්‍රවාහන ඇමති ලෙස කටයුතු කළේ කුමාර වෙල්ගමය.ධම්මික පෙරේරා සාධාරණ මනුෂ්‍ය ගති පැවතුම් ඇති ජනතාවගේ සුබසෙත උදෙසා කටයුතු කරන අයෙක් නම්, ඔහු කළ යුතුව තිබුණේ රතුපස්වල ජනතාවගේ හඬට කන්දී ඔවුන්ගේ ගැටලුව ඉතාමත් යුක්ති සහගත සහ සාධාරණ ක්‍රමවේදයකින් විසදාදීම උදෙසා කටයුතු කිරීමය. එමගින් තමන්ගේ ආයතනයත් ජනතාවගේ ජීවිතත් සුරක්ෂිත කිරීමට හැකියාව තිබිණි.

නමුත් මුදල් සහ දේශපාලන බලයෙන් මත්වී සිටී ඔහු කළේ කුමක්ද ? ලේ රසට ඉව අල්ලමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මගින් පිරිසිදු ජලය වෙනුවට ටී 56 උණ්ඩ ජනතාවගේ ඔලු කුහර තුළට ලබාදීමය. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව පැවරුවේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන වෙතය. ඔහු ඉතාමත් මිලේච්ඡ ලෙස එය ඉෂ්ට සිද්ධ කිරීමට සැදී පැහැදී සිටියේය.ඔහුට අවශ්‍ය කරන වෙනත් උපදෙස් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂගේ තවත් අග්‍ර පුරෝහිත හමුදා ප්‍රධානීන් දෙදෙනකු වන මේජර් ජෙනරාල් සුමිත් මානවඩු සහ බ්‍රිගේඩියර් දිසානායකය. ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ, රැජින පාරේ පක්ෂ කාර්යාලයේ සිටියදී, 2010 ජනවාරි මස අත්අඩංගුවට ගෙන බිම දිගේ ඇදගෙන ගොස් ජීප් රථයක දමා පැහැරගෙන ගොස් කොළඹ ,චෛත්‍යය පාරේ සහ ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ සිරකර තැබීමට මූලිකත්වය ගත්තේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය.ගෝඨාභය රාජපක්ෂ ගේ අණට කීකරුව ක්‍රියා කළ සුමිත් මානවඩුට අවසානයේ සිදු වූයේ කුමක්ද ? ඔහු විසින් නුගේගොඩ ,දෙල්කඳ ප්‍රදේශයේ අලුතින් නිවසක් ඉදිකරමින් සිටියේය.

එහි සිදුවන වැඩකටයුතු බැලීම සඳහා ගිය අවස්ථාවේ ඉහළ මහලේ තිබූ විශාල ප්‍රමාණයේ පරාලයක් හිස මතට වැටී මරුණූවට පත්විය.රතුපස්වල අරගලකරුවන්ට වෙඩි තැබීම සඳහා තිරය පිටුපස සිට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව මෙහෙය වූ එක් අයකු වන්නේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය. ඇතැම් අය ප්‍රකාශ කරන ආකාරයට ” දිට්ඨ ධර්ම වේදීය කර්මයට අනුව මෙලොවදි කරන පව් මෙලොවදීම පඩිසන් දෙනවා යැයි “යන කියමන සනාථ කරමින් ඔහුගේ හිස මතට පරාලයක් වැටී මරණයට පත්වීම තුළින් එය සනාථ වී ඇත.එදා රතුපස්වල අහිංසක මිනිස්සුන්ට වෙඩි තැබීම තුළින් පුද්ගලයන් හතළිස් දෙනකු පමණ බරපතළ සහ සුළු තුවාල ලැබීය.

පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මරණයට පත්විය.එලෙස මියගියේ අකිල දිනේෂ්, රවිෂාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර යන අයයි.ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයට තුඩුදුන් ඉතාමත් මිලේච්ඡ කුරිරු ඝාතනයක් වූ මෙම සිදුවීම ලංකාවේ විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදීමේදී,ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඇතැම් මාධ්‍ය වලට නියෝග කර තිබුණේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමෙන් වළකින ලෙසය.

මන්ද ,මෙම සිදුවීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව දැඩි අප්‍රසාදයට ලක් වූ සිදුවීමක් වූ බැවිනි.මෙයට වගකිව යුතු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රටවැසියන්ගෙන් රාජපක්ෂ ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වුවද, ඒ කෙරෙහි කිසිදු තැකීමක් කිරීමට ආණ්ඩුව උත්සුක වූයේ නැත. සිදු වූයේ කුමක්ද ? ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත මෙම උද්ඝෝෂකයන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම මෙහෙය වූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමය.නමුත් 2015 දී මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු මෙම සිදුවීම පිළිබඳව රහස් පොලිසිය මගින් පුළුල් පරීක්ෂණයක් පවත්වා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව 2017 මැයි මස 25 වැනි දින අත්අඩංගුවට ගැනිණි.වෙඩි තැබීම සිදුකළ යුධ හමුදා සැරයන්වරු වන අරුණ සිරිසේන, ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම්.තිලකරත්න යන අයවද, එහිදී අත්අඩංගුවට ගැනිණි.මෙම අමානුෂික මිනිස් ඝාතනයට වගකීවයූතු ගෝඨාභය රාජපක්ෂ සහ සෙසු අයට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.මෙහි අවසානයේ සිදු වූයේ රතුපස්වල නඩුව යටපත් කරමින් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ව නැවත සේවයේ පිහිටුවා ඔහුව මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීමය.

එපමණක් නොව,හංවැල්ල ප්‍රදේශයේ පිහිටි ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකට අයත් තවත් කර්මාන්ත ශාලාවක මෙවැනිම ප්‍රශ්නයක් මතුවිය.ඉන් සිදුවී තිබුණේ එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය සහ විස රසායනික ද්‍රව්‍ය ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වී ජනතාවට ජලය පානය කිරීමේ නොහැකි තත්වයක් උදාවීමය.මෙයට එරෙහිව එම ප්‍රදේශවාසී ජනතාව උද්ඝෝෂණය කරනවිට ධම්මික පෙරේරා සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ මගින් එම ජනතාවටද වෙඩි ප්‍රහාර සහ මර්දනයේ හා තර්ජනයේ ගුලියෙන් දමා ගැසීමය.එම පාපකර්මයට කර ගැසීමට ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන රබර් ගසකට යටවීමෙන් මරුණූවට පත්විය.

රතුපස්වල සහ හංවැල්ල සිදුවීම්වලදී අපූරු කරුණු දෙකක්ද අප ඉදිරියේ ඉස්මතු කර පෙන්වනු ඇත. එනම්,රතුපස්වල අපරාධයට කර ගැසූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ හිස මතට පරාලයක් වැටී මරණයට පත්වූවාසේම හංවැල්ල පාපයට කර ගැසීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධනගේ හිස මත රබර් ගසක් කඩා වැටී මරණයට පත්වීමය.රතුපස්වල දී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තිදෙනෙක් මරණයට පත්වීමද,හංවැල්ලේදී ප්‍රසාද් සිරිවර්ධනගේ මරණයට යන මිනීමැරුම් හතරටම වගකිවයුතු ප්‍රධාන පුද්ගලයන් වන්නේ වෙන කිසිවෙක් නොව, ගෝඨාභය රාජපක්ෂ සහ ජනතාවට වස මිශ්‍ර ජලය පානය කිරීමට ඉඩ සැලසු ධම්මික පෙරේරා හෙවත් වස ධම්මිකය.ජනතා සුබසෙත උදෙසා රට නගා සිටුවීමට පෙරමුණ ගන්නා බව කියන්නේ මෙවැනි මිනීමරුවන් සහ හොර තක්කඩි ජාවාරම්කාරයින් නම්, ඔවූන් පිළිබඳව අපට කිසිදු සුභවාදී බලාපොරොත්තුවක් තැබිය නොහැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published.