රුපියල් ලක්ෂ 164 ක් ප්‍රවාහන දීමනා අරන්

ලංකාවේ සියලුම පළාත් සභා විසිරුවා තිබියදී,ඌව පළාත් සභාවේ සභාපති ධුරය දැරූ ඒ.එම්.බුද්ධදාස පසුගිය මාස 33 ක කාලය තුළ ප්‍රවාහන දීමනා ලෙස රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ විසිදහසක් හෙවත් රුපියල් ලක්ෂ 164කට ආසන්න මුදලක් පළාත් සභාවෙන් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇත.ඌව පළාත් සභාව විසුරුවා හරිනු ලැබුවේ 2019 ඔක්තෝබර් මස 8 වැනිදාය. එදා සිට 2022 පෙබරවාරි මස 28 වැනිදා දක්වා මෙම මුදල් ලබාගෙන ඇත. එම කාලපරිච්ඡේදය තුළ මුල් මාස 29 ට එක් වාහනයකට රුපියල් 1,60,000 බැගින් වාහන 3 කට මසකට ලබාගෙන ඇති මුදල රුපියල් 4,80,000 කි. ඒ අනුව මාස 29 ක් වෙනුවෙන් වාහන 3කට ලබාගෙන ඇති මුළු මුදල රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂ විසි දහසකි. 2022 මාර්තු මස පළමු වැනිදා සිට 2022 ජුනි මස 30 වැනිදා දක්වා කාලයට එක් වාහනයකට රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනා වැඩි කරගෙන ඇත. එමගින් එම කාලයට වාහන තුනක් වෙනුවෙන් මසකට ලක්ෂ 6 බැගින් මාස හතරකට ප්‍රවාහන දීමනා ලෙස ලබාගෙන ඇති මුළු මුදල රුපියල් 24 ලක්ෂයකි.පළාත් සභා විසුරුවා හැරීමත් සමග සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ තනතුරු හා නිල රාජකාරි කටයුතු ඉන් අවසන් වනු ඇත. එමගින් සභාපතිවරයා නමට පමණක් සිටින නාමික අයෙකු බවට පත්වනු ඇත. එවැනි පරිසරයක් තුළ ඌව පළාත් සභාවේ සභාපති ධුරය දැරූ ඒ.එම් බුද්ධදාස කිසිදු දිනක පළාත් සභාවට නොපැමිණ මෙලෙස ප්‍රවාහන දීමනා ලබා ගැනීම බරපතළ නීති විරෝධී ක්‍රියාවකි. එය මුල්‍ය අපරාධයක් සහ වංචාවක් ලෙසද අර්ථ දැක්විය හැක. පළාත් සභාව විසුරුවා හැර තිබියදී, අඩුම තරමින් සභාපතිවරයා එක දිනක් හෝ ඌව පළාත් සභාවට පැමිණ තිබේද? නැද්ද? යන්න පළාත් සභාවේ ප්‍රධාන ආරක්ෂක ගේට්ටුවේ පිටවීමේ සහ ඇතුළුවීමේ ලේඛන අප පරීක්ෂාකර බැලුවද කිසිදු දිනක ඔහු පළාත් සභාවට පැමිණ නැති බව තහවුරු විය. එවැනි පරිසරයක් තුළ ඔහු මෙලෙස ප්‍රවාහන දීමනා ලෙස වාහන තුනකට මෙතරම් අතිවිශාල මුදලක් ලබාගත්තේ කෙසේද ? මෙම මූල්‍ය වංචාවට එරෙහිව වහාම පළාත් සභාවේ සභාපති ධුරය දැරූ ඒ. එම් බුද්ධදාසට එරෙහිව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රබලයකු වන ඒ.එම්. බුද්ධදාස මේ සිදුකර ඇති බරපතළ මූල්‍ය වංචාව කිසිසේත් සුළුකොට තැකිය හැකි දෙයක් නොවේ. මහජන මුදල් කාබාසිනියා කරමින් මහජන නියෝජිතයකු ලෙස මෙලෙස කටයුතු කිරීම මොනතරම් නින්දාසහගත ක්‍රියාවක් ද ?

ශ්‍රීලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.