නීතිඥවරුන් පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින නුවරඑළිය රථවාහන අංගණයට බදු මුදල් නොගෙනවීම නිසා සිදුවී ඇති අලාභය රුපියල් ලක්ෂ 2400ක් බව කියැවෙයි.

වසර 10කට වැඩි කාලයක් තිස්සේ නීතීඥවරුන් අත්පත් කරගෙන සිටින නුවරඑළිය, බුද්ධ ජයන්ති මාවතේ පිහිටි මෙම රථවාහන අංගණයට අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න කිසිදු පියවරක් ගෙන නොමැත.

සතියේ සෑම දිනකම පාහේ උදේ සිට සවස් වනතුරු නීතිඥවරුන් 20ක් පමණ මෙම ස්ථානය තුළ බලහත්කාරයෙන් රථවාහන නවතා තබා ඇත. එක නීතිඥවරයෙකුගෙන් සාමාන්‍යයෙන් දිනකට එක වාහනයකට රුපියල් 500 බැගින් අය කළද ,දිනකට බදු වශයෙන් නීතිඥවරුන් 20දෙනෙකුගෙන් නගර සභාවට අයවිය යුතු බදු මුදල රුපියල් 10,000කි.

එවිට මසකට දින 20 ක් බැගින් ගතහොත්, එම නීතිඥවරුන්ගෙන් අය විය යුතු මාසික බදු මුදල රුපියල් ලක්ෂ දෙකකි. එය වසරක් ලෙස ගණනය කළහොත්, ලැබිය යුතු බදු මුදල රුපියල් ලක්ෂ 24 කි. එවිට වසර 5කට අයවිය යූතු බදු මුදල රුපියල් ලක්ෂ 1200ක් වන අතර එය වසර 10ක් ලෙස සැලකුවහොත් රුපියල් ලක්ෂ 2400කි.

ආණ්ඩුවට හෝ නගර සභාවලට දෛනික වියදම් කටයුතු සහ සේවක සේවිකාවන්ගේ පඩිනඩි හෝ නිසි ලෙස ඒවා ගැනීමට මුදල් නොහැකි ස්වභාවයක් තුළ එකී බදු මුදල් අයකරගැනීමට නගරාධිපතිවරයා ක්‍රියා නොකිරීමෙන් ඔහු බරපතළ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී ඇත.

සාමාන්‍ය වෙළෙඳ සැල් හිමියෙකු හෝ බදු අය විය යූතු වෙනත් පුද්ගලයෙක් බදු මුදල් නිසිලෙස නොගෙවා පැහැර හැරියහොත්, එකී පුද්ගලයන්ගෙන් නඩු පවරා හෝ වෙනත් ක්‍රමයකට බදු මුදල් අයකර ගැනීමට ක්‍රියාකරන නගර සභාව නීතිඥවරුන්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව පියවර ගෙන අදාළ බදු මුදල් අය කර ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් වන නීතිඥ නලීන් තිලක හේරත් ද මෙම රථ වාහන අංගණයෙහි සිය රථය බලහත්කාරයෙන් නවතා තබා ඇත. ඇය කලක් නුවරඑළිය නගරාධිපතිවරිය ලෙස කටයුතු කළාය.

මෙහි සුවිශේෂිතම කරුණ වන්නේ, ඇය ” නීතිඥ නලීන් තිලක හේරත් ගේ වාහන පමණයි ” යනුවෙන් නාමපුවරුවක් සවිකර ඇයගේ වාහනය නැවැත්වීමට වෙනම තැනක් ද වෙන් කරගෙන ඇත.

මෙම තත්ත්වයට එරෙහිව විරෝධය ප්‍රකාශ කර ඇති එම ස්ථානයේම රථවාහන නතර කරන තවත් නීතිඥවරුන් පිරිසක් මේ බව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරියට පැමිණිලි කර ඇත.

නීතිඥ නලීන් තිලක හේරත්

එවිට විනිසුරුවරයා පොලීසියට හා අදාළ නීතිඥවරුන් කැඳවා කරුණු විමසා එම නාම පුවරුව වහාම ගලවා ඉවත් කරන ලෙස දැනුම් දී ඇත. එපමණක් නොව, මෙවැනි ක්‍රියා වළක්වන ලෙස විනිසුරුවරයා පොලීසියට ද අවවාද කර ඇත.

නමුත් පොලීසියට මෙහිදී කළ හැකි දෙයක් නැත.එම අංගණයේ පාලනය, නඩත්තුව කිරීම,බදු අය කිරීම් ඇතුළු සියලු වගකීම් අයත් වන්නේ නුවරඑළිය නගර සභාවටය.එවැනි ස්වභාවයක් තුළ එම රථ අංගණයේ ක්‍රියාකාරකම්වලට අයුතු ලෙස මැදිහත්වීමට පොලීසියට බලයක් නැත.

රථවාහන අංගණය

එබැවින් පොලීසියට අවවාද කර හෝ දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නැත. සිදු කළ යුත්තේ නුවරඑළිය නගරාධිපතිවරයාව කැඳවා මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අවවාද හෝ උපදෙස් දීමේ ස්වභාවයක් පමණි.

කොටින්ම කිව්වොත්, රථ වාහන අංගණය සහ පාර අයත් වන්නේ නගර සභාවටය. අධිකරණ තාප්පය අයත් වන්නේ අධිකරණ භූමියටය. එබැවින් එම තාප්ප වල කිසියම් නාමපුවරුවක් සවිකර ඇත්නම් ,එයට වගකිව යුත්තේ හෝ ඒ සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් අධිකරණයේ ආරක්ෂාව සඳහා පත් කර ඇති ආරක්ෂක නිලධාරීන්ය.

නීතිඥ නලින් තිලක හේරත්ගේ වාහනය

එම නිසා විනිසුරුවරයා මේ පිළිබඳ ආරක්ෂක නිලධාරීන් කැඳවා දැනුම්වත් කිරීම වැදගත්ය. එසේ නොමැතිව ” බල්ලගේ වැඩේ බූරුවා පිටේ පැටවීමෙන් පලක් නෑ කියන්නාසේ ” අධිකරණ ආරක්ෂක නිලධාරීන්ගේ වගකීම පොලිස් නිලධාරීන්ගේ පිටින් යැවීම ඵලක් නැත.

අධිකරණ අමාත්‍යාංශය මගින් මෙහි ආරක්ෂක කටයුතු සඳහා ආරක්ෂක නිලධාරීන් පස් දෙනෙක් පත් කර ඇත.නමුත් ඔවූන්ගේ සේවය නිසි ලෙස සිදුවන්නේ ද යන්න ප්‍රශ්නයකි. සේවයට වාර්තා කිරීමේ සහ පිටවීමේ යන අස්සන් ලේඛනයක් පවත්වාගෙන ගියද, ඒ තුළ බරපතළ දෝෂ සහිත ස්වභාවයක් ඇති බව නිසි විමර්ශනයක් කළහොත් අනාවරණය වනු ඇත.

නලීන් තිලක හේරත්ගේ වාහනය නැවැත්වීමට අදාළ පුවරුව

එහි සිටින ආරක්ෂක නිලධාරීන් අනිවාර්යෙන් පැමිණිලි පොතක් පවත්වාගෙන යුතුව ඇතත්, එවැනි දෙයක් තිබෙන බවක් දැනගන්නට නැත. නිසි ලෙස ආරක්ෂක ඇඳුමක්වත් පැළඳ  නොසිටින ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරි ලේඛන හා ස්වභාවයන් ද විමර්ශනයට භාජන කළහොත්, හෙළි කරගත හැකි කරුණු බොහෝය.

එබැවින් එම කරුණුද, බදු මුදල් නොගෙවා වාහන අංගණය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින නීතිඥවරුන්ට එරෙහිව පියවර ගැනීමට නුවරඑළිය නගරාධිපතිවරයා වහාම අවශ්‍ය පියවර ගත යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය මහාධිකරණයේ නීතීඥවරයෙක් අප සමග ප්‍රකාශ කළේය.

ග්‍රී ලාල් ප්‍රියන්ත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.