කුණුවලට එකතු වන්නේ කුණුය . මිණි මුතු මැණික් එකතු වන්නෙ නැත. කපුටාස් වෙනුවට ගෝඨාස්ව බේරා ගැනීමට කුණු ධම්මික ඉදිරියට පැමිණියේ එබැවිනි.දේශපාලනික වශයෙන් රාජපක්ෂ කදවුර බේරාගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණියාසේ, රාජපක්ෂලාගේ කළු සල්ලි මල්ල බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ සුප්‍රසිද්ධ ජාවාරම්කරුවකු වන ධම්මික පෙරේරාය.බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්වන විට ඒ සඳහා එම ලේඛනයේ සෙසු අනුප්‍රාප්තිකයෙක් පත් කිරීමේ හැකියාව තිබිණි.

එහෙත් ඔවූන්ට වඩා රාජපක්ෂලාගේ හොඳම විශ්වාසවන්ත නියෝජිතයා ලෙස ධම්මික පෙරේරා පත්කිරීම තුළින්ම සැඟවුණු බලවත් න්‍යාය පත්‍රයක් ඇති බව මැනවින් පෙන්නුම් කෙරෙනු ඇත.මේ කිසිදු දෙයක් ඕපපාතිකව සිදුවන දේවල් නොවේ. ඉතාමත් සැලසුම් සහගතව රාජපක්ෂලාගේ වැටෙමින් පවතින ජාවාරම්කාර දේශපාලන සංස්කෘතිය වෙනත් ක්‍රමයකින් නැවත තමන් වෙත නතුකර ගැනීමේ ක්‍රමවේදයක එක් කැඩපතකි.මේ සියලු දේවල් වල තිරය පිටුපස සැඟවුණු අමුත්තා ලෙස ක්‍රියා කරන්නේ බැසිල් රාජපක්ෂය. ඔහු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීම දේශපාලනයෙන් ඉවත්වීමක් නොවේ.මේ කූටයාගේ ඊළඟ පියවර වන්නේ ධම්මික පෙරේරාව ඉදිරියට දමා තම ව්‍යාපෘති ශක්තිමත් කර ගැනීම සඳහා මංපෙත් විවර කර ගැනීමේ වටපිටාව නිර්මාණය කර ගැනීමය.එබැවින් මොනම හේතුවක් මතවත් ධම්මික පෙරේරාට ඉදිරියට යෑමට ඉඩ දිය යුතු නැත. ඔහුට පුළුවන් තරම් ප්‍රහාර එල්ල කර දේශපාලනයෙන් ඉවත් කළ යුතුය.

ඔහු ශක්තිමත් කිරීම රාජපක්ෂ කඳවුර ශක්තිමත් කිරීමකි. ඔහුව බිඳ දැමීම රාජපක්ෂ කදවුර බිඳ දැමීමකි.ධම්මික පෙරේරාගේ ජාවාරම්කාර ව්‍යාපෘති හරහා රාජපක්ෂලාගේ මුදල් ගැවසෙන බව බොහෝ දෙනා තුළ පවතින මතයකි.මෙම ජාවාරම්කරුගේ සෑම ව්‍යාපෘතියකම මුහුණුවර ඉතාමත් පිරිසිදු ගුණවත් බවක් ඇති බව සමහරුන්ට පෙණූනද ,සැබැවින්ම මේ ව්‍යාපෘති පිටුපස ගැවසෙන්නේ කළු සල්ලි සහ සමාජය විපතට පත් කරන අනිසි වැඩය.සල්ලි ඉපැයිය හැකි නම් ඕනෑම කුණු ගොඩක් බාර ගෙන සිදු කිරීමට ධම්මික පෙරේරා රුසියෙකි. එහිදී ඔහු මිනිස් ජීවිත පිළිබඳව කිසිදු වටිනාකමක් තකන්නේ නැත.ඔහු මිනිසුන්ව ලංකර ගන්නේ තමන්ගේ වැඩේ කරගැනීමට මිස මිනිසකුට ජීවත්වීම උදෙසා නිවැරදි මාවතක් විවර කිරීමේ චේතනාවෙන් නොවේ.සල්ලි සඳහා ඕනෑම කුණු ගොඩකට අතගසන්නේ එබැවිනි.ඔහුගේ ජාවාරම්කාර ව්‍යාපෘති මොන තරම් ශක්ති සම්පන්නදැයි කිවහොත් වසරකට ඔහු විවිධ දේවල් අඩංගු කන්ටේනර් ලක්ෂ 10 ක් පමණ විදේශ රටවලින් ලංකාවට ආනයනය සහ අපනයනය කරනු ඇත.ඉන් පමණක් උපයන මුදල් ධනස්කන්ධය කොතෙක්දැයි ඕනෑම අයෙකුට උපකල්පනය කළ හැක.

ලෝකයේ බොහෝ බටහිර ධනවත් රටවල කසළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ අපහසු තත්ත්වයක් ඇත. ධම්මික පෙරේරා කරනුයේ අතරමැදි සමාගම් යොදාගෙන ඒ කුණු ගොඩවල් ලංකාවට රැගෙන ඒමය. මිනිස් ශරීරයට පවා ඉතාමත් අහිතකර මෙම කසළ ද්‍රව්‍යය දිවයිනේ සමහර ස්ථාන තෝරාගෙන ඒවා පොළොවේ වළ දමන බවටද එල්ලවන චෝදනාවකි.සමහර කුණු අප්‍රිකානු සහ වෙනත් ආසියානු රටවලට ප්‍රති අපනයනය කරනු ඇත.කාලයක් තිස්සේ කරන ලද මෙම හොර ජාවාරම එළියට පැමිණියේ 2019 ජූලි මස රේගු භාරයේ තිබූ බහාලුම් 111ක් රේගු නිලධාරීන් විවෘත කිරීමට ගියවිටය.එම අවස්ථාවේ කොළඹ සී .අයි. සී. ටී .පර්යන්තයේ තිබූ ගුදමක් හදිසියේ කඩා වැටී ඇත. එහිදී කන්ටේනර් වල තිබූ සායනික අපද්‍රව්‍ය තොගයක් මතුවී ඇත. බලවත් සේ දුගඳ මතු වූ එම අපද්‍රව්‍ය පරික්ෂා කිරීමේදී රෝහල් වලින් ඉවත දමන ලද සිලින්ජර්, බැන්ඩේජ්, නරක් වූ මිනිස් අවයව කොටස්, පාවිච්චි කරනලද බෙහෙත් බෝතල්,කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු විශාල අපද්‍රව්‍ය තොගයක් හමුවී ඇත.එම අවස්ථාවේ මේවා පරික්ෂා කිරීමටවත් නොහැකි දරුණු තත්වයක් මතුවී ඇත්තේ බරපතළ ලෙස අවට වාතලය පුරා ඒ තුළින් දුගද හැමීමට පටන් ගැනීම නිසාය.

එබැවින් රේගු නිලධාරීන් වහාම මේ පිළිබඳව වගකිවයුතු අංශ දැනුවත් කර එම කුණු කන්ටේනර් සීල් තැබීමට පියවර ගෙන ඇත.මෙම සිද්ධිය ක්ෂණිකවම සමාජය තුළ පැතිර යෑමත් සමඟ එංගලන්තයේ “ටෙලිග්‍රාෆ්” පුවත්පත වාර්තාවක් පළ කරමින් ප්‍රකාශ කර සිටියේ මෙහි දී හමු වූ මිනිස් ශරීර කොටස් විවිධ රෝගාබාධ වලින් මියගිය පුද්ගලයන්ට අයත් ඒවා බවය.එබැවින් මෙහි දුගද හැමීම තුළින් එය ග්‍රහණය වී මිනිස්සුන්ට දරුණූ විවිධ රෝග හට ගැනීමේ ස්වභාවයක් ඇති බවද ඉන් ප්‍රකාශ වී තිබිණි.2017 සැප්තැම්බර් මස හා 2018 මාර්තු මස අතර කාලය තුළ එංගලන්තයේ සිට මෙරටට කන්ටේනර් 214 ක් රැගෙනවිත් තිබිණි. ඒවා එංගලන්තයේ සිට ලංකාවට එවා තිබුණේ එම්. එස් .වෙන්ගාඩ් ලිමිටඩ් ආයතනය මගිනි.No 241,B High Street North ,London ,England. යන ස්ථානයේ ලියාපදිංචි කර තිබු මෙහි අධ්‍යක්ෂවරුන් වන්නේ ශෂිකුමාර් මුතුරාමර් සහ වෙන්ගදේශ මුතුරාමර් යන දෙමළ ජාතිකයින් දෙදෙනාය.ඔවුන් දෙදෙනා මෙම ආයතනය ලියාපදිංචි කර ඇත්තේ 2017 මැයි මස 19 වෙනිදාය.ඉන් මාස හතරකට පමණ පසු එනම්,2017 සැප්තැම්බර් මස එංගලන්තයේ සිට මෙම කුණු කන්ටේනර් තොගය ලංකාවට එවා ඇත.

එමගින් බැලූ බැල්මටම පෙනෙන්නේ මෙම කන්ටේනර් තොගය ලංකාවට එවීම ඉලක්ක කරගෙනම මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවය.එංගලන්තයේ රෝහල් වලින් ඉවත දමන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ නියැලී සිටින්නේ එංගලන්තයේ පිහිටි “නැෂනල් හෙල්ත් කෙයා සර්විස්” නැමැති ආයතනයයි.නමුත් ඔවූන්ට මේවා නිසි පරිදි ප්‍රතිචක්‍රීය කිරීමේ හැකියාවක් ලැබී නැත. ඒ අපද්‍රව්‍ය කොටස් වැඩිවි ඊට අවශ්‍ය ඉඩ පහසුකම් නොමැතිවීම නිසාය. එවිට ඔවුන් මේවා විශාල ප්‍රමාණයේ සීත කාමරවල දමා මාස කිහිපයක් තබා ඇත.

මේ බව දැනගත් ධම්මික පෙරේරා එම කුණු තොගය ලබා ගැනීමට ඉදිරිපත්වී ඇත. ඒ අනූව ශෂිකුමාර් මුතුරාමර් සහ වෙන්ගදේශ මුතුරාමර් මගින් එම්.එස්.වෙන්ගාඩ් ලිමිටඩ් ආයතන ලියාපදිංචි කර ඊට පිඹුරුපත් සකසා ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් වත්තල ,ඇවරිවත්ත පාර ,විල්ස් පාර්ක් ,අංක 157 දරන ස්ථානයේ පිහිටි M.S.Ceylon Metel Corporation Pvt LTD ආයතනය මැදිහත් කර ගෙන කොළඹ 5, පාර්ක් පාරේ ,අංක 12 දරණ ස්ථානයේ පිහිටි M.S. E.t.l.Colombo Pvt LTD අතරමැදියන් ලෙස යොදාගෙන මෙම කන්ටේනර් තොගය එංගලන්තයේ සිට ලංකාවට රැගෙනවිත් ඇත.එලෙස රැගෙන ආ කන්ටේනර් 241කින් 130 ක් ධම්මික පෙරේරාට සෘජු ලෙසම සම්බන්ධ හේලීස් ප්‍රීසෝන් සමාගම මගින් රේගුවෙන් රැගෙන ගොස් කටුනායක ප්‍රති සැකසුම් කලාපයේ පිහිටි හේලීස් සමාගමට අයත් ඇඩ්වාන්ට්ස් සමාගමට අයත් භූමියේ තබාගෙන ඇත. පසුව ඉන් කන්ටේනර් 10 ක් විවෘත කර අපද්‍රව්‍ය සමග තිබූ යකඩ විශාල තොගයක් ඉන්දියාවට ප්‍රති අපනයනය කර ඇති අතර අපද්‍රව්‍ය සමග තිබූ මෙට්ට වලට දමන ස්පොන්ච් තොගයක් ඩුබායි රටට අපනයනය කර ඇත.එම කන්ටේනර් වල තුළ තිබූ තවත් විශාල අපද්‍රව්‍යය තොගයක් වර්ග අඩි 50,000ක් පමණ භූමිභාගයක දමා තිබී ඇත. ඒවායේ බර මෙට්‍රික් ටොන් 27,685 ක් බව කියැවෙයි.එංගලන්තයේ සිට ලංකාවට මෙම කන්ටේනර් 241 රැගෙනවිත් ඇත්තේ මෙට්ට තොගයක් ලෙස හුවා දක්වමිනි.

නමුත් මේවායේ තිබුණේ මෙට්ට නොව, රෝහල් වලින් ඉවත දමන රසායනික අපද්‍රව්‍යයයි.1989 ස්ථාපිත කරන ලද බාසල් සම්මුතියට අනුව කිසියම් රටක අපද්‍රව්‍ය වෙනත් රටකට එම රටේ නිසි බලධාරීන්ගේ අවසරයකින් තොරව රැගෙන යාම සපුරා තහනම්ය.එහෙත් එවැනි කිසිදු අවසරයකින් තොරව මෙම අපද්‍රව්‍ය ලංකාවට රැගෙනවිත් ඇත.මෙලෙස ලංකාවට කසළ ද්‍රව්‍ය වෙනත් රටකින් ගෙන්විය නොහැකි වුවද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී, 2013 ජුලි මස 30 වැනි දින ඉදිරිපත් කරන ලද 1818/30 අංක දරන ගැසට් පත්‍රයට අනුව කසළ ගෙන්විය හැකි වන ලෙස රේගු ආඥා පනත වෙනස් කරනු ලැබීය. ඒ ධම්මික පෙරේරා වැනි ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවය මතය.නමුත් මෙම අපද්‍රව්‍ය තොගය එංගලන්තයේ සිට ලංකාවට රැගෙන ඒමට මැදිහත් වූ M/S Ceylon Metel Corporation Pvt LTD නැමැති ආයතනයට කසල ගෙන්වා නැවත ප්‍රතිඅපනයනය කිරීමේ පාරිසරික ආරක්ෂක බලපත්‍රයක්වත් තිබී නැත.

මිනිස් ශරීරවලට ඉතාමත් අහිතකර විවිධ රෝගාබාධවලට ලක්විය හැකි රෝග කාරකයන් තැන්පත්වී තිබෙන රෝහල් වලින් ඉවත දැමූ මෙම රසායනික අපද්‍රව්‍ය තොගය ලංකාවට රැගෙන ඒම සඳහා එක කන්ටේනර් එකකට ජාවාරම්කරුවන්ට පවුම් ලක්ෂ 5 බැගින් ලැබී ඇත.එවිට කන්ටේනර් 241ක් වෙනුවෙන් පවුම් ලක්ෂ කීයක් ලැබී ඇත්දැයි සිතා ගැනීම අපහසු නැත.රට උගසට තබා ලංකාවට අපද්‍රව්‍ය රැගෙනවිත් අහිංසක මිනිස් ජීවිත දරුණු රෝගාබාධ වලට ලක්කර විනාශ කිරීමට උත්සාහ කළ ධම්මික පෙරේරා ඇතුළු ආයතන වලට එරෙහිව කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද සිදු වූ දෙයක් නැත.මෙම අපරාධය සිදු කළේ යහපාලන ආණ්ඩුව තුළය. එදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. පරිසර ඇමතිත් ඔහුය.මහා ලොකුවට පරිසරය වෙනුවෙන් කතා කරන මෛත්‍රිපාල සිරිසේන මේ වෙනුවෙන් ගත් පියවර කුමක්ද? කිසිවක් නැත. ඔහුත් කළේ ධම්මික පෙරේරාව ආරක්ෂා කිරීමය.එදා අගමැති රනිල් වික්‍රමසිංහය.

අදත් අගමැති රනිල් වික්‍රමසිංහය. ඔහුත් එදා ධම්මික පෙරේරාව ආරක්ෂා කළේය. එදා කුණු කන්ටේනර් ගෙනා ධම්මික පෙරේරා අද රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය යටතේ තව නොබෝ දිනකින් කැබිනට් ඇමතිවරයකු ලෙස දිවුරුම් දෙනු ඇත.දැන් සියල්ල පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන ,රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා මේ සියලු දෙනාම ජනතාවට වින කරන ජාවාරම්කාර වළල්ලේ චෞරයන් ය.ඔවුහු එකිනෙකාගේ ආරක්ෂා වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින බව මින් පැහැදිලි නොවේද ?එසේනම් ,ජනතාවට කුණු කන්ටේනර් සැපයූ කූණූ ධම්මික දැන් මේ පෙනී සිටීමට උත්සාහ කරන්නේ කා වෙනුවෙන්ද ? ජනතාවගේ සුබසිද්ධිය උදෙසාද ? නැත. රාජපක්ෂ කඳවුරේ හොර තක්කඩියන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. දැන් අප කළ යුත්තේ කුමක්ද ? ධම්මික පෙරේරාවත් පන්නා දැමීම නොවේද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.