ඉතාමත් උපක්‍රමශීලී ලෙස බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ගෙන ඝාතනය කරන ලද ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට මූලික හේතුව මුදල් ගනුදෙනුවක් විය හැකි බවට පොලීසිය ප්‍රකාශ කරන බව ජනමාධ්‍ය ඉතාමත් ඉහළින් වාර්තා කර ඇත. මෙය පිළිගත හැකි නිවැරදි ප්‍රකාශයක්ද ? 

මෙම ඝාතනය සිදු වූ මුල් අවස්ථාවේදීම පොලිසිය ප්‍රකාශ කර සිටියේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර්ගෙන් රුපියල් කෝටි 140ක පමණ මුදලක් ලබාගෙන ඇති බැවින් එහිදී ඇතිවූ ප්‍රශ්නයක් මත බ්‍රයන් තෝමස් විසින් කුමන්ත්‍රණය කර දිනේෂ් ෂාෆ්ටර්ව ඝාතනය කරන්නට ඇති බවය.

ඉන් දින කිහිපයකට පමණ පසු පොලීසිය යළිත් ප්‍රකාශ කර සිටියේ බ්‍රයන් තෝමස් විසින් ඔහුව ඝාතනය කර ඇති බවට කිසිදු සාක්ෂියක් සිය පරීක්ෂණ වලින් අනාවරණය නොවන බවය. එබැවින් මෙම අපරාධය පිළිබඳ ඔහු ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි යන හැඟීමක් පොලීසිය විසින්ම මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබිණි.

පසුව යළිත් පොලිසිය ප්‍රකාශ කර සිටියේ දිනේෂ් ෂාෆ්ටර් යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමග එකතුවී රුපියල් කෝටි 85ක් වැයකර ව්‍යාපෘතියක් දියත් කිරීමට උත්සාහ කර ඇතත්, එයද අසාර්ථකවී පාඩු ලබා ඇති බවය.

නුවරඑළිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි 300ක් වැය කර ඉඩමක් මිලදී ගෙන ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබුණද, එයද පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවරා ගැනීම නිසා ඔහුට අතිවිශාල පාඩුවක් සිදුවී ඇති බව පොලීසිය කියයි.

මේ ආකාරයට රුපියල් කෝටි 2000ක් පමණ අලාභයක් ලබා ආයතනද පාඩුපිටපාඩු ලබමින් පවත්වාගෙන යෑම හේතුකොටගෙන ඔහු කොළඹ 7, මල් පාරේ, අංක 39 දරන ස්ථානයේ පිහිටි සිය නිවෙසද විකිණීමට පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබූ බව පොලීසිය කියයි.

මේ ස්වභාවයන් හේතුකොටගෙන දැඩි සිත්තැවුලෙන් පසු වූ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගන්නට ඇති බව පොලිසිය දැන් කියන කතාවකි. මුලින්  සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලීසිය විසින්ම ප්‍රකාශ කර, දැන් කිසිදු පිළිගත හැකි නිවැරදි සාක්ෂියක් නොමැතිව දිනේෂ් ෂාෆ්ටර් මරණය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය කරන ප්‍රකාශය තුළින්ම පැහැදිලි වන්නේ මෙය වෙනත් දිසාවකට හැරවීමට පොලිසිය තුළින්ම කිසියම් උත්සාහයක් ගන්නා බවය.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ නැතිව මිනී මැරීමටත්, එම මිනීමැරුම් වෙනත් හේතු කාරණා සමාජය තුළ වපුරා ඝාතනයේ සැබෑ ස්වභාවයන් වෙනස් කර අපරාධකරුවන් ආරක්ෂා කරමින් අපරාධ යටපත් කිරීමටද පොලීසියට ඇත්තේ සහජ හැකියාවකි. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය තුළින්ද, පොලීසිය මේ සිදුකරමින් සිටින්නේ එය නොවේද ?

මෙම අපරාධය ගැන කතා කරනවිට කොළඹ 01, චැතම් වීදිය ,පළමු මහළ,අංක 61/1/1 බී දරන ස්ථානයේ පිහිටා තිබූ ඒ.එෆ්.ඊ. විදේශ රැකියා ආයතනයේ සභාපති තුෂාරි ද සිල්වාගේ සැලසුම්සහගත ක්‍රමන්ත්‍රණකාරී අභිරහස් මරණය අමතක කළ නොහැකිය.

වත්තල, හැඳල ,ඇළකන්ද පාරේ පදිංචිව සිටි තුෂාරි ද සිල්වා ඉතාමත් සුරූපී හැඩකාර කාන්තාවකි. ඇයගේ ස්වාමිපුරුෂයා පදිංචිව සිටියේ විදේශ රටකය. ඒ තුළ ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා ලෙස ළඟ සිටියේ කොම්පඤ්ඤවීදිය,වෑකන්ද පාරේ පදිංචිකරුවෙකු වූ නඩරාජා විජේපාලන් නමැති දෙමළ ජාතික තරුණයෙකි.

තුෂාරිද සිල්වා

කොළඹ බල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෝ, තවත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයෝ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්, මැති ඇමතිවරු, විවිධ ක්ෂේත්‍රවලට අයත් උසස් පොලිස් නිලධාරීන් සමග නිරතුරුව ගනුදෙනු කරමින් සිය විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගිය තුෂාරි ද සිල්වා සමග ප්‍රේම සබඳතාවක් ඇති කර ගැනීමට කොළඹ දිසාවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී රංජිත් වනරාජ උත්සාහ දැරීය.

ඔහු දුරකථන හා වෙනත් ක්‍රම මගින් තුෂාරි ද සිල්වාට එවැනි යෝජනා ගෙන එමින්  කරන ලද ක්‍රියාවන් පිළිබඳව ඇය සිය අනියම් ස්වාමිපුරුෂයා වන නඩරාජා විජේපාලන්ට දැනුම් දෙමින් රංජිත් වනරාජාගෙන් එල්ලවන පීඩන සැළ කර ඇත.

එය ඇසීමෙන් නඩරාජා විජේපාලන් දැඩි ලෙස වියරු වැටිණි. එමගින් නඩරාජා විජේපාලන් සහ සහකාර පොලිස් අධිකාරී රංජිත් වනරාජා අතර ඇති වූයේ බරපතළ මතභේදාත්මක ගැටුමකි. දෙදෙනාට දෙදෙනා පසුබැසීමට කැමති වූයේ නැත. එමගින් දෙදෙනා අතර ගැටුම ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයක් කරා ගමන් කරමින් තිබිණි.

සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි

පොලිස් සහ ආයුධ බල සහිතව සිටී සහකාර පොලිස් අධිකාරී රංඡිත් වනරාජා පියවරක් ඉදිරියට තබමින්  නඩරාජා විජේපාලන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට සැලසුම් කෙරිණි. ඒ අනුව ඔහු යන එන ගමන් බිමන් පිළිබඳව ඔත්තු බැලීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ද යෙදූහ. දිනය 2000 ජූලි මස 13 වැනිදාය. වෙලාව රාත්‍රී 8.30ට පමණ ඇත. ස්ථානය කොටහේන, ජම්පටාර්වීදිය ,විවේකානන්ද හිල් පාර අසල පිහිටි 84 වත්තේ නිවසකි.

ඒ වනවිට එම නිවසේ නඩරාජා විජේපාලන්, තුෂාරි ද සිල්වා හා ඔවුන්ගේ මිතුරියන් දෙදෙනෙකු වන රේණුකා දමයන්ති හා ශ්‍රීනා නමැත්තිය බොහෝ වේලාවක් කතාබහ කරමින් සිට එළියට පැමිණියේ වෙනත් ගමනක් යෑමේ අරමුණෙනි. ඔවුන්ගේ 301-2498 අංක දරන මෝටර් රථය මාර්ගය අසල නතර කර තිබිණි. ඔවුහු නිවසේ සිට මාර්ගයට පැමිණ මෝටර් රථයට නැගීමට සූදානම් වූවා පමණි.

තුෂාරිද සිල්වා හා නඩරාජා විජේපාලන්

ඒ ආසන්නයේම වෙනත් වාහනයක සිවිල් ඇඳුමින් සැරසී ආයුධ සන්නද්ධව සිටී සහකාර පොලිස් අධිකාරී රංජිත් වනරාජා ඇතුළු කිහිපදෙනෙක් වහාම ක්‍රියාත්මක වී නඩරාජා විජේපාලන්, තුෂාරි ද සිල්වා, රේණුකා දමයන්ති හා ශ්‍රීනා යන සිව්දෙනාව අත්අඩංගුවට ගෙන මාංචු දමා සිය වාහනයට දමා ගත්හ. ඒත් සමග එහි සිටි තවත් පොලිස් නිලධාරියෙක් 301-2498 අංක දරන නඩරාජා විජේපාලන්ගේ මෝටර් රථයකට ගොඩවීමත් සමග වාහන දෙකම අධික වේගයෙන් ධාවනය කර ඇත.

ඔවූන්ව පැහැර ගත්තේ කොටහේන, ජම්පටාර්වීදිය පොලිස් ස්ථානයට යාර 30ක් පමණ නුදුරිනි. ඒ වනවිට එහි පොලිස් ස්ථානාධිපති ධුරය දැරුවේ උපපොලිස් පරීක්ෂක ඩී.කේ. ප්‍රියන්තය. දැනට ඔහු පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලබා කොළඹ ප්‍රජා පොලිස් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ඇත. ඔහුද මෙය නොදන්නවා විය නොහැකිය.

රේණුකා දමයන්තිගේ දේහය

එලෙස පැහැරගත් ඔවුන්ව කෙලින්ම රැගෙන ගොස් ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ කාමරයක් තුළටය. එහි බොහෝ වේලාවක් තබා ගැනීමෙන් අනතුරුව වෙනත් රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇත. එහිදී නඩරාජා විජේපාලන්ගේ දෑතට මාංචු දමා පහර දෙමින් ඔහුට පෙනෙනසේ තුෂාරි ද සිල්වා සහ රේණුකා දමයන්තිව එම පොලිස් නිලධාරීන් මත්පැන් පානය කරමින් මාරුවෙන් මාරුවට ඉතාමත් අමානුෂික ලෙස ලිංගික දූෂණයට ලක් කර ඇත.

වෙඩි තැබූ වාහනය සහ ඒ අසල සහකාර පොලිස් අධිකාරී අනුරාධ මහින්දසිරි

පසුව ඔවූන්ව මාංචු දමා 2000 ජූලි මස 14 වෙනිදාට එළිවෙන අලුයම 1.30 ට පමණ ඔවුන්ට අයත් 301-2498 අංක දරන මෝටර් රථයෙන් කොළඹ ,මාලිගාවත්ත, සද්ධර්ම මාවතේ මුස්ලිම් පල්ලිය අසල පිහිටි සුසාන භූමිය ළඟට රැගෙනවිත් වාහනය පස් කණ්ඩියක ගැටීමට සලස්වා වාහනය තුළ සිටි නඩරාජා විජේපාලන්ව ඉදිරිපස වම් අසුනේද, තුෂාරි ද සිල්වාව රියැදුරු අසුනේද, රේණුකා දමයන්තිව පිටුපස අසුනේද සිටීමට සලස්වා වෙඩි තබා ඝාතනය කර ඇත.

මේ පිරිස සමග කොටහේනේ දී අත්අඩංගුවට ගත් ග්‍රීනාට සිදු වූයේ කුමක්ද ? ඇයව පොලිස් නිලධාරීන් එදින අලුයම නිදහස් කර යවා ඇත. ඊට හේතු වී ඇත්තේ මෙම තිදෙනා යන එන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සොයා සහකාර පොලිස් අධිකාරී රංජිත් වනරාජාට ඔත්තු සපයා ඇත්තේ ඇයයි.

&එකට හිටියත් බොක්ක වෙනස්* යනුවෙන් කියන්නේ මේවාටය.එපමණක් නොව, දුරින් ඉන්න කෙනාට වඩා ළඟ ඉන්න කෙනා ගැන අවිශ්වාස කළ යුත්තේ එබැවිනි. මෙම සමූහ ඝාතනය සිදු වනවිට උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ රංජිත් වනරාජා පසුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස් විය.

මෙම අපරාධය සිදු වනවිට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ බෝධි ලියනගේය. කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කළේ ඩී.ඩී.ඒ.ද ෆොන්සේකාය. සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළේ ග්‍රී ලංකාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අවිශ්ක ගුණවර්ධනගේ පියා වන එල්.සී.ගුණවර්ධනය.

මෙම අපරාධය සිදුවූයේ මාලිගාවත්ත පොලිස් වසම තුළය. එවිට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ධුරය දැරුවේ පොලිස් පරීක්ෂක සේන සුරවීරය. එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධුරය දැරුවේ දැනට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරන අනුරාධ මහින්දසිරිය. මේ අය මෙම අපරාධයේ සැබෑව නොදන්නවා විය නොහැක.

මෙම සිද්ධිය 2000 ජූලි මස 14 වැනි දිනයේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය විය. එපමණක් නොව, 2000 ජූලි මස 15 වැනි සෙනසුරාදා සියලුම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය විය.

&දිවයින* පුවත්පතේ සිරස්තලය මෙසේය.

&ඊයේ අලුයම මාලිගාවත්තම දෙවනත් කරමින් වෙඩි පිට වෙඩි පත්තුවේ*

රේණුකා දමයන්ති

දෙමළ පාතාල කල්ලි නායක විජේපාලන් පාතාල කල්ලි කෙල්ලන් සමග මැරුම්කයි.

පාතාල කෙල්ලන් පොලීසිය සමග මුහුණට මුහුණ වෙඩි තබාගත් පළමු වතාව.

දිවයින පුවත්පතේ සිරස්තලය

ඒ දිවයින පුවත්පත එම සිද්ධිය වාර්තා කර තිබූ අයුරුයි. එදින දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙසේය.

&පොලීසියට වෙඩි තබා පනින්න හදලා*

පාතාල නායකයාත්, අනියම් බිරිඳත් පොලිස් වෙඩි පහරින් මරු දකිති.

සැමියා මරන්න කොන්ත්‍රත්තුව අරන් බිරිය එක්ක යාලුවෙලා.

වාහනයේ සිටි තවත් කතකුත් මැරිලා. අත්බෝම්බ ගිනිඅවි උණ්ඩ හමුවෙයි.*

ඒ ලංකාදීප පුවත්පත සිද්ධිය වාර්තා කර තිබූ අයුරුය. එපමණක් නොව, මෙම අපරාධය පිළිබඳව කොළඹ, අලුත්කඩේ,අංක 5,මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් වී.එම්. සිරිවර්ධන ඉදිරියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි.

එහිදී සාක්ෂි දුන් කොළඹ දිසාවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී.රංජිත් පෙරේරා අපූරු ප්‍රකාශයක් කළේය. එම සාක්ෂිය මෙසේය.

&පසුගියදා 13 වැනි දින පාතාල අපරාධකරුවන් කිහිපදෙනෙක් ත්‍රස්තවාදීන් සමග අවි ආයුධ ගනුදෙනුවක් කරන බවට තොරතුරු ලැබුණා. ඒ ගැන පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කණ්ඩායම් දෙකක් යෙදෙව්වා. එම කණ්ඩායම් දෙක මරදාන, සංඝරාජ මාවතේ ,වටරවුමේ සිට ග්‍රෑන්ඩ්පාස් දෙසට ගමන් කරන වාහනත්, බේස්ලයින් පාරට වැටෙන වාහනත් ආවරණය වන පරිදි මාලිගාවත්ත මුස්ලිම් කනත්ත අසල යොදවා තිබුණා.

මධ්‍යම රාත්‍රියට ළඟාවත්ම උපපොලිස් පරීක්ෂක විජේසුන්දර  ගමන් දුරකථනයෙන් මට දැනුම් දුන්නා පාතාල අපරාධකරුවන් පිරිසක් ආයුධ රැගෙන 301-2498 දරන වාහනයෙන් ගමන් කරන බව. ඒ අනුව මා මාර්ගයේ රාජකාරිවල නියුතු සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කළා.

ලංකාදීප පුවත්පතේ සිරස්තලය

14 වැනිදා අලුයම 1:45 ට පමණ උපපොලිස් පරීක්ෂක විජේසුන්දර යළිත් වරක් මට ගමන් දුරකථනයෙන් කතා කළා. ඔහු කිව්වා මාර්ග බාධයේදී නැවැත්වීමට සංඥා කළ වාහනයක් නොනවත්වා ගමන් කරමින් තමන්ට වෙඩි තැබූ නිසා එම වාහනයට වෙඩි තැබුවා කියලා.

මම විනාඩි 10 කින් සිද්ධිය වූ ස්ථානයට ගියා. එතන කාර් එකක් පස් කණ්ඩියක හැපී නතර වී තිබුණා. ඒ වනවිට එහි එන්ජිම ක්‍රියාත්මක වෙමින් තිබුණා. වාහනේ ඉදිරිපස වම් අසුණේ සිටි කෙනෙක් වාහනයේ දොරත් ඇරගෙන බිම වැටී සිටියා. ඔහු අතේ පිස්තෝලයක්ද තිබුණා.

රියැදුරු අසුනේ සිටි කාන්තාවකගේ හිස සුක්කානම මතට කඩා වැටී තිබුණු අතර වාහනය පසුපස අසුණේ සිටි තවත් කාන්තාවක් වෙඩි වැදී බරපතළ තුවාල ලැබ කෙඳිරිගාමින් සිටියා. වාහනයේ ඉදිරිපස අසුණේ රිවෝල්වරයක් තිබුණා. පිටුපස අසුන යට අත්බෝම්බයක් වැනි යමක් වැටී තිබෙනු දුටුවා. කාන්තා බෑග් දෙකක්ද,පලතුරු පාර්සල් කීපයක්ද තිබුණා.

පසුව මා මේ ගැන උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නා. ඔවුන් මට දන්වා සිටියා තුවාලකරුවන් වහාම රෝහලට ගෙනියන ලෙස. මෙම සිද්ධියෙන් නඩරාජා විජේපාලන් නමැති පාතාල ලෝකයේ ප්‍රධාන අපරාධකරුවත්, ඔහුගේ පෙම්වතිය වන චමිලා තුෂාරිත්,රේණුකා දමයන්ති යන අයත් මියගොස් සිටියා.*

මේ එවකට කොළඹ දිසාවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ධුරය දැරූ පොලිස් පරීක්ෂක කේ.ජී. රංජිත් පෙරේරා මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී දෙන ලද සාක්ෂියයි.

එම කටඋත්තරය තුළින් කියැවෙන්නේ මෙම පිරිස අවි ආයුධ සන්නද්ධව රාත්‍රියේ පැමිණෙනවිට පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන් ඔවුන්ට වාහනය නතර කරන ලෙස සංඥා කළත්, එය නොනවත්වා ධාවනය කළ හෙයින් එයට වෙඩි තැබූ බවය.ඉන් පසුව වාහනය පරීක්ෂා කිරීමේදී මිය ගිය තිදෙනෙකුගේ සිරුරු සහ ඔවුහු සතු අවි ආයුධ හමු වූ බවය.

එපමණක් නොව, විද්‍යුත් මාධ්‍ය සහ ජාතික පුවත්පත් ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද ? පාතාලයේ දරුණු අපරාධකරුවන් වන ඔවුහු පොලීසිය සමග මුහුණට මුහුණ වෙඩි තබා ගත් බවය. එම පුවත්පත් වාර්තා කර තිබූ තවත් හාස්‍යජනක ප්‍රකාශයක් වූයේ පාතාල කෙල්ලන් පොලීසිය සමග මුහුණට මුහුණ වෙඩි තබා ගත් පළමු වතාව බවය.

මේවා මොන තරම් පට්ටපල් බොරු දේවල්ද ? මාධ්‍යයත් පොලිස් ප්‍රකාශ මතම යැපීමට ගොස් සිදුවන්නේ සත්‍ය යටපත් වී බොරුව ඉස්මතුවීම පමණි. පොලිස් ප්‍රකාශන වලින් ඔබ්බට ගොස් මාධ්‍යවේදීන්ට සත්‍ය ගවේෂණය කිරීමට නොහැක්කේ ඇයි ? 

පොලීසියත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී බොරු සාක්ෂි දෙමින් අධිකරණය නොමග යවා අපහාස කර ඇති ආකාරය පෙනෙනවා නේද? මේවා නොදැනුවත්ව සිදුවන දේවල්ද? නැත. සිතාමතාම අපරාධ වල සැබෑව යටපත් කිරීමට සිදුකරන දේවල්ය.

සැබැවින්ම මෙහිදී සිදුවූයේ මේ කියන කතාවක්ද ? නැත. සිදුවූයේ සහකාර පොලිස් අධිකාරී රංජිත් වනරාජා, තුෂාරි ද සිල්වා සහ ඇයගේ අනියම් පෙම්වතා වන නඩරාජා විජේපාලන් අතර ඇති වූ පුද්ගලික ප්‍රශ්නයක් එනම්, අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන ඔවූන්ව පැහැරගෙනවිත් රහසිගත ස්ථානයක තබා දූෂණය කර මාලිගාවත්තට රැගෙනවිත් වෙඩි තබා ඝාතනය කිරීමකි.

අදටත් නීතියට පිටින් සිදුකළ මෙම සමූළ ඝාතනයේ අපරාධකරුවෝ නිදැල්ලේය. කිසිවෙකුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර නිවැරදිතාව සමාජයට එළිදරව් කිරීමට සමත් වී නැත. මෙම කරුණු මා පුද්ගලිකවම මැදිහත්වී කරන ලද සොයා බැලීමක ප්‍රතිඵලයකි.

නඩරාජා විජේපාලන් පාතාලය සමග සබඳතා පවත්වමින් දාමරික ක්‍රියාවලට දායකත්වය සපයන අයකු බව පොලිස් වාර්තා ඇත. ඔහු රක්ෂිත බන්ධනාගාරගත වී නිදහස් වී පැමිණ සිටි අයෙකි. ඔහුට ඇති එවැනි කරුණු කාරණා ගොනු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණය හරහා මරණීය දණ්ඩනය ලබා දුන්නද එහි කිසිදු ප්‍රශ්නයක් නැත. එය නීතිමය ප්‍රතිපාදන මත සිදුවන දෙයකි.

නමුත් මෙහිදී සිදු වූයේ එවැන්නක් නොව, තුෂාරි ද සිල්වා සමග ඇතිකර ගැනීමට ගිය ප්‍රේම සබඳතාවක් අසාර්ථකවීමෙන් පසූ මෙම අපරාධය සිදුවීමය. එසේනම්, පොලීසිය, පොලිස් පරීක්ෂණ , මහේස්ත්‍රාත් පරීක්ෂණ, මාධ්‍ය වාර්තා පිළිබඳව අපට තැබිය හැකි විශ්වාසය කුමක්ද ?

මුළු රටම මහත් කතාබහට ලක්වී ඇති ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය පිළිබඳව දැනට  ප්‍රකාශයට පත්වී ඇති පොලිස් පරීක්ෂණ, මාධ්‍ය වාර්තා පිළිබඳවද ඇත්තේ බරපතළ ගැටලු සහගත තත්ත්වයකි.

පොලිසිය නිරතුරුව ප්‍රකාශ කරන බවට මාධ්‍ය වාර්තා කරන්නේ එම මරණය මුදල් ගනුදෙනුවක් ඉලක්ක කරගෙන සිදුවී ඇති බවට හැඟෙන කතාය. සැබවින්ම මෙය මුදල් ගනුදෙනුවක් මත සිදු වූ දෙයක්ද? එසේ නැත්නම් ,තුෂාරි ද සිල්වා ඝාතනය පන්නයේ සිදුවීමක්ද යන සැකය මා තුළ බරපතළ ලෙස ඇත.

ශ්‍රී ලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.