පාතාල ලෝකය සමඟ නිරතුරුව සබඳතා පවත්වමින් නීති විරෝධී වැඩ කටයුතු නියැලී සිටින මහා පරිමාණ කැසිනෝ ජාවාරම්කරුවකු වන රවී විජේරත්න ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සමග එකතුවී සිදුකරන ලද මහා පරිමාණයේ කළු සල්ලි ජාවාරමක තොරතුරු හෙළි වෙයි.

ඉතාමත් සූක්ෂම ආකාරයට සිදුකර ඇති මෙම සල්ලි මගඩිය කුමන කරුණක් අරබයා සිදුකර ඇද්ද යන්න නිශ්චිත වශයෙන් පැහැදිලි නැත. නමුත් දෙදෙනා අතර සිදු වූ මහා පරිමාණයේ කිසියම් කූට ජාවාරමක මුදල් මෙලෙස රහසිගතව හුවමාරු කරගෙන ඇත.

ඒ අනුව රවී විජේරත්නගේ නිවසේ සිට ගාමිණී සෙනරත්ගේ නිවසට රුපියල් මිලියන 15 ක්, මිලියන 30 ක් සහ මිලියන 60 ක් යනාදි ආකාරයට පෙට්ටිවල අසුරා රැගෙන ගොස් ඇත.2014 අගෝස්තු මස 30 වැනිදා එම මුදල රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ රියදුරෙක් වන උපාලි සහ ආරක්ෂක නිලධාරියෙකු වන සෙනෙවිරත්න විසිනි.

2014 නොවැම්බර් මස 11 වැනිදා රාත්‍රී 10 ට පමණ රවී විජේරත්නගේ නිවස තුළ චීන ජාතිකයින් පිරිසක් සමඟ සුවිශේෂී සාකච්ඡාවක් තිබී ඇත. එම සාකච්ඡාවෙන් පසු රවී විජේරත්නගේ නිවසේ සිට ගාමිණී සෙනරත්ගේ නිවස වෙත සල්ලි මලු කිහිපයක් ආරක්ෂක නිලධාරියකු වන තෙන්නකෝන් සහ රියදුරෙකු වන අත්තනායක මගින් යවා ඇත.

එම සල්ලි මලු වල රුපියල් මිලියන 12 ක් ,මිලියන 13 ක් ,මිලියන 44 ක් සහ මිලියන 60 ක් වශයෙන් පෙට්ටි හතරක් තිබී ඇත.

එපමණක් නොව,රියදුරකු වන උපාලි හා ආරක්ෂක නිලධාරියකු වන බණ්ඩාර නැමැත්තා මගින් රවී විජේරත්න ගාමිණී සෙනරත්ගේ නිවසට ඩබ්ලිව්. පී .කේ .එල් .1824 අංක දරන මෝටර් රථයෙන් රුපියල් මිලියන 11 ක් සහ මිලියන 43 ක් යවා ඇත. එය සිදුවී ඇත්තේ 2014 නොවැම්බර් මස 19 දා රාත්‍රී 12:30 ට පමණය.

තවද, 2014 නොවැම්බර් මස 20 වැනිදා රාත්‍රී 11.30 ට පමණ 300 _ 9156 අංක දරන මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ සිට මුදල් පුරවන ලද විශාල ප්‍රමාණයේ බෑග් දෙකක් බණ්ඩාර නමැති පුද්ගලයා විසින් බොරැල්ලේ පිහිටි ගාමිණී සෙනරත්ගේ නිවස වෙත රැගෙන ගොස් ඇත.

එසේම ,චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් පැමිණ රවී විජේරත්නගේ නිවස තුළදී කිලෝ 50 ක් පමණ බර මුදල් පුරවන ලද විශාල කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් ගාමිණී සෙනරත්ට බාරදී ඇත.එය සිදුවී ඇත්තේ 2014 නොවැම්බර් මස 28 වැනිදා රාත්‍රී 9 ට පමණය.

එම චීන ජාතික කාන්තාවන් දෙදෙනා රවී විජේරත්නගේ නිවසට පැමිණ ඇත්තේ ඩබ්ලිව්. පී .කේ .එම් .0522 අංක දරන මෝටර් රථයෙනි.

2014 නොවැම්බර් මස 25 වැනිදා සල්ලි පුරවන ලද බෑග් හතරක්ද, නොවැම්බර් මස 26 වැනිදා තවත් බෑග් හතරක්ද ,දෙසැම්බර් මස දෙවැනිදා තවත් බෑග් දෙකක්ද රවී විජේරත්නගේ නිවසේ සිට බොරැල්ලේ පිහිටි ගාමිණී සෙනරත්ගේ නිවස වෙත රැගෙන ගොස් ඇත.එහෙත් එම මලු වල තිබූ සල්ලි ප්‍රමාණය පිළිබඳව නිශ්චිත කරුණක් අනාවරණය කරගැනීමට අපට හැකියාව ලැබුණේ නැත. කෙසේ වෙතත් ,එහි අතිවිශාල මුදලක් තිබූ බව මට තොරතුරු සැපයූ පුද්ගලයා විසින් ප්‍රකාශ කළ දෙයකි.

කොළඹ 7 ,වෝඩ් පෙදෙසේ පදිංචි මූර්ති නැමැති පුද්ගලයෙකු ගාමිණී සෙනරත්ගේ නිවසට 2014 දෙසැම්බර් මස තුන් වැනිදා පෙරවරු 10 ට පමණ සල්ලි පුරවන ලද කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් රැගෙනවිත් ඇත. ඔහු එම නිවසට පැමිණ ඇත්තේ ඩබ්ලිව්. පී .කේ.එන් .9999 අංක දරන මෝටර් රථයෙනි.

එසේම නීතිඥ අනුර චන්ද්‍රසිරි විසින් 2014 දෙසැම්බර් මස 5 වැනිදා ඩබ්ලිව්. පී .කේ. වයි 1343 අංක දරන මෝටර් රථයෙන් මුදල් තොගයක් රැගෙන ගාමිණී සෙනරත්ගේ නිවස වෙත පැමිණ ඇත.එහි පෙට්ටි වල අති විශාල මුදලක් තිබී ඇති අතර ඒවා කුමන ජාවාරමක් සිදු කර ඉපයු මුදල් ද යන්න පැහැදිලි නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත්ගේ සහෝදරයකු වන්නේ සුනිල් සේදර සෙනරත්ය. ඔහු 2014 දෙසැම්බර් මස 18 වෙනිදා පස්වරු 1:45 ට පමණ රුපියල් මිලියන 53 ක් සහිත පෙට්ටි කිහිපයක් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට රැගෙන ගොස් ඇත. ඒ සඳහා ඔහු භාවිතා කර ඇත්තේ යූ.කේ. 4766 අංක දරන මෝටර් රථයයි.

එපමණක් නොව ,2014 දෙසැම්බර් මස 19 වැනිදා රාත්‍රියේ 10:30 ට පමණ නන්දන ලොකුවිතාන විසින් රුපියල් මිලියන 30 ක් සහ රුපියල් මිලියන 20 ක් යනාදී ආකාරයෙන් මුදල් සහිත බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට රැගෙන ගොස් ඇත.

එසේම ,චීන ජාතිකයින් පිරිසකගේ මැදිහත්වීමෙන් රවී විජේරත්නගේ නිවස තුළ විශේෂ සාකච්ඡාවක් 2014 දෙසැම්බර් මස 19 වැනිදා රාත්‍රී 10 ට පමණ තිබී ඇත.එයට චීන ජාතිකයින් පැමිණ ඇත්තේ ඩබ්ලිව් .පී .කේ. එල් .1824 අංක දරන මෝටර් රථයෙනි.

එම සාකච්ඡාවෙන් පසු චීන ජාතිකයින් පිරිසක් විසින් දෙන ලද පෙට්ටි හතක පුරවන ලද රුපියල් මිලියන 200 ක මුදලක් ගාමිණී සෙනරත්ගේ බොරැල්ලේ පිහිටි නිවසට යැවීමට රවී විජේරත්න කටයුතු කර ඇත.

2014 දෙසැම්බර් මස 19 වැනිදා රාත්‍රී 8 ට පමණ කේ .පී .5610 අංක දරන මෝටර් රථයෙන් ගාමිණී සෙනරත් විසින් අරලියගහ මන්දිරයේ කාමරයක් තුළ තිබූ බෑග් දෙකක අඩංගු විශාල මුදල් තොගයක් රථයේ දමාගෙන සිය නිවසට රැගෙන ගොස් ඇත.

තවද ,2013 නොවැම්බර් මස 9 වැනිදා රාත්‍රී 9. 50 ට පමණ රවී විජේරත්න පදිංචි බොරැල්ල ,ග්‍රෙගරි පාරේ පිහිටි නිවසේ සිට පෙට්ටි පහක පුරවන ලද මුදල් තොගයක් ගාමිණී සෙනරත්ගේ නිවසට රැගෙන ගොස් ඇත.එම මුදල් ප්‍රවාහනය කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ කේ.එච්.3937 අංක දරණ මෝටර් රථයෙනි. එහි ආරක්ෂක නිලධාරියා ලෙස සෙනෙවිරත්නද ,රියදුරා ලෙස උපාලිද ගමන් කර ඇත.

එසේම බණ්ඩාර නමැත්තාගේ මාර්ගයෙන් 2014 පෙබරවාරි මස 19 වැනිදා 301_9650 අංක දරන මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ සිට රෙදි බෑග් කිහිපයක පුරවන ලද විශාල මුදල් තොගයක් ගාමිණී සෙනරත්ගේ බොරැල්ල ,ග්‍රෙගරි පාරේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත.

2013 නොවැම්බර් මස 20 වැනිදා පෙරවරු 9 ට පමණ කේ.එම්. 1424 අංක දරන මෝටර් රථයෙන් ප්‍රභාත් නානායක්කාර විසින් ගාමිණී සෙනරත්ගේ නිවසට පෝර බෑග් කිහිපයක පුරවන ලද මුදල් තොගයක් රැගෙන විත් ඇත. පසුව එම මුදල් පියදාස කුඩාබාලගේ විසින් එතනින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට ඔහුගේ සහෝදරයෙකු වන සුනිල් සේදර විසින් කාඩ්බෝඩ් පෙට්ටි තුනක පුරවන ලද මුදල් තොගයක් 2013 සැප්තැම්බර් මස 25 වැනිදා පෙරවරු 11ට පමණ රැගෙන ගොස් ඇත .එය සිදුවී ඇත්තේ ඩබ්ලිව්. පි. එම්. අයි .4680 අංක දරන මෝටර් රථයෙනි .එහි රියදුරා ලෙස සේවය කර ඇත්තේ පෙරේරා නැමැති අයෙකි.

2013 ඔක්තෝබර් මස 3 වැනිදාද එම මෝටර් රථයෙන් තවත් විශාල මුදල් තොගයක් රැගෙන ගොස් ඇති අතර එය කොතෙක්ද යන්න පැහැදිලි නැත.

ගාමිණී සෙනරත්ගේ මුදල් භාරකරු ලෙස බොහෝදුරට ක්‍රියාකර ඇත්තේ බණ්ඩාර නැමැත්තාය.ඔහු 2014 පෙබරවාරි මස 26 වෙනිදා ගාමිණී සෙනරත්ගේ නිල කාමරයේ තිබූ මුදල් තොගයක් අළු පාට බෑග් කීපයක පුරවා 301_ 9651 අංක දරණ මෝටර් රථයෙන් බොරැල්ල,ග්‍රෙගරි පාරේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත.

2014 අප්‍රේල් මස 28 වැනිදා පෙරවරු 10 ට පමණ සුනිල් සේදර සෙනරත් විසින් කේ.යූ.5270 අංක දරන මෝටර් රථයෙන් විශාල ප්‍රමාණයේ බෑග් දෙකක මුදල් තොගයක් ගාමිණී සෙනරත්ගේ නිවස වෙත රැගෙන විත් ඇත.එසේම අතුරුගිරිය පෝමේට් කර්මාන්ත ශාලාවේ සේවය කරන ප්‍රසාද් විසින් 2014 පෙබරවාරි මස 20 වැනිදා සුදු පැහැති බෑග් දෙකක විශාල මුදල් තොගයක් බොරැල්ල ග්‍රෙගරි පාරේ පිහිටි ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට අතුරුගිරියට රැගෙන ගොස් ඇත.

මහා පරිමාණයේ කැසිනෝ ජාවාරම්කරුවකු සහ නීති විරෝධී ක්‍රියා වල නියැලෙන තක්කඩියකු ලෙස ප්‍රචලිත රවී විජේරත්න විසින් චීන ජාතිකයින් පිරිසක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තවත් විශාල මුදල් තොගයක් 2014 මාර්තු මස 3 වැනිදා රාත්‍රී 9 ට පමණ ගාමිණී සෙනරත්ගේ නිවසට යවා ඇත .පෙට්ටි හයක බහාලන ලද එම මුදල් සෙනෙවිරත්න නමැති ආරක්ෂක නිලධාරියා සහ උපාලි නැමැති රියදුරා මාර්ගයෙන් ඒවා රැගෙන ගොස් ඇත.

මේ අනුව ඉතාමත් පැහැදිලි වන්නේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ මහා පරිමාණ තක්කඩි ව්‍යාපාරිකයකු වන රවි විජේරත්න අතර ඉතාමත් කූට ගනුදෙනු රාශියක් සිදුවී ඇති බවය. ඒවායෙන් උපයා ඇති මුදල් සියල්ලම විවිධ ජාවාරම් කටයුතු හරහා ලබාගත් ඒවා විය හැක . එබැවින් මෙම ගනුදෙනු කිසිවක් ලෙහෙසි පහසුවෙන් ඉවත දැමිය හැකි ඒවා නොවේ. රවී විජේරත්න ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් අල්ලා ගෙන සිදුකරන ලද මෙම ගනුදෙනු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනතාව නිවැරදි ආණ්ඩුවක් බලයට රැගෙන ඒම අත්‍යවශ්‍ය සාධකයකි.එසේ නොමැති වුවහොත් මෙම තක්කඩි ව්‍යාපාරිකයා මෙවැනි ප්‍රබලයන් හරහා තව තවත් මෙවැනි ගනුදෙනු සිදුකරමින් කලු සල්ලි ව්‍යාපාරය හරහා රට තව තවත් අරාජික තත්වයට පත්කිරීම සිදු කරනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.