ශ්‍රී ලංකාව යනු ,ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු තිප්පොළකි.බොහෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආසියානු සහ අප්‍රිකානු කලාපයට සිය මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත් පහසුවෙන් බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීම ඊට හේතුවනු ඇත.

අනෙක් රටවල ආරක්ෂක වැට කඩොලු ඉතාමත් ශක්තිමත් බැවින් ශ්‍රී ලංකාවේ දුර්වල ආරක්ෂක හා ජාවාරම්කාර දේශපාලන ස්වභාවය හේතු කොටගෙන ඕනෑම ජරා වැඩක් ශ්‍රී ලංකා භූමිය හරහා සිදුකිරීමට හැකි බැවින් ජාවාරම්කාරයෝ මෙය හුවමාරු තිප්පොළක් බවට පත් කරගෙන තිබීම සුවිශේෂී තත්ත්වයකි.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරට පත්වීමට පෙර සිටම කුඩු ජාවාරම්කරුවන් සමඟ ඉතාමත් කිට්ටු සබඳතා පැවැත්වූ අයෙකි.ඔහු මතුපිට සමාජය තුළ කුඩු ජාවාරම් වලට විරුද්ධව ක්‍රියාකරන බව පෙන්නුම් කළද, ඔහු තිරය පිටුපස රඟපෑවේ ජාවාරම්කාරයන්ට සිය සහයෝගය පළකරමින් ඔවූන් සමග මිත්‍රශීලී ඇසුරුකම් පැවැත්වීමටය.

ඊට අවශ්‍ය සාක්ෂි සහ සාධක ඕනෑවටත් වඩා මා සතුව ඇත.සෙසු කරුණු කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ මා එක් ප්‍රධාන කරුණක් අනාවරණය කිරීමට කැමැත්තෙමි. එනම්, ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජානි සමඟ ඉතාමත් කිට්ටු සබඳතා පැවැත්වීමය.

ඔහු පමණක් නොව, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ , ඔවූන්ගේ පුත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයාව සිට පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වී එහි රාජ්‍ය ඇමතිවරයකු ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුර්ලිදරන්ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ ඉතාමත් කිට්ටු සබඳතා පවත්වමින් මොහුගෙන් බොහෝ උදව් උපකාර සහ වරප්‍රසාද ලබා ගෙන ඇත.

මැලේසියාව කේන්ද්‍රකරගෙන සිය මත්ද්‍රව්‍ය ජාවාරම හා ව්‍යාපාරික කටයුතු සිදු කරන මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ආරාධනා වලට අනුව ශිරන්ති රාජපක්ෂ,නාමල් රාජපක්ෂ සහ පවුලේ අය මැලේසියාවේ අවස්ථා කිහිපයක් සංචාරය කරමින් ඔහුගේ මිල මුදල්වලින් යැපෙමින් ඔහුගේ හෝටල් වල ලැගුම් ගෙන ඇත.

ලංකාවේ රඹුක්කන ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී පසුකාලීනව මැලේසියාවට ගොස් කුඩු ජාවාරම් හරහා ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්වූ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මූජානි සිය මුදල් බලයෙන් මැලේසියාවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලකයන් සමගද සිය සබඳතා පවත්වන බවට කරුණු අනාවරණය වී ඇත.

මොහු මොන තරම් ප්‍රබල ව්‍යාපාරිකයෙක් දැයි කිවහොත්, මැලේසියාවේ ක්වාලාම්පූර් ව්‍යාපාරික ජාලය අතර ඉහළින්ම පිරිනැමෙන සම්මානය වූ ” ටාටො ” සම්මානයෙන්ද පිදුම් ලැබූ අයෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන වකවානුව තුළ ප්‍රථමයෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා ගොඩනඟා ගෙන තිබේ. එමගින් ඔහුට ඔහුගේ ජාවාරම්කාර කුඩු සල්ලි වලට ආරක්ෂාව සැපයීම උදෙසා ගෝඨාභය රාජපක්ෂ මැදිහත්කරුවකු ලෙසද ක්‍රියා කිරීමට ඉදිරිපත් වී ඇත.

එනම්, ඔහුට ඔහුගේ කුඩු සල්ලි යොදවා ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇත.එම කාර්යය සඳහා ඉදිරිපත් වී ඇති තවත් අතරමැදිකරුවෙකු වන්නේ චිත්‍රපට රංගන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රචලිත සංජය ලීලාරත්නය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සංජය ලීලාරත්න සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජානි සම්බන්ධ කර මෙම චිත්‍රපට කර්මාන්තයට අත ගසා ඇත. ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය වූ ” සෙල්වම් ” චිත්‍රපටය කරළියට පැමිණියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරනු ලැබූයේ යාපනය ප්‍රදේශයේය. ඒ වෙනුවෙන් හමුදා කඳවුරු ,හමුදා නිල නිවාස, හමුදාවේ සම්පත් , ප්‍රවාහන සහ සෙබළුන් යොදාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට පියවර ගත්තේ ගෝඨාභය රාජපක්ෂය.

මෙම චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු සිදුකිරීමෙන් පසුව එහි මංගල දර්ශනය වැල්ලවත්ත ” සැවෝයි ”  සිනමාහලේදී ප්‍රදර්ශනය කෙරිණි .එහි ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජානි සහභාගි වූහ.

චිත්‍රපට අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මාර්ගයෙන්ද තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මූලික සැකසුම් සකස් කෙරුණද යම් හේතුවක් මත පසුව එය අසාර්ථක විය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කුඩු ජාලය ලංකාව තුළද දැනට වසර විස්සක පමණ කාලයක සිට ක්‍රියාත්මකව ඇත. මොහුගේ පවුලේ අයද කුඩු ජාවාරම්වලට සම්බන්ධව පිරිස්ය. වරක් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ඔහුගේ මස්සිනාගේ නිවස වැටලූය.

එම නිවස පිහිටා තිබුණේ කොළඹ 7 ,වෝඩ් පෙදෙසේය.ඉතාමත් සුවිසල් මන්දිරයක් වූ එය පූර්ණ සෝදිසියකට ලක් කිරීමෙන් අනතුරුව එහි තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනිණි. ඒ සමඟ එහි සිටි මැලේසියාවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මස්සිනා වූ මොහොමඩ් සියාම්, ඔහුගේ බිරිඳ සහ රියදුරාද අත්අඩංගුවට පත්විය.

මේ පිළිබඳව අධිකරණයේ පැවති සාර්ථක නඩු විභාගයකින් පසු ඔවූන් තිදෙනාටම මරණ දණ්ඩනය නියම විය. දැනට ඔවූන් බන්ධනාගාරය තුළ සිය ජීවිතය ගත කරනු ඇත.මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජානිගේ තවත් මස්සිනා කෙනෙකු කුඩු ජාවාරම් කරමින් සිටියදී, වරක් මහනුවර ,කටුගස්තොට ප්‍රදේශයේදී කුඩු කිලෝ පහළොවක් සමග අත්අඩංගුවට පත්විය.

කුඩු ජාවාරම් පමණක් නොව, පාතාල සබඳතාද ගෝඨාභය රාජපක්ෂගේ අතිජාත මිත්‍රයා වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජානි සතුව ඇත.ඊට හොඳ නිදසුනක් නම්, ඔහුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පැවැත්වූ තරුණයකු ඝාතනය කිරීමය.

මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා අන්තර්ජාලය හරහා එම කාන්තාව සමඟ යම් ඇසුරක් පවත්වා ඇත.එය සැලවීමත් සමග මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජානි ” අංගොඩ සමයන් ” නමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයන්ගේ මාර්ගයෙන් එම තරුණයාව මහනුවර දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග ගෝඨාභය රාජපක්ෂ සබඳතා පවත්වන්නේ ඔහු කුඩු ජාවාරම්කරුවෙක් බව නොදැන නොවේ. හොඳාකාරවම දන්නවා ඇත.ඔහු ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන අයකු බවට මැලේසියානු බුද්ධි අංශය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවා දන්වා ඇත.

එවැනි පසුබිමක් තුළ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් නොවන බවට කිසිදු අයුරකින් ගෝඨාභය රාජපක්ෂ නොදන්නේ යැයි පැවසිය හැකිද ? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නිරතුරු සබඳතා පවත්වන පාලකයෙක් රටේ ජනාධිපති වූ විට රටකට ඇතිවන සුගතිය කුමක්ද ? මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව මැලේසියානු බුද්ධි අංශ මගින් කොටුකර ගැනීමට උත්සාහ කිරීමත් සමග ඒ පිළිබඳ තොරතුරු ඔහුට සැලවීමෙන් අනතුරුව ඔහු මැලේසියාවෙන් මේ වනවිට පලාගොස් ඇති බව කියැවෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published.