දිනේෂ් ෂාප්ටර්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හා සභාපති දිනේෂ් ෂාෆ්ටර්ව ඉතාමත් අභිරහස් ලෙස ඝාතනය කිරීම පිටුපස සිදු වූ මුදල් ගනුදෙනුවට අදාළව ඇමතිවරයෙක්, ඔහුගේ පුතෙක්, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හා පාතාලයට සම්බන්ධ කරුණු රාශියක් ඉස්මතු වී ඇත.

ඇමති විජේදාස රාජපක්ෂ

නමුත් ඒ සියලුම කරුණු පරීක්ෂණ වල විමර්ශනයට භාජන කිරීමේ නොහැකි තත්වයක් උදා වී ඇත්තේ, එසේ වුවවොත්, ඝාතනයට සෘජු ලෙසම සම්බන්ධ වී ඇති මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමේ නොහැකි තත්වයක් උදාවන බැවිනි.

එබැවින් ඇමති සහ ඔහුගේ පුතා සම්බන්ධ කරුණු ඉවත්කර එතැනින් පහළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ස්වභාවයකට යෑමට සිදුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් බුද්ධි නිලධාරියෙක් ප්‍රකාශ කළ දෙයකි.

බ්‍රයන් තෝමස්

ඔහු ප්‍රකාශ කළ ආකාරයට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ හා ප්‍රවීණ ඉංශ්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් එකතු වී මහා පරිමාණයේ කළු සල්ලි ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇත.

එයට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හා සභාපති දිනේෂ් ෂාෆ්ටර්වද සම්බන්ධ කර ගැනීම සඳහා ඔහුගෙන්ද ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රියන් තෝමස් රුපියල් ලක්ෂ 1430ක් ලබාගෙන ඇත. නමුත් ඊට අදාළ පොලිය හෝ අදාළ මුදල් ආපසු බ්‍රයන් තෝමස් විසින් දිනේෂ් ෂාෆ්ටර්ට ලබාදීම මග හැර ඇත.

එකී මුදල් ඔහුගෙන් ලබා ගැනීමට දිනේෂ් ෂාෆ්ටර් විශාල උත්සාහයක් දරා ඇතත්, එය ව්‍යර්ථ වූ තැන ඔහු 2019 මාර්තු මස 20 වැනි දින රහස් පොලීසියට පැමිණිලි කර ඇත. ණය මුදලක් ලෙස එකී මුදල් ලබාගෙන බ්‍රයන් තෝමස් එය නොදී මඟ හැර ඇති බව එම පැමිණිල්ල මගින් කියා සිටින දෙයකි.

ඒ වනවිට පැවතියේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවකි. අධිකරණ ඇමති ධුරය විජේදාස රාජපක්ෂ විසින් දැරූ බැවින් රහස් පොලිසියද මෙම සිද්ධිය පිළිබඳ ඉක්මන් විමර්ශනයක් සිදුකර විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට අතපසු කරමින් සිට ඇත්තේ විජේදාස රාජපක්ෂගේ බලපෑම් හේතුකොට ගෙනය.

පසුව 2019 නොවැම්බර් මස 16 වැනිදා යහපාලන ආණ්ඩුව බිඳ වැටී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්විණි. විජේදාස රාජපක්ෂ ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එකතු වුවද ,ඔවුන් දෙදෙනා අතරද බරපතළ විරසකකම් ඇති විය.

විජේදාස රාජපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ විවේචනය කළ අතර ඉන් දැඩි විරසකයට පත් ගෝඨාභය රාජපක්ෂ දුරකථන මගින් විජේදාස රාජපක්ෂට බරපතළ ලෙස බැණවැදුණු බවටද කරුණු ඉස්මතු විය.

මේ ස්වභාවය තුළ යට ගොස් තිබුණු විජේදාස රාජපක්ෂ හා පුතු රඛිත රාජපක්ෂ සම්බන්ධ වී ඔවූන්ගේ බලපෑමෙන් යටපත් වී තිබූ බ්‍රයන් තෝමස් සිදු කළ රුපියල් ලක්ෂ 1430කට අදාළ දිනේෂ් ෂාෆ්ටර්ගේ පැමිණිලි විභාග කිරීමට රහස් පොලීසිය කඩිනම් විය.

ඒ අනුව රහස් පොලීසිය විසින් 2021 පෙබරවාරි මස 14 වැනිදා බ්‍රයන් තෝමස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. එම නඩුව විභාග වෙමින් තිබියදී, දිනේෂ් ෂාෆ්ටර්ව ඉතාමත් සහාසික ලෙස ඝාතනය කිරීම බරපතළ ප්‍රශ්නයකි.

වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව තුළ අධිකරණ ඇමතිධුරය දරන විජේදාස රාජපක්ෂ මෙන්ම, ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ, ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් එක්ව සිදුකරන ලද කළු සල්ලි ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙස පාතාල ලෝකයේ අපරාධ කණ්ඩායමක් හරහා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සිදුකළාද ? නැත්නම් වෙනත් සිද්ධියක් ඊට පාදක වී ඇත්ද? යන්න සැක කරන බව අප වෙත තොරතුරු සැපයූ පොලිස් බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළ දෙයකි.

එහෙත් මෙම ඝාතනයට ආණ්ඩුවේ ඇමතිවරයෙක්, පුතෙක් සහ බලවත් අය සම්බන්ධ වී තිබෙන බවට නිශ්චිත වශයෙන් කරුණු හෙළිදරවු වුවහොත්, ඒවා පිළිබඳව විමර්ශන සටහන් නොදා, ඝාතනය සිදුකළ පහළ මට්ටමේ පුද්ගලයන් සහ අපරාධකරුවන් පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔවුන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවන බව එම නිලධාරියා කීය.

එමගින් වක්‍ර වශයෙන් ඝාතනයට සම්බන්ධ සහ අනුබල දුන් බලවතුන්ට තවදුරටත් නිදැල්ලේ හැසිරීමට සිදුවන බවද එම නිලධාරියා කීය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුතෙකු වන ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් දරුවන් තිදෙනකුගේ පියෙකි. 1971 උපත ලැබූ ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 711224599 v ලෙස සඳහන් වෙයි. කොළඹ 7, මල් පාරේ අංක 39 දරණ ස්ථානය පදිංචිව සිටි ඔහු 2022 දෙසැම්බර් මස 15 වන දින පස්වරු 2 ට පමණ WP-KY 8732 අංක දරන මෝටර් රථය පදවා නිවසින් පිටවී ගොස් ඇත්තේ තමන් ගෙන් ලබාගත් මුදල් බ්‍රයන් තෝමස් (බී.ටී) ගෙන් ලබාගැනීම සඳහා ඔහු සමග සාකච්ඡාවකට පිටත් වී යන බව සිය බිරිද වන ටානී ෂාෆ්ටර්ට ප්‍රකාශ කරමිනි.

රඛිත රාජපක්ෂ

නමුත් එම ප්‍රකාශය ඉතාමත් සැක සහිත දෙයකි. එනම්, රුපියල් ලක්ෂ 1430කට අදාළ එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන පසුබිමක් තුළ එකී මුදල් ලබා ගැනීමg බ්‍රයන් තෝමස් හමුවීමට සාකච්ඡාවකට යනවා යැයි, බිරිඳට ප්‍රකාශ කර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇති බැවින් පරීක්ෂණ අංශ ඒ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

නඩුවක් තිබියදී මෙලෙස අතරමග ඔවුන් අතර සාකච්ඡාවක් පැවැත්විය හැකිද? එසේ වූවා නම්, එම හමුවීමට අදාළ සම්බන්ධීකරණය සිදු වුයේ කෙසේද? කිසියම් අතරමැදි පුද්ගලයෙක් හරහාද? එසේ නැත්නම්, ඔවූනොවුන් දුරකථනය හරහා කතාබස් කරගත් දෙයක්ද? අතරමැදියෙක් සම්බන්ධ වූයේ නම්, ඔහු හෝ ඇය කවුද ? යන්න හා ඊට අදාළ තවත් කරුණු පරීක්ෂණයට භාජන කළ යුතුය.

විශේෂයෙන්ම දිනේෂ් ෂාෆ්ටර්ගේ පුද්ගලික ජංගම දුරකථනය හා ඔහු භාවිත කළ වෙනත් දුරකථන, බිරිඳ ටානි ෂාෆ්ටර්ගේ දුරකථන, බ්‍රයන් තෝමස්ගේ දුරකථනය, ඝාතනය සිදුවූ බොරැල්ල කනත්ත අවට දුරකථන පද්ධති, ඝාතනය සිදු වීමට පෙර සතිය තුළ දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන වලට වැඩියෙන්ම ඇමතුම් ලබා ගෙන ඇති පුද්ගලයන්ගේ දුරකථන දත්ත පද්ධතිය , බොරැල්ල කනත්තේදී එම ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව එම ස්ථානයට බිරිඳ ටානී ෂාෆ්ටර්ගේ දැනුම්දීම මත පැමිණි ජනශක්ති ආයතනයේ විධායක නිලධාරි ක්‍රිස් පෙරේරාගේ ජංගම දුරකථනය පරීක්ෂණයට භාජන කිරීම අනිවාර්ය දෙයකි.

බිරිඳ ප්‍රකාශ කරන්නේ සිය ස්වාමි පුරුෂයා වූ දිනේෂ් ෂාෆ්ටර් නිවසින් පිට වී ගිය පසු ජංගම දුරකථන අංකයට ඇමතුම් ලබා ගත්තද ,එය ක්‍රියා විරහිත කර තිබූ බැවින් ඒ ගැන කරුණු ජී.පී .එස් තාක්ෂණය ඔස්සේ සොයා බැලීමේදී ඔහුගේ වාහනය බොරැල්ල කනත්ත තුළ තිබෙන බවට දිස් වූ බවය.

ඉන් පසුව එම ස්ථානයට එය සොයා බැලීමට ආයතනයේ විධායක නිලධාරී ක්‍රිස් පෙරේරාව යැවූ පසු දිනේෂ් ෂාෆ්ටර් මෙලෙස කෲර වධහිංසාවට ලක් වී රථය තුළ සිටි නිසා එම නිලධාරීයා කනත්තේ සේවකයකු සමග ඔහුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 2022 දෙසැම්බර් මස 15 වැනිදා රාත්‍රී 11 ට පමණ මිය ගිය බවය.

බිරිඳ කියන මෙම කතාව නිවැරදිද පමණක් නොව, බිරිඳ සහ ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් අතර තිබූ පවූල් සම්බන්ධයට අදාළ කරුණු පිළිබඳවද විමර්ශන අංශ අවධානය යොමු කළ යුතුය.

සැමියා පිළිබඳ කරුණු සොයා බැලීමට ක්‍රිස් පෙරේරා නමැති නිලධාරියාවම තෝරා ගැනීමට බිරිඳ කටයුතු කළේ ඇයි ? ඒ සඳහා වෙනත් අයෙක් සිටියේ නැද්ද ? නැත්නම් ඊට සුදුසුම සහ විශ්වාසවන්තම පුද්ගලයා මෙම නිලධාරියා ද ? ඊට හේතුව කුමක්ද ?

එපමණක් නොව, මෙම නිලධාරියා කනත්ත අසලින් ඇති මාර්ගයේ ගමන් කරමින් සිටියදී කනත්ත ඇතුළත ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය තිබෙන බව දැක තිබේ. ඒ අනුව ඔහු එතැනට ගිය විට වධබන්ධනයට ලක්ව සිටි ඔහුගේ සිරුර දුටු බව එම නිලධාරියා කියන කතාවකි.

අප කවුරුත් දන්නා ආකාරයට කනත්ත වටා තාප්පයක් ඉදි කර ඇත. එබැවින් මාර්ගයේ යන අයකුට එකවිටම කනත්ත ඇතුළත වාහනයක් නවතා තිබෙන අයුරු නිසි ලෙස හඳුනා ගැනීමේ අපහසු තත්ත්වයක් ඇත. එවැනි ස්වභාවයක් තුළ මෙම නිලධාරියා එම වාහනය එකවිටම හදුනා ගත්තේ කෙසේද ?

එබැවින් මෙම කරුණු කෙරෙහිද පරීක්ෂණ අංශ අවධානය යොමු කළ යුතුය. සමහරවිට පරීක්ෂණ අංශ නොමග යැවීමට වෙනත් පිරිසක් විසින් යම් හේතුවක් මත මෙම ඝාතනය සිදුකර තවත් පිරිසක් පිටින් යැවීමට මෙවැනි සිදුවීම් තුළ කුමන්ත්‍රණ දියත් වීමට බැරි නැත. එහෙයින් මෙකී කරුණු කෙරෙහි පරීක්ෂණ අංශ නිසි අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතාමත් කාලෝචිතය.

ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ සභාපති දිනේෂ් ෂාෆ්ටර් කෝටිපති ව්‍යාපාරිකයෙක් මෙන්ම, තවත් ආයතන ගණනාවක විවිධ තනතුරු හොබවන ප්‍රබල චරිතයකි. එබැවින් ඔහුට පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සිටියේ නැද්ද ? ඔවුහු මෙම ගමනට සම්බන්ධ වූයේ නැද්ද ? ඊට හේතු මොනවාද ? ඝාතනයට ලක්වූ අයට පුද්ගලික රියැදුරෙක් නැද්ද ? ඔහු මෙම ගමනට සම්බන්ධ නොවුණේ ඇයි ? ඝාතනයට ලක්වූ අය තනියම රිය පදවාගෙන ගියේ ඇයි ? මේ ගැන විමර්ශන අංශ අවධානය යොමු කළ යුතුය.

එපමණක් නොව, මෙලෙස දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීමට බොරැල්ල කනත්ත තෝරා ගැනීමට ඝාතකයෝ උනන්දු වූයේ ඇයි? කනත්තේ සිටින කිසියම් අයකුගෙන් ඊට උදව් ලැබුණාද? උපක්‍රමශීලීව දිනේෂ් ෂාෆ්ටර්ව එතනට ගෙන්වා ගැනීමට කිසියම් කාන්තාවක් මැදිහත් වී තිබේද ? එම කාන්තාව හා ඝාතනයට ලක්වූ අය අතර තිබෙන සම්බන්ධය කුමක්ද ? එවැනි කාන්තාවක් සිටීනම් ඇය කවුද ? යන්න පරීක්ෂණ අංශ විමසිලිමත් විය යුතු නොවේද ?

එබැවින් මෙම ඝාතනය පිළිබඳ සැබෑ සහ බොහෝ තොරතුරු හෙළිදරව් කරගෙන අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම ඉතා වැදගත්ය.

බොරැල්ල කනත්ත අවට, ඝාතනයට ලක්වූ අයගේ නිවස අවට, ඝාතනයට ලක්වූ අය නිවසේ සිට බොරැල්ල කනත්ත දක්වා රථයෙන් පැමිණෙන අයුරු දැක්වෙන හා අතරමඟ වෙනත් යම් ස්ථානයකට යන්නේ නම් හමුවන පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට සී.සී.ටී.වී කැමරා පද්ධති පරික්ෂා කළ යුතුය.

මෙය තනි පුද්ගලයෙකු විසින් සිදුකළ ඝාතනයක් ලෙස සැලකීමට අපහසුය. අඩුම තරමින් මෙයට දෙදෙනෙක් සම්බන්ධ වී තිබිය හැකිය. මොහු ඝාතනය කිරීමට උත්සාහ කරනවිට මොහු කෑගැසුවේ නැද්ද ? එය අවට කිසිවෙකුටත් ඇසුනේ නැද්ද ? එයද ප්‍රශ්නයකි.

මෙය ක්ෂණිකව සිදුකළ අපරාධයක් නොව,කල්වේලා ඇතුව සැලසුම් කරන ලද ඝාතනයකි. මූදල් ආරවුලක් හෝ වෙනත් අපරාධමය සිද්ධියකට අදාළව මිනිසුන් මැරීමට ඝාතකයෝ බොහෝ දුරට අනුගමනය කරන ක්‍රියාමාර්ගය නම්, ක්ෂණික ප්‍රහාර දියත් කිරීමය. වෙඩි තබා ඝාතනය කිරීම ඊට අදාළ හොඳම නිදසුනකි.

නමුත් මෙහිදී අනුගමනය කර ඇත්තේ එවැනි ක්‍රමවේදයක් නොවේ, වයර් එකකින් ගෙල සිරකර මරා දැමීමකි. එවැනි දේවල් බොහෝ දුරට සිදුවන්නේ අතිශය පුද්ගලික සංවේදී කරුණුවලදීය. එසේනම් මෙය මුදල් ආරවුලක ඝාතනයක් නොවිය හැකිය. එය වෙනත් පුද්ගලික කරුණක ඝාතනයක් වීමට ඇති ඉඩකඩ වැඩිය.

විශ්වාස කරන ආකාරයට ඔහුගේ ඝාතනය සිදු වන්නට ඇත්තේ පස්වරු 2.30 ත් 3.15 ත් අතර කාලයේදී විය හැකිය. එම කාලපරිච්ඡේදයෙහි කනත්තට මියගිය අයගේ දේහයන් ආදාහනය කිරීමට රැගෙන එන බැවින් බොහෝ පිරිසක් තැන තැන කනත්තේ රැඳී සිටිනු ඇත.

ඔවුහු මෙය දැක්කේ නැද්ද ? කෑගැසීමක් සිදු වූයේ නම්, එය එම පිරිස්වලට ඇසුනේ නැද්ද ? එසේ නොවේ නම්, මුහුණට කිසියම් රසායනික ද්‍රව්‍යයක් අල්ලා සිහි මුර්ජා කර ඔහුව කෲර ලෙස වධ බන්ධනයට ලක්කර මිය යෑමට ඉඩ සැළැස්සූවා ද ? යන්න මරණ පරීක්ෂණ වාර්තා හරහා එළිදරව් කළ ගත යුතුය.

මෙය ආවට ගියාට සිදුවූ ඝාතනයක් නොව, ඉතාමත් සැලසුම්සහගතව සිදුවූ දෙයකි. මෙම අපරාධයට බ්‍රයන් තෝමස් සම්බන්ධ බවට විශ්වාස කළ හැකිද ? ඔහු සමග මුදල් ආරවුලක් තිබූ බැවින්, යම් හෙයකින් දිනේෂ් ෂාෆ්ටර්ව ඔහුගේ අනුදැනුම මත ඝාතනය කළහොත්, අනිවාර්යෙන්ම ඔහුව අසුවන බව ඔහු නොදන්නෙහිද ? එසේ නම්, ඔහු එවැනි දෙයක් කරයිද ?

මෙම ඝාතනය බ්‍රයන් තෝමස් ගෙන් බැහැරව සිදු වූ දෙයක් විය නොහැකිද ? ඔහුව අසුවීමට වෙනත් අයෙක් සිදු කළ දෙයක් විය නොහැකිද ? දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ ප්‍රශ්නයක් මත සිදුවිය හැකි දෙයක් විය නොහැකිද ? ඒ පිටුපස කාන්තාවක් නැද්ද ?

ආරක්ෂක අංශවල උකුසු ඇසට ලෙහෙසි පහසුවෙන් හසු නොවන ආකාරයට මෙම අපරාධය සිදු කිරීමට අපරාධකරුවන්ට ආරක්ෂක අංශ අයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලැබුණාද යන්නද සැකයකි. එබැවින් අවසානයේ සැබෑ ඝාතකයා වෙනුවට වෙනත් අයකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සැබෑ පුද්ගලයන් ආරක්ෂා කිරීමට ද බැරි නැත.

මන්ද, එම අපරාධයට හවුල් බවට දැනට චෝදනා එල්ලවී ඇති බ්‍රයන් තෝමස් විසින් සිදුකරන ලද මූල්‍ය වංචා පිටුපස අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනෙක් සිටින බවට මේ වනවිටත් කරුණු ඉස්මතු වී ඇති බැවිනි.

නමුත් පරීක්ෂණ අංශ ඒ පසුපසම නොගොස්, අප ඉහතින් දක්වා ඇති කරුණු ඔස්සේ ද අවධානය යොමුකර විමර්ශන සිදුකිරීම වැදගත්ය. මෙම අපරාධය සිදු කිරීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ පුද්ගලයා කවුද යන්න නිශ්චිත වශයෙන්ම මේ වනවිට තවමත් කරුණු ප්‍රකාශ කිරීමට අපහසුය. විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ පවත්වා සැබෑ ඝාතකයා කවුද යන්න නිශ්චිත වශයෙන් අනාවරණය කරගත යුතුය.

ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් ලංකාවේ සිටින ප්‍රධාන කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු විවිධ පුද්ගලයන් සමග විවිධ ගනුදෙනු සිදු කර ඇත.ඒ තුළ විවිධ ප්‍රශ්නකාරී සිදුවීම් ද සිදු වී ඇත. එවැනි අර්බුදකාරී කරුණක් මත මෙම ඝාතනය සිදු වූවාද ? මා නම් විශ්වාස කරනුයේ කවුරුත් බලාපොරොත්තු නොවූ ස්ථානයකින් ඝාතකයාගේ සැබෑව ඉස්මතු වන බවය.

ඒ සඳහා හොඳම සාක්ෂි සපයනු ලබන්නේ එකිනෙකා අතර හුවමාරු වූ දුරකථන ඇමතුම්, සී.සී.ටී.වී දත්ත පද්ධතිය, ඇඟිලි සලකුණු, ඩී.එන්.ඒ. පරීක්ෂණ,හා කිහිප දෙනෙකු මේ වනවිට ලබාදී ඇති පරස්පර විරෝධී මාධ්‍ය හා පරීක්ෂණ සාක්ෂි ප්‍රකාශනයන්ය. ඒ තුළින් ඉස්මතු වන කරුණු වලින් හැඟෙන්නේ ඝාතකයා සිටින්නේ පිටස්තර සමාජයේ වුවත්, එහි නිර්මාපකයන් ඇතුළත තාමත් සිටින බවය.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන්නේ ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ය. ඔහු ඊට අදාළ ඉතාමත් වැදගත් සාක්ෂියක් බැඳුම්කර වංචාවේ ජනාධිපති විමර්ශන කොමිසමට පවා ලබාදී ඇත.

2015 පෙබරවාරි මස 28 වැනිදා මූලික වශයෙන් සිදු කරන ලද එම මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධානියා කවුද? රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ වංචාව අදටත් යට ගසාගෙන සිටින්නේ ඔහුය. එම වංචාවට හවුල් හිටපු මහ බැංකු අධිපති අර්ජුන ඇලෝසියස් රටින් පිටුවහල් කර ඔහුට රැකවරණ සැපයූයේ රනිල් වික්‍රමසිංහය.

එම බැංකු වංචාවේ යටගිය කරුණු හෙළිදරව් කළ දිනේෂ් ෂාෆ්ටර් ඉතාමත් අභිරහස් ලෙස මෙලෙස ඝාතනයට ලක් වී ඇත. එයාර් ලංකා බස් ගනුදෙනුව හෙළිදරව් කළ මිහින් ලංකා ආයතනයේ සහ ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයේ කළමනාකරුවකු වූ රජිව් ජයවීරව 2020 ජුනි 12 වැනිදා අභිරහස් ලෙස කොළඹ 7 ,නිදහස් චතුරශ්‍රයේ දී ඝාතනයට ලක්වී තිබිණි.

එය ඔහු විසින්ම සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසා ගත් එකක් බවට පොලිසිය ප්‍රකාශ කළේය. සිය නිවසේ සිට කිලෝමීටර් කීපයක් දුර ගෙවා පයින්ම එම ස්ථානයට පැමිණ ඔහු සිය ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමට තරම් උනන්දුවීමම ප්‍රශ්නයකි.

ඊට අදාළ සීසීටීවී දර්ශන, දුරකථන පද්ධති විස්තර අදටත් පොලීසිය සඟවා තබා ඇත. අභිරහස් ලෙස සිදු වූ එම ඝාතනය අදටත් බරපතළ සැකයෙකි. බැඳුම්කර වංචාවේ සාක්කිකරුවෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ද අද මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් තිබීම අපට සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ.

ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයකු වන රමේෂ් ෂාෆ්ටර් සමාජ මාධ්‍ය ජාලා හරහා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙහි සැබෑම අපරාධකරුවන් කවුද යන්න පරීක්ෂණ වලින් නිශ්චිත වශයෙන් කරුණු හෙළි වනතුරු හැඟීම් වලට අදාළ කරුණු හෙළිදරව් කිරීමෙන් ප්‍රවේශම් වන ලෙස ය.

ඔහු නිකුත් කරන ලද එම නිවේදනය තුළ බොහෝ කරුණු ගැබ්වී ඇත. එය බුද්ධිමත්ව විමර්ශනයට භාජන කළ යුතු දෙයකි. මා විශ්වාස කරන ආකාරයට ඒ තුළින් ද ඝාතනයේ දිසාව වෙනස් මගක ඇති බව ඔහුගේ නිරීක්ෂණය වී ඇත. ඒ තුළින් අපිට සිතීමට බොහෝ දේවල් ඔහු විසින් මතු කර ඇති බව හැඟේ.

එබැවින් මා යළිත් ප්‍රකාශ කර සිටින්නේ මෙම අපරාධ ඝාතකයා වෙනත් දිශාවකින් මතුවීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බවකි. එය බොහෝ දුරට මුදල් ගනුදෙනුවක් විය නොහැකිය. මෙම ඝාතනය වටා ප්‍රේම සබඳතාවක්, පවුල් ආරවුලක්, සමලිංගික ප්‍රශ්නයක් හෝ අනියම් ප්‍රේමයක් වටා ගෙතුණු සිදුවීමක් බවට ඇති සැකය ඉතා විශාලය.

ඊට අදාළ හොඳම සාක්ෂි ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනය, නිවසේ සේවය කළ සේවක සේවිකාවන්ගේ සාක්ෂි, පුද්ගලික රියැදුරාගේ සහ ඔහුට සමීපව ආරක්ෂාව සැපයූ ආරක්ෂක භටයන්ගේ සාක්ෂි, ඔහුගේ පුද්ගලික ලේකම්ගේ සාක්ෂි,ඔහු ගත කළ පවුල් ජීවිතය, බිරිඳගේ හා විධායක නිලධාරී ක්‍රිස් පෙරේරාගේ දුරකථනය ,මෙම අපරාධය පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කර ලබා ගන්නා තොරතුරු, ඒවායෙන් මතුවන පරස්පර විරෝධී තැන් පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී ලබා ගන්නා කරුණු යනාදිය ඉතාමත් වැදගත් සාධකයක් වනු ඇත.

මා විශ්වාස කරන ආකාරයට මේ අපරාධය තුළ ඇති වැදගත්ම ප්‍රශ්න කිරීම සිදුකළ යුත්තේ ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ හා විධායක නිලධාරී ක්‍රිස් පෙරේරාය. ඔවුන්ගේ ජංගම දුරකථන, අමතර සිම්කාඩ්පත් හුවමාරු වී ඇත්නම්, ඒවා වැදගත් සාධක ලෙස සැලකිය යුතුය.

එම අපරාධ පිළිබඳව අපරාධ විශ්ලේෂකයෝ, විවිධ සමාජ තරාතිරම් වලට අයත් පුද්ගලයෝ, ජනමාධ්‍ය මොන කරුණු කාරණා සමාජය තුළ ගෙනහැර දැක්වූවද, මා නම් ප්‍රකාශ කරන්නේ මුදල් ගනුදෙනුවකට එහා ගිය වෙනත් අතිශය පුද්ගලික කරුණක් හේතු කොටගෙන මෙම මිනීමැරුම සිදුකරන්නට ඇති බවය.

එබැවින් මුදල් ගනුදෙනු කෙරෙහි අවධානය යොමු කරනවා සේම,මෙම අපරාදයේ සමස්ත සිද්ධියම නිවැරදි ආකාරයට ඉතාමත් සූක්ෂම ලෙස පරීක්ෂණයට භාජන කර ඒ ගැන වැඩිදුර විමර්ශනය කර නිසි නිගමනයකට එළඹුණහොත්, මා විසින් මේ කරන හෙළිදරව්ව බොහෝදුරට නිවැරැදි වී සැබෑ අපරාධකරුවන් හා ඔවුන්ට අනුබල දුන්නේ කවුද යන්න සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

ශ්‍රී ලාල් ප්‍රියන්ත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.