දිනේෂ් ෂාප්ටර්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හා සභාපති දිනේෂ් ෂාෆ්ටර්ව ඉතාමත් අභිරහස් ලෙස ඝාතනය කිරීම පිටුපස සිදු වූ මුදල් ගනුදෙනුවට අදාළව ඇමතිවරයෙක්, ඔහුගේ පුතෙක්, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හා පාතාලයට සම්බන්ධ කරුණු රාශියක් ඉස්මතු වී ඇත.

විජේදාස රාජපක්ෂ

නමුත් ඒ සියලුම කරුණු විමර්ශනයට භාජන කිරීමේ නොහැකි තත්වයක් උදා වී ඇත්තේ, එසේ වූවවොත්, ඝාතනයට සෘජු ලෙසම සම්බන්ධ වී ඇති මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමේ නොහැකි තත්වයක් උදාවන බැවිනි.

එබැවින් ඇමති සහ ඔහුගේ පුතා සම්බන්ධ කරුණු ඉවත්කර එතැනින් පහළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ස්වභාවයකට යෑමට සිදුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් බුද්ධි නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළ ආකාරයට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ හා ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් එකතු වී මහා පරිමාණයේ කළු සල්ලි ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇත.

එයට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හා සභාපති දිනේෂ් ෂාෆ්ටර්වද සම්බන්ධ කර ගැනීම සඳහා ඔහුගෙන්ද ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් රුපියල් ලක්ෂ 14,300 ක් ලබාගෙන තිබේ. නමුත් ඊට අදාළ පොලිය හෝ අදාළ මුදල් ආපසු බ්‍රයන් තෝමස් විසින් දිනේෂ් ෂාෆ්ටර්ට ලබාදීම මග හැර ඇත.

එකී මුදල් ඔහුගෙන් ලබා ගැනීමට දිනේෂ් ෂාෆ්ටර් විශාල උත්සාහයක් දරා ඇතත්, එය ව්‍යවර්ථ වූ තැන ඔහු 2019 මාර්තු මස 20 වැනිදා මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි කර ඇත.  ණය මුදලක් ලෙස එකී මුදල් ලබාගෙන බ්‍රයන් තෝමස් එය නොදී මඟ හැර ඇති බව එම පැමිණිල්ල මගින් කියා සිටින දෙයකි.

ඒ වනවිට පැවතියේ මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවකි. එහි අධිකරණ ඇමැති ධුරය විජේදාස රාජපක්ෂ විසින් දැරූ බැවින් රහස් පොලීසියද මෙම සිද්ධිය පිළිබඳව ඉක්මන් විමර්ශනයක් සිදුකර විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට අතපසු කරමින් සිට ඇත්තේ විජේදාස රාජපක්ෂගේ බලපෑම් හේතුකොට ගෙනය.

බ්‍රයන් තෝමස්

පසුව 2019 නොවැම්බර් මස 16 වන දින යහපාලන ආණ්ඩුව බිඳ වැටී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්විය. විජේදාස රාජපක්ෂ ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එකතු වුවද ,ඔවූන් දෙදෙනා අතරද බරපතළ විරසකකම් ඇති විය.

විජේදාස රාජපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ගෝඨාභය රාජපක්ෂව විවේචනය කළ අතර ඉන් දැඩි විරසකයට පත් ගෝඨාභය රාජපක්ෂ දුරකථන මගින් විජේදාස රාජපක්ෂට බරපතළ ලෙස බැණ වැදුණු බවටද කරුණු ඉස්මතු විය.

මේ ස්වභාවය තුළ යට ගොස් තිබුණු විජේදාස රාජපක්ෂ හා පුතු රඛිත රාජපක්ෂ සම්බන්ධ වී ඔවුන්ගේ බලපෑමෙන් යටපත් වී තිබූ බ්‍රයන් තෝමස් සිදුකළ රුපියල් ලක්ෂ 14,300කට අදාල දිනේෂ් ෂාෆ්ටර්ගේ පැමිණිලි විභාග කිරීමට රහස් පොලීසිය කඩිනම් විය.

ඒ අනුව රහස් පොලීසිය 2021 පෙබරවාරි මස 14 වන දින බ්‍රයන් තෝමස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම නඩුව විභාග වෙමින් තිබියදී, දිනේෂ් ෂාෆ්ටර්ව ඉතාමත් සහාසික ලෙස ඝාතනය කිරීම බරපතළ ප්‍රශ්නයකි.

වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව තුළ අධිකරණ ඇමතිධුරය දරන විජේදාස රාජපක්ෂ මෙන්ම, ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ, ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් එක්ව සිදුකරන ලද කළු සල්ලි ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙස පාතාල ලෝකයේ අපරාධ කණ්ඩායමක් හරහා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සිදුකළාද? නැත්නම් වෙනත් සිද්ධියක් ඊට පාදක වී ඇත්ද? යන්න සැක කරන බව අප වෙත තොරතුරු සැපයූ පොලිස් බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළ දෙයකි.

එහෙත් මෙම ඝාතනයට ආණ්ඩුවේ ඇමතිවරයෙක්, පුතෙක් සහ බලවත් අය සම්බන්ධ වී තිබෙන බවට නිශ්චිත වශයෙන් කරුණු හෙළිදරව් වුවවොත්, ඒවා පිළිබඳව විමර්ශන සටහන් නොදා, ඝාතනය සිදුකළ පහළ මට්ටමේ පුද්ගලයන් සහ අපරාධකරුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔවුන් පමණක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවන බව එම නිලධාරියා කීය.

එමගින් වක්‍ර වශයෙන් ඝාතනයට සම්බන්ධ සහ අනුබල දුන් බලවතුන්ට තවදුරටත් නිදැල්ලේ හැසිරීමට සිදුවන බවද එම නිලධාරියා පවසා සිටියේය.

රකිත රාජපක්ෂ

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධිපති සහ  ග්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුතෙකු වන ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් 1971 උපත ලැබූ අයෙකි. කොළඹ 7, මල් පාරේ පදිංචිව සිටි ඔහු 2022 දෙසැම්බර් මස 15 වැනිදා පස්වරු 2 ට පමණ WP – KY 8732 අංක දරන මෝටර් රථය පදවා නිවසින් පිටවී ගොස් ඇත්තේ තමන්ගෙන් ලබාගත් මුදල් බ්‍රයන් තෝමස් ( බී.ටී ) ගෙන් ලබාගැනීම සඳහා ඔහු සමග සාකච්ඡාවකට පිටත් වී යන බව සිය බිරිද වන ටානී ෂාෆ්ටර්ට ප්‍රකාශ කරමිනි.

නමුත් එම ප්‍රකාශය ඉතාමත් සැක සහිත දෙයකි. එනම්, රුපියල් ලක්ෂ 14,300කට අදාළ එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන පසුබිමක් තුළ එකී මුදල් ලබා ගැනීමට බ්‍රයන් තෝමස් හමුවීම සඳහා සාකච්ඡාවකට යනවා යැයි, බිරිඳට ප්‍රකාශ කර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති බැවින් පරීක්ෂණ අංශ ඒ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

නඩුවක් විභාග වෙමින් තිබියදී මෙලෙස අතරමග ඔවුන් අතර සාකච්ඡාවක් තිබිය හැකිද ? තිබුණා නම්, එම හමුවීමට අදාළ සම්බන්ධීකරණය සිදු වූයේ කෙසේද? කිසියම් අතරමැදි පුද්ගලයෙක් හරහාද? එසේ නැත්නම්, ඔවුනොවුන් දුරකථනය හරහා කතාබස් කරගත් දෙයක්ද? අතරමැදියෙක් සම්බන්ධ වූයේ නම්, ඔහු හෝ ඇය කවුද? යන්න හා ඊට අදාළ තවත් කරුණු පරීක්ෂණයට භාජන කළ යුතුය.

විශේෂයෙන්ම දිනේෂ් ෂාෆ්ටර්ගේ පුද්ගලික ජංගම දුරකථනය හා ඔහු භාවිත කළ වෙනත් දුරකථන, බිරිඳ ටානි ෂාෆ්ටර්ගේ දුරකථන, බ්‍රයන් තෝමස්ගේ දුරකථනය, ඝාතනය සිදුවූ බොරැල්ල කනත්ත අවට දුරකථන පද්ධති, ඝාතනය සිදු වීමට පෙර සතිය තුළ දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථන වලට වැඩියෙන්ම ඇමතුම් ලබා ගෙන ඇති පුද්ගලයන්ගේ දුරකථන දත්ත පද්ධතිය , බොරැල්ල කනත්තේදී එම ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව එම ස්ථානයට බිරිඳ ටානී ෂාෆ්ටර්ගේ දැනුම්දීම මත පැමිණි ජනශක්ති ආයතනයේ නිලධාරියාගේ ජංගම දුරකථනය පරීක්ෂණයට භාජන කිරීම අනිවාර්ය දෙයකි.

බිරිඳ ප්‍රකාශ කරන්නේ සිය ස්වාමි පුරුෂයා වූ දිනේෂ් ෂාෆ්ටර් නිවසින් පිට වී ගිය පසු ජංගම දුරකථන අංකයට ඇමතුම් ලබා ගත්තද ,එය ක්‍රියා විරහිත කර තිබූ බැවින් ඒ ගැන කරුණු ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ සොයා බැලීමේදී ඔහුගේ වාහනය බොරැල්ල කනත්ත තුළ තිබෙන බවට දිස් වූ බවය.

ඉන් පසුව ඒ පිළිබඳ සොයා බැලීමට එම ස්ථානයට ආයතනයේ නිලධාරියෙක් යැවූ පසු දිනේෂ්  ෂාෆ්ටර්  මෙලෙස කෲර වධහිංසාවට ලක් වී රථය තුළ සිටි නිසා එම නිලධාරීයා කනත්තේ සේවකයකු සමග ඹහුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 2022 දෙසැම්බර් මස 15 වැනි දින රාත්‍රී 11.00 ට පමණ මිය ගිය බවය.

බිරිඳ කියන මෙම කතාව නිවැරදිද පමණක් නොව, බිරිඳ සහ ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් අතර තිබූ පවුල්  සම්බන්ධයට අදාළ කරුණු පිළිබඳවද විමර්ශන අංශ අවධානය යොමු කර ඇති බව අප වෙත කරුණු සැලකර සිටි පොලිස් නිලධාරියා කී දෙයකි.

සැමියා පිළිබඳ කරුණු සොයා බැලීමට මෙම නිලධාරියාවම තෝරා ගැනීමට බිරිඳ කටයුතු කළේ ඇයි ? ඒ සඳහා වෙනත් අයෙක් සිටියේ නැද්ද ? නැත්නම් ඊට සුදුසුම සහ විශ්වාසවන්තම පුද්ගලයා මෙම නිලධාරියාද? ඊට හේතුව කුමක්ද?

එපමණක් නොව, මෙම නිලධාරියා කනත්ත අසලින් ඇති මාර්ගයේ ගමන් කරමින් සිටියදී කනත්ත ඇතුළත ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය තිබෙන බව දැක තිබේ. ඒ අනුව ඔහු එතැනට ගිය විට වධබන්ධනයට ලක්ව සිටි ඔහුගේ සිරුර දුටු බව එම නිලධාරියා කියන කතාවකි.

අප කවුරුත් දන්නා ආකාරයට කනත්ත වටා තාප්පයක් ඉදි කර ඇත. එබැවින් මාර්ගයේ යන අයකුට එකවිටම කනත්ත ඇතුළත වාහනයක් නවතා තිබෙන අයුරු නිසි ලෙස හඳුනා ගැනීමේ අපහසු තත්ත්වයක් ඇත. එවැනි ස්වභාවයක් තුළ මෙම නිලධාරියා එම වාහනය එකවිටම හඳුනා ගත්තේ කෙසේද? 

එබැවින් මෙම කරුණු කෙරෙහිද පරීක්ෂණ අංශ අවධානය යොමු කළ යුතුය. සමහරවිට පරීක්ෂණ අංශ නොමග යැවීමට වෙනත් පිරිසක් විසින් යම් හේතුවක් මත මෙම ඝාතනය සිදුකර තවත් පිරිසක් පිටින් යැවීමට මෙවැනි සිදුවීම් තුළ කුමන්ත්‍රණ දියත් වීමට බැරි නැත. එහෙයින් මෙකී කරුණු කෙරෙහි පරීක්ෂණ අංශ නිසි අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතාමත් කාලෝචිතය.

ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ සභාපති දිනේෂ් ෂාෆ්ටර් කෝටිපති ව්‍යාපාරිකයෙක් මෙන්ම, තවත් ආයතන ගණනාවක විවිධ තනතුරු හොබවන ප්‍රබල චරිතයකි. එබැවින් ඔහුට පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සිටියේ නැද්ද? ඔවුහු මෙම ගමනට සම්බන්ධ වූයේ නැද්ද ? ඊට හේතු මොනවාද ? ඝාතනයට ලක්වූ අයට පුද්ගලික රියැදුරෙක් නැද්ද ? ඔහු මෙම ගමනට සම්බන්ධ නොවුණේ ඇයි? ඝාතනයට ලක්වූ අය තනියම රිය පදවාගෙන ගියේ ඇයි ? මේ ගැන විමර්ශන අංශ අවධානය යොමු කළ යුතුය.

එපමණක් නොව, මෙලෙස දිනේෂ් ෂාෆ්ටර්ව ඝාතනය කිරීමට බොරැල්ල කනත්ත තෝරා ගැනීමට ඝාතකයෝ උනන්දු වූයේ ඇයි? කනත්තේ සිටින කිසියම් අයකුගෙන් ඊට උදව් ලැබුණාද? උපක්‍රමශීලීව දිනේෂ් ෂාෆ්ටර්ව එතනට ගෙන්වා ගැනීමට කිසියම් කාන්තාවක් මැදිහත් වී තිබේද ? එම කාන්තාව හා ඝාතනයට ලක්වූ අය අතර තිබෙන සම්බන්ධය කුමක්ද ? එවැනි කාන්තාවක් සිටීනම් ඇය කවුද ? යන්න පරීක්ෂණ අංශ විමසිලිමත් විය යුතු නොවේද? 

එබැවින් මෙම ඝාතනය පිළිබඳව සැබෑ සහ බොහෝ තොරතුරු හෙළිදරව් කරගෙන අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම ඉතා වැදගත්ය. 

බොරැල්ල කනත්ත අවට, ඝාතනයට ලක්වූ අයගේ නිවස අවට, ඝාතනයට ලක්වූ අය නිවසේ සිට බොරැල්ල කනත්ත දක්වා රථයෙන් පැමිණෙන අයුරු දැක්වෙන හා අතරමඟ වෙනත් යම් ස්ථානයකට යන්නේ නම් හමුවන පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට සී.සී.ටී.වී කැමරා පද්ධති පරික්ෂා කළ යුතුය.

මෙය තනි පුද්ගලයෙකු විසින් සිදුකළ ඝාතනයක් ලෙස සැලකීමට අපහසුය. අඩුම තරමින් මෙයට දෙදෙනෙක් සම්බන්ධ වී තිබිය හැකිය. මොහු ඝාතනය කිරීමට උත්සාහ කරනවිට මොහු කෑගැසුවේ නැද්ද ? එය අවට කිසිවෙකුටත් ඇසුනේ නැද්ද ? එයද ප්‍රශ්නයකි.

විශ්වාස කරන ආකාරයට ඔහුගේ ඝාතනය සිදු වන්නට ඇත්තේ පස්වරු 2.30 – 3 ත් අතර කාලයේදී විය හැකිය. එම කාලපරිච්ඡේදය තුළ කනත්තට මියගිය අයගේ දේහයන් ආදාහනය කිරීමට රැගෙන එන බැවින් බොහෝ පිරිසක් තැන තැන කනත්තේ රැඳී සිටිනු ඇත.

ඔවුහු මෙය දැක්කේ නැද්ද ? කෑගැසීමක් සිදු වූයේ නම්, එය එම පිරිස්වලට ඇසුනේ නැද්ද ? එසේ නොවේ නම්, මුහුණට කිසියම් රසායනික ද්‍රව්‍යයක් අල්ලා සිහි මුර්ජා කර ඔහුව කෲර ලෙස වධබන්ධනයට ලක්කර මිය යෑමට ඉඩ සැළැස්සූවා ද? යන්න මරණ පරීක්ෂණ වාර්තා හරහා එළිදරව් කළ ගත යුතුය.

මෙය ආවට ගියාට සිදුවූ ඝාතනයක් නොව, ඉතාමත් සැලසුම්සහගතව සිදුවූ දෙයකි. සමහරවිට මෙම ඝාතනයේ අපරාධකරුවන්ට ආරක්ෂක අංශ අයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලැබුණාද යන්නද සැකයකි. එබැවින් අවසානයේ සැබෑ ඝාතකයා වෙනුවට වෙනත් අයකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සැබෑ පුද්ගලයන් ආරක්ෂා කිරීමට ද බැරි නැත. 

මන්ද, එම අපරාධයට හවුල් බවට දැනට චෝදනා එල්ලවී ඇති බ්‍රයන් තෝමස් විසින් සිදුකරන ලද මූල්‍ය වංචා පිටුපස අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනෙක් සිටින බවට මේ වනවිටත් කරුණු ඉස්මතු වී ඇති බැවිනි.

ග්‍රී ලාල් ප්‍රියන්ත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.