යුද හමුදාවේ උසස් නිලධාරීන් සඳහා ලබාදීමට වෙන්කර තිබූ නිවාස 51 ක් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන පියවර ගැනීම පිළිබඳව හමුදා නිලධාරීහු දැඩි කැළඹීමකට ලක්ව සිටිති.
කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර රටට සාමය ළඟා කර දුන් තමන්ට මෙලෙස සැලකීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කිරීම ඉතාමත් පිළිකුල්සහගත නින්දිත ක්‍රියාවක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක් පවසා සිටියේය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම නිවාස ලබාගැනීමට යුද හමුදා නිලධාරීන් 51දෙනෙකුට අදාළව රුපියල් ලක්ෂ 6,767 ක මුදලක් එම අධිකාරියට ගෙවා තිබියදීත්, ඒ කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා ඉතාමත් හිතුවක්කාරී ආකාරයට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එම නිවාස ලබාදීමෙන් තමන්ට ලොකු අසාධාරණයක් කර ඇති බව එම නිලධාරියා කීය.
පන්නිපිටිය, වීර මාවතේ පිහිටි වියත්පුර සුපිරි නිවාස සංකීර්ණයේ “ඒ ” ගොඩනැගිල්ලේ පිහිටි මෙම නිවාස වෙනුවෙන් 2021 දෙසැම්බර් මස 31 වැනි දින රුපියල් 500,000,000ක්ද, 2022 ජූලි මස 29 වැනි දින රුපියල් 100,000,000ක්ද, 2022 අගෝස්තු මස 31 වැනිදා රුපියල් 76,000,000ක්ද යනාදී ආකාරයට හමුදා නිලධාරීන් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හරහා නාගරික සංවර්ධන අධිකාරියට අදාළ මුදල් ගෙවා ඇත.

එලෙස ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් 676,700,000කි. එහෙත් තවත් රුපියල් 8,300ක හිඟ මුදලක් තිබී ඇති අතර එය වහාම ගෙවන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ දේපොළ හා ඉඩම් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. පියශාන්ත 2022 ඔක්තෝබර් මස 17 වැනිදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ තාක්ෂණ අංශයේ අතිරේක ලේකම් එස්.ජී. ආර්. කේ.ආර් .සෙනෙවිරත්නට දැනුම් දී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය මගින් 2022 සැත්තැම්බර් මස 13 වැනි දින නාගරික සංවර්ධන අධිකාරියට යොමු කරන ලද TEC/DGQC/UDA Housing units / 2022 (59) අංක දරන ලිපියට පිළිතුරු සපයමින් නාගරික සංවර්ධන අධිකාරියේ දේපොළ හා ඉඩම් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. පියශාන්තගේ ලිපියකට අනුව මෙම කරුණු අනාවරණය වෙයි.

මේ ආකාරයට යුද හමුදා නිලධාරීන් 51 දෙනෙක් වෙනුවෙන් පන්නිපිටිය, වීර මාවතේ ,වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට මුදල් ද ලබාදී තිබියදී, ඒ කෙරෙහි කිසිදු අවධානයක් නොදක්වා ඉතාමත් හිතුවක්කාරී ආකාරයට එකී නිවාස ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 51 දෙනෙකුට ලබා දුන්නේ ඇයිද යන්න එම හමුදා ප්‍රධානීහු ප්‍රශ්න කරති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත්වී අගමැති දිනේෂ් ගුණවර්ධන මාර්ගයෙන් මීට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත. ඒ 2022 ජූනි මස 27 වැනිදාය. “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වියත්පූර නිවාස ව්‍යාපෘතියෙන් කුලී පදනම මත නිවාස ලබාදීම ” යන සිරස්තලය යටතේ මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ 2022 ජූලි මස 4 වැනිදාය. අ.ම.ප./22/0856/520/003-1 අංක දරන කැබිනට් පත්‍රිකාව පරික්ෂා කිරීමේ දී එය පැහැදිලි වනු ඇත. මෙම කරුණු අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජී .ප්‍රනාන්දු 2022 ජූලි මස 16 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායකට රහසිගතව දැනුම් දී ඇත. ඒ මගේ අංක අ.ම.ප./22/0970/502/019 දරන ලිපිය මගිනි.
මුදල් ගෙවා තිබූ තමන්ගේ නිවාස ඉතාමත් අයුතු අසාධාරණ අසික්කිත ලෙස බලහත්කාරයෙන් මෙන් ලබාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලය හරහා මෙලෙස තමන්ට අයත් නිවාස ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 51 දෙනෙකුට ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකි අයුතුසහගත ක්‍රියාවක් බව හමුදා ප්‍රධානීහු ප්‍රකාශ කරති.
තමන්ගේ වටිනාකම හෑල්ලු කරමින් මෙම කරන ලද ක්‍රියාවට එරෙහිව දැඩි විරෝධය ප්‍රකාශ කරන බවද අප සමග අදහස් දැක්වූ එම හමුදා ප්‍රධානීහු කියා සිටියහ.
ශ්‍රීලාල් ප්‍රියන්ත