ලංකාවේ ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ව ඉතාමත් අභිරහස් ලෙස සැලසුම්සහගතව ඝාතනය කර මේ වනවිට දින 11ක් ගතවී ඇත. එහෙත් මෙම අපරාධය සිදුකළ ඝාතකයන් ගැන හෝ ඒ වටා දිවෙන නිශ්චිත තොරතුරක් නිවැරදි ආකාරයට හෙළිදරව් කර ගැනීමට රහස් පොලීසියට හැකියාව ලැබී නැත. එය ඉතාමත් බරපතළ ප්‍රශ්නයකි.

යම්කිසි අපරාධයක් සිදුකර අපරාධකරුවන්ට ලෙහෙසි පහසුවෙන් ගැලවී යෑමට නොහැක. එය අපරාධ පරීක්ෂණවල පිළිගත් සිද්ධාන්තයකි. ඕනෑම අපරාධයක් පිළිබඳව නිසි නිවැරදි පරීක්ෂණයක් සිදු කරන්නේ නම්, එහි සුලමුල සොයා ගැනීම එතරම් අපහසු නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා සුදුසු ඉතාමත් දක්ෂ පරීක්ෂකවරුන් පිරිසක්, ඊට අදාළව ඔවුන්ට අවශ්‍ය පහසුකම්, කිසිදු බලපෑමකින් තොරව පරීක්ෂණ පැවැත්වීමේ නිදහසය.

දිනේෂ් ෂාෆ්ටර්

එසේනම්,දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ කිසියම් බලපෑමක් හෝ පරීක්ෂණ හිතාමතා නොමග යෑමේ ස්වභාවයක් නිසාද යන ගැටලුව මතු වෙයි. එවැනි දෙයක් සිදුවන්නේ නම්, මෙම ඝාතනය තුළ ප්‍රබල අතපෙවීමක් සහ ප්‍රශ්නයක් තිබෙන බව අප අමතක නොකළ යුතුය.

කොළඹ ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් නමැති මුස්ලිම් ජාතිකයාගේ ඝාතනය අප කිසිවෙකුටත් තවමත් අමතක නැත. එම ඝාතනය සිදු වූයේ 2013 මැයි මස 22 වැනිදාය. එයට හවුල් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, පෑලියගොඩ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ධුරය දැරූ උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ කිසිදු බලපෑමකින් තොරව නිවැරදි දක්ෂ පරීක්ෂණයක් සිදු කළ බැවිනි.

එහිදී අනුගමනය කළ බලපෑමකින් තොරව දක්ෂ ලෙස විමර්ශනය කිරීමේ ස්වභාවය දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදුවන්නේද යන්න ඇත්තේ බරපතළ සැකයකි. පරීක්ෂණ අංශ විසින්ම මේ දින 11 තුළ විවිධ කරුණු ඉස්මතු කරමින් දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය විවිධ පැතිකඩවල් වලට තල්ලු කරමින් අවුල් ජාලයක් කිරීමට උත්සාහ කරන බවක් පෙනේ.

එයට ජනමාධ්‍යද වගකිව යුතුය. ජනමාධ්‍යවේදීන් නිතරම උත්සාහ කරන්නේ පොලීසිය ප්‍රකාශ කරන බොරුව මත යැපෙමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කර ජනතාව තුළ අවුල් වියවුල් තත්ත්වයක් ඇති කිරීමටය. නිවැරදි ආකාරයට නම්, සිදුවිය යුත්තේ පොලීසිය කුමන දේ ප්‍රකාශ කළද, ජනමාධ්‍යවේදීන් ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක නියැලෙමින් මෙහි යටගියාව සොයා ඉස්මතු කර පෙන්වීමටය. එහෙත් එවැනි දෙයක් සිදුවන්නේ ද නැත.

මොහොමඩ් සියාම් ඝාතනයේදීද මෙම තත්ත්වය තිබිණි. එම ඝාතනයට සමගාමීව “ලක්ෂාන් පීරිස්” නමැති මාධ්‍යවේදියෙක් ” දිවයින ” පුවත්පතේ ප්‍රවෘත්තියක් පළකර තිබිණි.” හඳපාන්ගලින් ගෙනා ගංජා කිලෝ 24ක් පෑලියගොඩ දී අත්අඩංගුවට ” යන්න එහි සිරස්තලය විය.

එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වූයේ ඇඹිලිපිටිය, හඳපානාගල සිට කොළඹට එළවළු, කොමඩු රැගෙනවිත් විකුණන මුවාවෙන් ගංජා ප්‍රවාහනයේ නියැලී සිටි පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 9ක් පමණ වටිනා ගංජා කිලෝ 24ක් සමග 2013 මැයි මස 22 වැනිදා අලුයම 4 ට පමණ පෑලියගොඩ නවලෝක වටරවුම අසල දී පෑලියගොඩ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවය.

එම ප්‍රවෘත්තිය පිළිබඳව මට විශාල ගැටලුවක් ඇතිවිය. එනම්, මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කළේ 2013 මැයි මස 22 වැනිදාය.එම ඝාතනයට අත්අඩංගුවට පත්වූයේ එම ගංජා වැටලීම සිදුකළ උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තිදෙනෙකි.

මගේ මූලික කරුණ වූයේ මොහොමඩ් සියාම් ඝාතනය කළ දිනම ගංජා වැටලීමක් මෙම පොලිස් නිලධාරීන් සිදු කර ඇති බැවින් ඔවුහු මෙම ඝාතනයට සම්බන්ධද ? නැද්ද ? යන ප්‍රශ්නයයි. එබැවින් මෙම ප්‍රශ්නය නිරවුල් කර ගැනීම සඳහා ගංජා වැටලීමට අදාළ පූර්ණ විමර්ශනයක යෙදීමට මට ඒ දිනවල සිදුවිය. එවිට මට එහි සැබෑ කතා වස්තුව එළිදරව් කර ගැනීමට හැකියාව ලැබිණි.

එනම්, උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු පොලිස් පිරිස මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කර එම පරීක්ෂණ නොමග යැවීමට එදිනම ඔවුහු ගංජා වැටලීමක නිරතවී සිටි බවට පුවත්පත් වලට ව්‍යාජ ප්‍රවෘත්තියක් ලබාදී තිබිණි.

සැබැවින්ම,මා විසින් හෙළිකර ගත් තොරතුරුවලට අනුව පෑලියගොඩ, නවලෝක වටරවුමේ දී කිසිදු ගංජා වැටලීමක් සිදු වී නැත. එය අමූලික පට්ටපල් බොරුවකි. පොලීසිය කළ තක්කඩි වැඩකි. එම පොලිස් පිරිස සිදුකර ඇත්තේ මොහොමඩ් සියාම් ඝාතනය කර එදිනම ඔවුහු ගංජා වැටලීමක නිරතවී සිටි බවට කතාවක් නිර්මාණය කර පුවත්පත් වලට ලබා දී පරීක්ෂණ අංශ නොමඟ යැවීමය.

ඔවුහු මෙවැනි කතාවක් නිර්මාණය කළද, එය සනාථ කිරීමට ගංජා තොග ඔවුන් සතුව තිබී නැත. එවිට ඔවුන් තීරණය කර ඇත්තේ ගංජා තොගයක් කෙසේ හෝ සොයා ගැනීමටය.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ අනුදැනුම සහ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගංජා තොග රැගෙන ඒමට ඇඹිලිපිටිය හඳපානාගල ප්‍රදේශයට යෑමට සැලසුම් කර ඇත.

ඒ අනුව ඔවුහු වාස් ගුණවර්ධන ගේ මැදිහත්වීම මත ඇඹිලිපිටියට යෑමට ජා-ඇළ පොලීසිය සතුව තිබූ ඩබ්ලිව්. පී. ඕ .කේ .0443 අංක දරන මෝටර් රථය ලබාගෙන ඇත. එමගින් උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ,පොලිස් කොස්තාපල්වරුන් වන කැලුම් ( 61816 ) සුජීව ( 66266 ) ඒකනායක ( 68249 ) සුසන්ත( 68662 ) ඩයස් ( 53572 ) හා විතානගේ ( 59932 ) යන නිලධාරීන් ඊට හවුල් වී ඇත.

ඔවුහු ප්‍රථමයෙන්ම ඇඹිලිපිටිය හඳපානගල ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හමුවී ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ බෙහෙත් සෑදීමට ගංජා තොගයක් මිලදී ගැනීමට පැමිණි බවය. එබැවින් තමන්ට ගංජා තොගයක් සොයා දෙන ලෙස ඔවුන්ට පවසා ඇත. මෙහි කිසිම නීතිවිරෝධී භාවයක් නැති බවත්, නීත්‍යනුකූල මට්ටමෙන් බලපත්‍ර ලබාගෙන සිදු කරන බැවින් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවද මෙම පොලිස් පිරිස එම ගම්වාසීන්ට කරුණු පැහැදිලි කර දී ඇත.

එම ව්‍යාජ කතා බස් වලට රැවටුණු අහිංසක ගම්වැසියෝද ආයුර්වේද ඖෂධ සංස්ථාවට බෙහෙත් සෑදීමට ප්‍රදේශයේ ඇවිදිමින් ගංජා එකතු කර සොයා දී ඇත. පසුව ඒවා ප්‍රවාහනය කිරීමට ඩීමෝ වර්ගයේ කුඩා ලොරි රථයක් ද ගම්වැසියකු ගෙන් ලබා ගෙන ඇත. එහි අංකය යූ .පී .ජේ.පී.9943 ය.

මෙම ගංජා තොගයේ මුදල් කොළඹින් ලබාගත යුතු බැවින් ඒවා රැගෙන කොළඹ යායුතු බව පොලිස් නිලධාරීන් ගම්වැසියන්ට ප්‍රකාශ කර ඇත. එවිට මෙහි මූලිකත්වය ගත් ගම්වැසියන් තිදෙනෙකු ගංජා තොගයත් රැගෙන ලොරි රථයෙන් කොළඹට ඒමට පැමිණ ඇත.

එහි රියැදුරා ලෙස ක්‍රියා කර ඇත්තේ ඇඹිලිපිටිය, හදපානාගල, උල්කන්ද හන්දිය, පොඩි කඩේ පාරේ පදිංචි ඊරියගහමුල්ල තැන්නගෙදර සුමනදාස නන්දසේනය.සෙසු දෙදෙනා ලෙස හඳපානාගල, කොහොඹ ගස් හංදියේ පදිංචි රන්පත්තිනි දේවගේ විල්බට් හා මුතුවරුෂලාගේ ප්‍රියන්ත යන දෙදෙනාය.

ඔවුන් පිරිස ගංජා තොගය රැගෙන ලොරි රථයෙන් ඉදිරියෙන් ගමන් කර ඇති අතර උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් රැගත් මෝටර් රථය ඊට පිටුපසින් පැමිණ ඇත. ඉතාමත් උපක්‍රමශීලී ලෙස පොලිස් පිරිස ඔවුන්ව පෑලියගොඩ දුෂණ මර්දන අංශයට රැගෙනවිත් අත්අඩංගුවට ගෙන සිරමැදිරියට දමා ඇත.

අනතුරුව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු පොලිස් බලඇණිය පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පැලියගොඩ, නවලෝක වටරවුම අසල සිටියදී ,ගංජා ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය සහ පුද්ගලයන් තිදෙනා 2013 මැයි මස 22 වැනිදා අලුයම 4 ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් පොත්වල සටහන් යොදා එම තිදෙනාව ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

සැබවින්ම අත්අඩංගුවට ගත් තිදෙනා ගංජා ජාවාරම්කරුවන් නොවෙති. ඔවුහු හඳපානාගල ප්‍රදේශයේ අහිංසක කුලී වැඩ කරන මිනිසුන්ය. ඔවුහු මෙම සිද්ධිය සම්බන්ධ වී ඇත්තේ ඖෂධ සංස්ථාව බව කීම නිසා ගංජා තොග සොයා දී ඒවා කොළඹට රැගෙන ඒමටය. නමුත් අවසානයේ එම මිනිසුන්ව උගුලක හිරකර සිරගතකර මොහොමඩ් සියාම් ඝාතකයෝ සිදුකරන ලද ඉතාමත් තිරිසන් ක්‍රියාවේ තරම මින් පෙනෙනවා නේද ?

2013 මැයි මස 22 වැනිදා මොහොමඩ් සියාම් ඝාතනය කර එදිනම ක්ෂණිකයෙන් ඇඹිලිපිටියට ගොස් මෙම ගංජා තොගය රැගෙනවිත් පෑලියගොඩ, නවලෝක වටරවුමේදී ඒවා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරමින් උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ බොරු රංගනයක නියැලුණේ මොහොමඩ් සියාම් ඝාතනය වනවිට තමන් ගංජා වැටලීමක නිරතව සිටි බවට පරීක්ෂණ අංශ වලට ඒත්තු ගැන්වීමේ මුවාවෙනි.

එපමණක් නොව, මොහොමඩ් සියාම් ඝාතනය සැලසුම් කර එය සිදු වූ 2013 මැයි මස 22 වැනි දින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මරණයට කැපවූ ගවයෙකු නිදහස් කර ගැනීමේ කාර්යයක නියැලී සිටි බවට ඡායාරූප සහ විස්තර අඩංගු ලිපියක් ද ලක්බිම පුවත්පතේ පළ කර තිබිණි.

ගංජා වැටලීමේ හා ගවයකු නිදහස් කර ගැනීමේ ව්‍යාජ රංගනය හරහා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු එම පොලිස් බලඇණිය උත්සාහ කළේ මොහොමඩ් සියාම් ඝාතනයට තමන් කිසිදු සම්බන්ධයක් නැති බවට පරීක්ෂණ අංශ නොමඟ යවමින් මාධ්‍ය හරහා රටවැසියා ඉදිරියේ ශුද්ධවන්තයන් වීමටය.

නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද ? ඔවුන්ගේ ව්‍යාජ රංගනයන් හා මාධ්‍ය වල පළවූ වාර්තා බොරු කරමින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ ඇතුළු පිරිස රහස් පොලීසියේ අධ්‍යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු රහස් පොලිස් නිලධාරීන් සාර්ථක පරීක්ෂණයක් කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සාර්ථක නඩු විභාගයකින් පසු ඔවුන්ට මරණ දඬුවම හිමිකර දීමට සමත් විය.

එසේනම්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරු ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි ? පොලීසිය සහ මාධ්‍ය විවිධ අවස්ථාවල විවිධ බොරු නිර්මාණය කරමින් සමාජය තුළ විවිධ මතවාද ඇති කරමින් මේ තුළ මේ සිදු කරන්නේ කුමක්ද ?

මොහොමඩ් සියාම් ඝාතනය තුළ සිදු වූ විවිධ වැරදි ප්‍රචාරයන් සේ, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය තුළත් වැරදි තොරතුරු නොමඟ යවන සුළු පරීක්ෂණ කරමින් සැබෑ ඝාතකයන් සහ නිර්මාපකයන් ආරක්ෂා කිරීමට පොලීසිය උත්සාහ කරනවාද යන සැකයක් මේ වනවිට බරපතළ ලෙස ඉස්මතු වී ඇත.

ශ්‍රීලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.