පොලීසිය මේ වනවිට මහජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වී ඇත. බොහෝ අය ප්‍රකාශ කරන්නේ පොලීසිය බල්ලාට ගොස් ඇති බවය. නමුත් මට නම් පෙනෙන්නේ පොලීසිය බල්ලාට නොව, රට තුළ ක්‍රියාත්මක රනිල් රාජපක්ෂ දේශපාලනය පොලීසිය බලු කර ඇත. එම නිසා හිරේ සිටිය යුතු අය පොලීසියේ සිටිනවිට පොලීසියේ සිටිය යුතු අය අද සිරගෙවල්වල දුක් විඳිනු ඇත.

ඒ බව මැනබැලිය හැකි මෑත කාලීන එක් හොඳ උදාහරණයක් වන්නේ, කෑගල්ල උද්ඝෝෂණයේ දී තරුණයකු වෙඩි තබා මරා දැමූ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බි. කීර්තිරත්න සහ ඇඹිලිපිටියේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී මරා දැමූ සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.ඩී. ධර්මරත්න සිරගතව සිට ඇපමත නිදහස් වී පැමිණි පසු ඔවූන්ව යළි සේවයේ පිහිටුවමින් තනතුරු ලබාදීමය.

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් කෑගල්ලේදී තරුණයකුට වෙඩි තබා මරා දැමීම අප කාටත් අමතක නැත. එය සිදුවූයේ 2022 අප්‍රේල් මස 19 වැනිදාය. ඒ වනවිට ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ඇති කරන ලද අයහපත් තත්ත්වය හේතුකොට ගෙන රටපුරා බරපතළ ඉන්ධන හිඟයක් පැවතිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බි. කීර්තිරත්න

මේ පීඩනය ඉවසා දරා ගැනීමට අපහසු වූ ජනතාව පාරට බසිමින් ආණ්ඩුවට එරෙහිව රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලිණි. කෑගල්ලේ පැවැති එවැනි උද්ඝෝෂණයේ දී, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න එම උද්ඝෝෂකයන්ට වෙඩි තබන ලෙස පොලිසියට නියෝග කෙරිණි.

එහිදී පොලීසිය ඉවක් බවක් නැතුව දිගහරහට වෙඩි තැබීම හේතුකොටගෙන එක් තරුණයකු මියගොස් 27දෙනෙක් තුවාල ලැබූහ. ඇතිවූ කලහාකාරී ස්වභාවයේ දී පොලීසියේ කිහිප දෙනෙකු ද තුවාල ලැබීය. පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ 42 හැවිරිදි දෙදරු පියෙකු වන චමින්ද ලක්ෂාන්ය.

සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.ඩී. ධර්මරත්න

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම සහ සබරගමුව පළාත් මහ ඇමති ධුරය දැරූ  මහීපාල හේරත්ගේ පුත් ග්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේගේ උපදෙස් මත කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී .කීර්තිරත්න විශේෂ පොලිස් කණ්ඩායමක් රැගෙන ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය විය.

කෑගල්ලේදී ඝාතනයට ලක්වූ චමින්ද ලක්ෂාන්

මත්පැන් පානයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි වේලාව තුලදී ද නිරතුරුව කටයුතු කරන්නේ බීමතින්ය. &බොන්න දෙනවා නම්, ඕනෑම දෙයක් කරගත හැකි බවට* ප්‍රචලිතව සිටින එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට පැමිණ ඇත්තේද බීමතින්ය.

අමාත්‍ය දිලුම් අමුණුගම හා පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සමග දුරකථන වලින් අදහස් හුවමාරු කරගනිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න දේශපාලන ගෝලයන් මෙහෙයවමින් උද්ඝෝෂකයන් අතර කඩාකප්පල් ක්‍රියා සිදුකර වාහන වලට පහර දී දේපොළ අලාහභානි කරමින් උද්ඝෝෂකයන් උසිගන්වමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවද හෙළිවිය.

මෙම සිදුවීමට අදාළ මූලීක පරීක්ෂණ කටයුතු කෑගල්ල පොලීසිය මගින් සිදුකළද, ඝාතනයට ලක්වූ තරුණයා ගේ පරීක්ෂණ වාර්තා ටිපෙක්ස් ගසා විකෘති කරමින් සාක්කිකරුවන්ට තර්ජනය කර පොලීසිය තමන්ට අවශ්‍ය ආකාරයට සාක්ෂි සටහන් කරමින් මෙහෙයවමින් පොලිස් අපරාධකරුවන් බේරා ගැනීමට කෑගල්ල පොලීසිය සූක්ෂම උත්සාහයක නියැලිණි.

එය සැලවීමත් සමග කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මෙහි පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට භාර කෙරිණි. එම පරීක්ෂණවලට අනුව උද්ඝෝෂකයන්ට වෙඩි තබා තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට හවුල් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලේ නැවතී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් කුණ්ඩසාල පොලිස් රෝහලේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මිනීමරා බරපතළ අපරාධයක් සිදුකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බොහෝ කලක් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස් වී පැමිණි පසු පොලිස්පති චන්දන වික්‍රමරත්න ඔහුව යළිත් සේවයේ පිහිටුවා තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්ත කර ඇත.

මිනීමරා රක්ෂිත බන්ධනාගාරගතව ඇපමත නඩුපිට සිටින ඔහුව යළිත් සේවයේ පිහිටුවීමට පොලිස්පතිවරයා පියවර ගත්තේ කාගේ වුවමනාවටද ? එය නාමල් රාජපක්ෂ සහ දිලුම් අමුණුගමගේ මැදිහත්වීම මත සිදු වූ බව කියැවෙයි.

මෙහි තවත් පුදුම සහගත සිදුවීම නම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්නව තංගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය භාර ප්‍රධානියා බවට පත් කිරීමටද පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට කරන ලද දැනුම්දීමකට අනුව මෙය සිදු වී ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා 2023 ජනවාරි මස 3 වැනිදා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහුව තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කරන ලෙස දැනුම් දී ඇත. එය සිදුකර ඇත්තේ මගේ අංක 02/08/SGO/01/2023 දරන ලිපියෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව කේ.බී කීර්තිරත්නව තංගල්ල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා වශයෙන් පත්කර ඇත. එය සිදුකර ඇත්තේ මගේ අංක ඩී/ එච්. ආර්.එම් /ඒ .ඩී .එම් /34/2023 දරන ලිපිය මගිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී එහි පදිංචිකරුවකු වන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී .කීර්තිරත්න දිගු කලක් තිස්සේ මහින්ද රාජපක්ෂ පවුල සමග ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන අයෙකි. එබැවින් ඔහුව තංගල්ල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා වශයෙන් පත්කිරිමට එළඹ ඇති මූලික පියවර වන්නේ එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂලාට අවශ්‍ය ආකාරයට එම බල ප්‍රදේශයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම උදෙසාය.

කනක හේරත්

හොර ඡන්ද දමමින්, ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් මර්දනය කරමින් ,විශාල භීෂණයක් ඇතිකර රාජපක්ෂලාගේ නිජබිම ලෙස සැලකෙන තංගල්ල බලප්‍රදේශය හොර මගඩි වලින් මැතිවරණ ජයග්‍රහණයක් සහතික කිරීම ඔවුන්ගේ එකම අභිලාෂය වී ඇත.

තමන්ට අවශ්‍ය විදිහට මැතිවරණයේදී වැඩ කටයුතු කළහොත්, කෑගල්ල මිනීමැරුම් නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ අවශ්‍ය වැඩ කටයුතු සිදු කර දෙන බවට රාජපක්ෂවරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී.කීර්තිරත්නට පොරොන්දු වී ඇත.

ඒ අනුව වැඩ කිරීමට දැන් ඔහු තංගල්ලට පැමිණ ඇති බැවින්,ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ මේ පිළිබඳ මැතිවරණ කොමසාරිස් දැනුවත් කර ඉක්මන් පියවරක් ගැනීම ඉතාමත් වැදගත්ය.

මෙහි තවත් කරුණක් නම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න කෑගල්ලේ තරුණයාව වෙඩි තබා මරා දමනවිට  කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ ඔහුගේ සහායකයා ලෙස කටයුතු කළේ සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.ඩී.ධර්මරත්නය. ඔහුද තරුණයකුව අමානුෂික ලෙස වධ බන්ධනයට ලක්කර මරාදමා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත සිටින අයෙකි.

දිදුම් අමුණුගම

එනම්, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී එම ස්ථානයට කඩා වැදුණු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තවත් පොලිස් පිරිසක් එහි සිටි තරුණයකුට පහර දී අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යමින් තට්ටු මහලකින් ඔහුව බිමට තල්ලු කර ඝාතනය කර ලැබීය.

එය සිදු වූයේ 2016 ජනවාරි මස 7 වැනිදාය.ඉන් මරණයට පත් වූයේ 1986 අප්‍රේල් මස 28 වැනිදා උපන් දෙදරු පියෙකු වන සුමිත් ප්‍රසන්න ජයවර්ධනය. මෙය මොනතරම් ශෝචනීය මරණයක් දැයි කිවහොත්, ඔහුගේ  29 හැවිරිදි බිරිඳ වන මුණසිංහ ආරච්චිලාගේ ශෂිකා නිශාමනී මුණසිංහ ඒ වනවිට දෙවැනි දරුවා මෙලොවට බිහි කිරීමට සූදානමින් සිටී ගැබිනියකි.

එම කුරිරු ඝාතනය සිදු වූයේ, දරුවාට අඩු තරමින් තමන්ගේ පියාගේ මුහුණ බැලීමට පමණක් නොව, පියාටද තමන්ගේ උපදින්න සිටින දරුවාගේ මුහුණුවත් බැලීමට නොහැකිව අවාසනාවන්ත ලෙසය. ඉන් දරුවාට පියා මෙන්ම බිරිඳට සැමියාද අහිමිවිය.

මෙහි පරීක්ෂණ කටයුතුද විකෘති කරමින් සහ යට ගසමින් පොලිස් අපරාධකරුවන් බේරා ගැනීමට පොලිසිය තුළින්ම විශාල උත්සාහයක් ගැනිණි. එය ක්‍රියාත්මක කළේ ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකව සිටී ජිනේන්ද්‍ර ඩයස් විසිනි.එම තරුණයාව ඝාතනය කිරීමට ඔහු ඇතුළු පොලිසියේ 10 ක් පමණ සම්බන්ධ වී තිබිණි.

මෙම තරුණයාව ඝාතනය කිරීමට මූලිකත්වය ගත් සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.ඩී.ධර්මරත්න එවකට පොලිස්පති ධුරය දැරූ එන්.කේ .ඉලංගකෝන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කාලයක් කටයුතු කළේය. එම නිසා පොලිස්පතිවරයාද ඔහුව මෙම ඝාතන අපරාධයෙන් බේරාගැනීමට ලොකු උත්සාහයක් ගැනිණි.

ඇඹිලිපිටියේදී මරා දැමූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන

එහි එක් පියවරක් වශයෙන් මෙම ඝාතන අපරාධය පිළිබඳ ලොකු කතාබහක් සමාජය තුළ පැන නගිනවිට පොලිස්පති එන් .කේ .ඉලංගකෝන් සිදුකළේ සහකාර පොලිස් අධිකාරීවරයාව ඇඹිලිපිටියේ සිට කුලියාපිටියට මාරු කිරීමය. එහි පුරප්පාඩුවට එවකට රත්නපුරේ සිටි සහකාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්තව ඇඹිලිපිටියට පත්කෙරිණි.

එපමණක් නොව, මෙම අපරාධයට හවුල් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජිනේන්ද්‍ර ඩයස්ව අවිස්සාවේල්ල පොලීසියට මාරු කර පිළියන්දල පොලිස් ස්ථානාධිපති ධුරය දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.සෝමරත්නව ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කෙරිණි.

මෙලෙස ඔලුගෙඩි මාරු කරමින්, ඇඹිලිපිටිය තරුණ ඝාතනයයෙන් සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව් .ඩී. ධර්මරත්නව බේරාගැනීමට එවකට පොලිස්පති ධුරය දැරූ එන් .කේ. ඉලංගකෝන් උත්සාහ දැරුවද, එය එතරම් සාර්ථක වූයේ නැත.ඊට මූලික හේතුව වූයේ එම ඝාතනයට එරෙහිව නීතීඥ පිරිස් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දුට නිවැරදි කරුණු දන්වා අපරාධය සිදුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විධිමත් පියවරක් ගැනීමට උත්සුකවීමය.

ඒ අනුව මෙම මරණය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහකාර පොලිස් අධිකාරී ඩී. ඩබ්ලිව්. ඩී .ධර්මරත්න, ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ජිනේන්ද්‍ර ඩයස් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඇඹිලිපිටියේදී මරා දැමූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ

මෙම අපරාධය සිදුවනවිට ඇඹිලිපිටිය ප්‍රදේශය ඇතුළත්ව සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්නය. එදා ඔහු යටතේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව් .ඩී .ධර්මරත්න තරුණයකු මරා සිරගතවී ඇප මත නිදහස්ව යළි සේවයට පැමිණ කෑගල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ( 2 ) ලෙස පත්වීම තුළින් පෙන්නුම් කළේ කුමක්ද ?

ඉහළ පොලිස් නිලධාරීන් හිතේ හැටියට කුමන ආකාරයේ මිනීමැරුම් සිදුකළද ,පොලිස් නිතිය යටතේ ඔවුන්ට නිසි දඬුවම් නැති බවය. සිදුවූ අපරාධයට අනුව ජනතාවගෙන් නැගෙන විරෝධය මත ටික කලකට ඔවුන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඊට පසු ඇප මත නිදහස් කර යළි සේවයේ පිහිටුවන්නේ නම් ,මේ රටේ නීතියෙන් ඇති ඵලය කුමක්ද ?

ශ්‍රී ලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.