ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුකොටගෙන සෘජු වශයෙන්ම මේ වනවිට රටට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 16 කි.ඉන් 8 ක්ම ජීවිතක්ෂයට පත්වූයේ පෝලිම් වලදීය .දින ගණනක් එක දිගට පෝලිම් වල සිටීම තුළ අධික වෙහෙස මහන්සිය තුළ ඇතිවූ අයහපත් ස්වභාවයන් හේතුකොට ගෙන මෙම මරණ සිදුවී ඇත.

සෙසු මරණ 10 සිදුවුයේ ඉන්ධන හා ගෑස් අර්බුදය ආශ්‍රිතව සිදුවූ අකාරුණික තත්ත්වයන් තුළය. මේ කිසිදු මරණයක් ස්වභාවිකව සිදුවූ ඒවා නොව ,මිනීමැරුම්ය. සහාසික අපරාධය .මෙම සෑම අපරාධයකටම විත්තිකරුවන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවයි. එම වගකීමෙන් ගැලවී යෑමට ඔවුන්ට හැකියාවක් නැත.

මන්ද ,මෙම ගෑස් සහ ඉන්ධන අර්බුදයේ නිර්මාපකයන් වන්නේ වෙන කවුරුත් නොව, රාජපක්ෂ හා වික්‍රමසිංහ හොර නඩයයි. එසේනම් ,මෙම අහිංසක මිනිස් ජීවිත විනාශ කිරීමේ වගකීම ඔවුහු බාර නොගෙන භාර ගන්නේ වෙන කවුරුන්ද ?

ඔවුන් විසින් සකසන ලද මෙම පෝලිම් සංස්කෘතිය හරහා ජාවාරම්කාර පැලැන්තියක්ද ගොඩනැගී ඇත. ඒ තුළ ආධිපත්‍යය හිමිකරගෙන ඇත්තේ බහුතරයක් වූ විවිධ ශ්‍රේණිවලට අයත් දේශපාලනඥයින් ,පොලිස් හා හමුදා බල ඇණි ලොක්කන් පිරිසකි.

හොඳ අවබෝධයකින් යුතුව නිරීක්ෂණය කර බැලුවහොත් දිවයින පුරා ඇති දිගු පෝලිම් තුළ වැඩිපුරම සිටින්නේ කවුද ? ත්‍රීවීල් රථ , යතුරුපැදි හා වෙනත් කුඩා ප්‍රමාණයේ වාහන පමණි. සූපිරි ගණයේ වාහන ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි .ඒ ඇයි ?

සුපිරි ධනපති පන්තියේ හා සුපිරි මධ්‍යම පාන්තියේ වාහන මෙම ඉන්ධන හා ගෑස් පෝලිම් වල දක්නට නැති තරම්ය .ඔවුන් තම මෝටර් රථවලට ඉන්ධන භාවිතා කරන්නේ නැද්ද ? නිවස්වල ගෑස් භාවිතා කරන්නෙ නැද්ද ? උයන්නේ නැද්ද ? මෙය ප්‍රශ්න කලයුතු කරුණක් නොවේද ?

එසේනම් ,ඔවුන්ට ඉන්ධන හා ගෑස් ලැබෙන්නේ කෙසේද ? මේ ගැන අප සොයා බැලීමකදී පැහැදිලිව නිරීක්ෂණය වූ කරුණ නම් ,උසස් යැයි සම්මත එක් ජාවාරම්කාර පැලැන්තියක් පෝලිම් වල නොසිට කූඨ ක්‍රම මගින් ඉන්ධන හා ගෑස් ලබා ගැනීමට කටයුතු කිරීමය.

රටපුරා ඉන්ධන හා ගෑස් අර්බුදයක් මතුවී ඇති අවස්ථාවක සාමාන්‍ය ජනතාව පෝලිම් වල දින ගණන් දුක් විඳීමටත් ,ඉහළ ජාවාරම්කාර පැලැන්තියක් ඒ කිසිදු පෝලිමක නොසිට ඉන්ධන හා ගෑස් ලැබීමට හැකියාව ලැබීම අතර කිසියම් සැක කටයුතු තත්ත්වයක් ඇත.

එනම් ,අද රටපුරා ඇති අති බහුතරයක් ඉන්ධන හා ගෑස් ඒජන්සිවල අයිතිකාරයෝ ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන්ය. පළාත් සභා ප්‍රාදේශීය සභා දේශපාලනඥයෝය. ඔවුන්ගෙන් යැපෙන හොර ජාවාරම් කාරයෝය. එම නිසා කොතරම් රට තුළ අර්බුද මතු වුවද,ඉන්ධන හා ගෑස් තම සබඳතා හරහා ඉතා පහසුවෙන් ලබා ගැනීමට එම සුපිරි ජාවාරම්කාර පැලැන්තිය සමත් වී ඇත.

මෙම ඉන්ධන හා ගෑස් ජාවාරම පිටුපස තවත් කොටසක් ජීවමානව ක්‍රියා කරනු ඇත. ඒ ඇතැම් පොලිස් හා හමුදා බලධාරීන්ය .අප කරන ලද සොයා බැලීමකදී පෙන්නුම් කෙරුණු දෙයක් නම් ,ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරු ,ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු ,පොලිස් අධිකාරිවරු ,සහකාර පොලිස් අධිකාරිවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ,පොලිස් පරීක්ෂකවරු, උප පොලිස් පරීක්ෂකවරු ඇතුළු සෑම මට්ටමක කොටස් සහ ඇතැම් හමුදා පිරිස් අඩු වැඩි වශයෙන් මෙම ජාවාරම පිටුපස සිටින බවය.

මෙහි පොලිස් ලොක්කෝ විශේෂයෙන්ම ඉන්ධන හා ගෑස් ජාවාරම සිදු කරන්නේ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ව යොදාගෙනය .එසේම, පොලිසිවල රාජකාරි කටයුතු යැයි කියමින් ජීප් රථ, යතුරුපැදි පමණක් නොව ,ඔවුන්ගේ පවුල්වල වාහන වලටද එමගින් ඉන්ධන ලබා ගැනීමට සමත් වන්නේ ඒවා රාජකාරි වාහන යැයි ප්‍රකාශ කරමින් ඉතාමත් කූට ක්‍රම භාවිතා කරමිනි.

මෙහි තවත් සුළබ දෙයක් නම්, පොලිස් නිලධාරීන් තමන් දන්නා කියන ප්‍රදේශයේ උසස් ව්‍යාපාරිකයන්ගේ, කුඩු, වැලි ,පස් ,ගල් ,වැලි, ඇතුළු විවිධ ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කාරයන්ගේ වාහන වලටද විවිධ උපාය උපක්‍රම යොදමින් පෝලිම් වලින් පිට ගොස් රාජකාරි කටයුතු වලට මුවාවී ඉන්ධන ලබාගැනීමේ තුච්ඡ ක්‍රියාවලියක නියැලී සිටිති.

එදිනෙදා අපහසුවෙන් ජීවත්වෙන පුංචි මිනිසුන්ව තුණ්ඩු කෑලි හා අංක තහඩු හරහා රවටමින් පෝලිම් වල දුක් විඳීමට සලස්වා පීඩනයට පත් කරනවා පමණක් නොව ,ඇතැම් පොලිස් හා හමුදා නිලධාරීන් ඇතැම් ඉන්ධන පෝලිම් වල එකිනෙකා අතර ගැටුම් පවා නිර්මාණය කිරීමට උත්සාහ කරන බව පසුගිය සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙන්නුම් කරනු ඇත.

අතුරුගිරිය, වරකාපොළ,පැලවත්ත, වැල්ලවාය, වව්නියාව, මාස්පොත, ඇතුළු තවත් බොහෝ ප්‍රදේශවල මෙවැනි ගැටුම් පසුගිය දිනවල වාර්තා විය. සමහර පුංචි මිනිසුන් ඉන්ධන හා ගෑස් පෝලිම්වල සිට වැඩිපුර තොග ලබාගෙන නිවාස වල සගවා තිබියදී, පොලීසිය පැන ඔවූන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

නමුත් මෙම ජාවාරම ලොකුවට කරන කිසිදු පොලිස් හෝ හමුදා නිලධාරීයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේද ? නැත. ඒ ඇයි ? ඔවූහු ඉතාමත් කෲර ලෙස මෙම ජාවාරම සිදුකරනු ඇත .මේවා හොඳ වැඩද ? නීතිගරුක ක්‍රියාද ? නැත.

ඛනිජතෙල් ඇමති කාංචන විජේසේකර හෝ පොලිස්පති චන්දන වික්‍රමරත්න මේවා නොදන්නා දේවල්ද ? නැත .ඔවූන්ගේ අනුදැනුම හා දැනුම භාවය මත මේවා සිදුවන බව තොරතුරු දන්නා අය කියන දෙයකි.

මේ තුළ මිනිසුන් තව කොතෙක් කල් දුක් විදිමින් මේවා විඳ දරාගෙන සිටිනු ඇත්ද ? පෝලිම් වල මැරී වැටෙනු ඇද්ද ? මේවාට සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ,රනිල් වික්‍රමසිංහ පිළිතුරු නොදෙන්නේ නම්, මිනිසුන්ගේ වගකීම වන්නේ මේ අයව ඉක්මනින් පලවා හැරීම නොවේද ?

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published.