කොටි සංවිධානය ශ්‍රී ලංකා භූමියෙන් සමුගෙන දැන් බොහෝ කල්ය. එහෙත් තවමත් එහි නට්ටාවශේෂ මෙහි නැතුවා නොවේ. අළුයට ගිනි පුපුරු කීවාසේ කිසියම් අවස්ථාවක ඒවා මතුදිනක ඉස්මතුවීමටද බැරි නැත. මන්ද, කොටි සංවිධානය රෝපණයවීමට බලපෑ සාධක වලට නිසි පිළිතුරු සහ පිළියම් ලබාදීමට තවමත් කිසිදු ආණ්ඩුවක් උත්සාහ කර නැත.

සමහර උදවියට නම් ,කොටි සංවිධානය විනාශ වී යෑම බරපතළ පාඩුවක් වී ඇත.ඒ කොටි සංවිධානයට මුවාවී විවිධ ජාවාරම් හා කූටවැඩ කළ පුද්ගලයන්ටය. මන්ද ,ඔවුන් කොටින්ට මුවාවී තම මඩිය තරකර ගැනීමට පිඹුරුපත් සකසා තිබූ බැවිනි.

ජාතික ආරක්ෂාව බිල්ලටදී කොටින්ට මුවාවී තක්කඩි වැඩ කළ තවත් එක් දේශපාලකයෙක් ලෙස ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නම් දරා ඇති බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා පරික්ෂා කිරීමේදී මැනවින් පෙන්නුම් කරන දෙයකි.

එමගින් පැහැදිලි වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල කොටින්ට මුවාවී බෝම්බ ඇටවීමට සම්බන්ධ පුද්ගලයකු බවය.ඔහු මෙම නහින ක්‍රියාවට සම්බන්ධ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ වකවානුව තුළ ය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ඉන් ඉවත් වී ගොස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා ලෙස වැඩ කටයුතු කළේය.කොටි ත්‍රස්තවාදය පැවති වකවානුව තුළ ඔහු ජාතික තොරතුරු මධ්‍යස්ථානය භාරවද කටයුතු කළේය.

ඔහු එවකට ජීවත් වූයේ කොළඹ, කැප්පෙට්ටියපොළ මාවතේ පිහිටි දැනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදිංචි වී සිටින නිවසේය. ඔහුගේ පුද්ගලික නිවස පිහිටා තිබුණේ මහනුවර ,බහිරවකන්ද ප්‍රදේශයේය. කොළඹ නිවසේ මෙන්ම මහනුවර නිවසේද ඔහු එවකට කාලය ගත කළේය.

මහජන දේපල බරපතළ ලෙස අවභාවිතා කරමින් යෙහෙන් වැජඹුණ ඔහු නිරතුරු උත්සාහ කළේ තමා කොටි සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇති බවට හුවා දැක්වීමටය. එමගින් ඔහු ප්‍රයත්න දැරුවේ ආරක්ෂක ලේකම්වරයාට නොදෙවෙනි ආරක්ෂාවක් තමාටත් ලබාගැනීමටය.

මේ සඳහා ඔහු ඉතාමත් කූඨ ක්‍රියාවලියක නියැලිනි. ඒ එවකට මහනුවර පොලිසියට අනුබද්ධව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අමරසිංහ සමගය. එනම් ,කෙහෙළිය රඹුක්වැල්ල රොෂාන් අමරසිංහ සමග රහසිගතව සාකච්ඡා කර අපූරු සැලසුමක් සකස් කර ඇත.

එය නම් ,කොටි සංවිධානය මගින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලව ඝාතනය කිරීමට උත්සාහ කරන බවට කියැවෙන සැලසුමකි.එය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැගීම උදෙසා ඇමතිවරයා භාර කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අමරසිංහ වෙතය.

එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා එවකට කොටි සංවිධානය නිරතුරුව පාවිච්චි කරන ක්ලේමෝ වර්ගයේ බෝම්බ දෙකක්ද ලැබිණි. එය ඇමතිවරයා කොළඹ සිට මහනුවර, බහිරවකන්ද නිවසට එන මාර්ගය අසල කුඩා ලඳු කැලෑ සහිත ස්ථානයක සවි කිරීමට පියවර ගැනිණි.

සැලසුමට අනුව කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ සිට 2006 ජුනි මස 13 වැනිදා රාත්‍රී 9:30 පමණ වනවිට මහනුවර බහිරවකන්ද නිවසට පැමිණීමට ක්‍රියාත්මක විය. පැමිණීමට පෙර ඇමතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි කියමින් ඇමතිවරයා ගමන් කරන බහිරවකන්ද මාර්ගයේ දෙපස පුළුල් සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කිරීමට රොෂාන් අමරසිංහ පියවර ගැනිණි.

ඒ අනුව එම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ඇමතිවරයාගේ නිවසට මීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි කැළෑ බිමක ක්ලේමෝ බෝම්බ දෙකක් කොටි සංවිධානය මගින් අටවා ඇති බව කියමින් එම බෝම්බ එළියට ගෙන පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් දියත් කෙරිණි.

එමඟින් ප්‍රකාශ වූයේ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඝාතනය කිරීමට කොටි ත්‍රස්තවාදීන් ක්ලේමෝ බෝම්බ දෙකක් අටවා තිබූ බවය. එය පොලිස් නිලධාරීන්ගේ දක්ෂ හැකියාවෙන් සොයා නොගත්තේ නම්, ඔහුගේ ජීවිතය අහිමිවී යෑමට ඉඩ තිබූ බව ඉන් කියැවිණි.

කොටි සංවිධානයට මුවාවී මෙම ව්‍යාජ බෝම්බ කතාව හරහා කෙහෙළිය රඹුක්වැල්ල සිය ආරක්ෂාව තවත් වැඩිකර ගැනීමට සමත්විය. ඉන් ඔහු මුළු රටේම ජනතාව නොමඟ යැවීමටද පියවර ගැනිණි.

මෙම සිදුවීම පිළිබඳව සැක සිතී කොළඹ 7 ,කේම්බ්‍රිජ් පෙදෙස, අංක 10 දරණ ස්ථානයේ පිහිටි රාජ්‍ය බුද්ධි සේවය මඟින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. එම පරීක්ෂණ භාරව කටයුතු කළේ පොලිස් පරීක්ෂක එන් .පී .උපසේනය.

එම පරීක්ෂණ වාර්තා හරහා ඔහු ප්‍රකාශ කර සිටින්නේ මෙය කොටි සංවිධානය මගින් සිදුකළ ක්‍රියාවක් නොව, ඇමැතිවරයා සහ පොලිසිය එකතුවී කරන ලද කූඨ ක්‍රියාවක් බවය. එදා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා ලෙස ක්‍රියාකර වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්තනෝමතික ක්‍රියාවලියක එක් පැතිකඩක් මින් පෙන්නුම් කරනවා නොවේද ? යන්න මින් විමසා බැලීම වැදගත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published.