සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර රුපියල් කෝටි 5 ක සැකකටයුතු වංචාවක නියැලී ඇති බවට කරුණු අනාවරණය වෙයි.

ඒ බව ප්‍රකාශ වන්නේ මනුෂ නානායක්කාරට අයත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයට අදාලව බත්තරමුල්ල විදේශ සේවා නියුක්ත කාර්යාංශයට කුලී පදනම මත මෝටර් රථ පහක් මිලදී ගැනීම තුළය.

මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ මාලඹේ, නව නුවර පාර, සුමිත් ගාඩ්න්ස්,අංක 248 / 1 , දරණ ස්ථානයේ පිහිටා තිබෙන බව කියන “පසන් රෙන්ට් කාර් ටුවර්ස් ලිමිටඩ් “ආයතනය තුළිනි. එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා බව කියන්නේ පසන් නලින්ද හිරිපිටියගේ නැමති අයෙකි.

එම මෝටර් රථ පහ කුලී පදනම මත මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි පහකි. පී .එච් 5767, පී.එච් 6144, පී.එච් 8040, පී.එච් 6006 සහ පී.එච් 7225 අංක දරන මෝටර් රථ මෙයට අයත් වෙයි.

සාමාන්‍යයෙන් මෙලෙස කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී වසරින් වසර හෝ වසර 2 කට වරක් ටෙන්ඩර් කැඳවා අදාල වාහන ලබාගත යුතුව ඇතත්, මෙම වාහන පහ එකවරම වසර 5 කට ගිවිසුම් අත්සන් කර ලබා ගැනීම බරපතළ සැකයට තුඩු දී ඇත.

නියමිත ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කර මෙම වාහන කුලී පදනම මත මිලදී ගත්තේ නම්, එක් වාහනයකට දළ වශයෙන් මසකට වැය වන මුදල රුපියල් එක්ලක්ෂ පහලොස් දහසක් පමණ වන බව එහි සේවකයෝ පවසති.

නමුත් නියමිත ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය නොකර මෙම වාහන බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබාගෙන ඇත්තේ මසකට රුපියල් එක් ලක්ෂ හැට පන්දාහක කුලී පදනම මතය.

මෙවැනි ගනුදෙනුවකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බදු වශයෙන් 5% ක මුදලක් ගෙවිය යුතුය. නමුත් එකී නියමිත මුදල පවා ගෙවීම කුලී හිමිකාර සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙලෙස ලබාගත් පී.එච් 7225 අංක දරන මෝටර් රථයට රක්ෂණ සහතිකයක්වත් නොමැත. එවැනි පසුබිමක් තුළ එය මහා මාර්ගයේ ධාවනයට යෙදීම ගැටලුවකි. නමුත් ඒ කිසිවක් නොතකා එය ධාවනයට යොදවා ඇත.

මෙම මෝටර් රථවලට ගෙවන මාසික කුලිය, ධාවනය කළ යුතු කිලෝමීටර් ප්‍රමාණය, අතිරේක කිලෝමීටර් වලට ගෙවිය යුතු මුදල, අනතුරක් සිදු වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග, ඉන්ධන සැපයීම , නඩත්තු සේවා යනාදී තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් වන්නේ නැත.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර එකතුව සිදුකර ඇති මෙම සැකකටයුතු ගනුදෙනුවට අදාළ “පසන් රෙන්ට් කාර් ටුවර්ස් ලිමිටඩ්” ආයතනය පිළිබඳවද සැකකටයුතු තත්ත්වයක් උදාවී ඇත.

එනම් , මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් පෙනී සිටින පසන් නලින්ද හිරිපිටිය නැමැත්තා මෙහි සැබෑ හිමිකරුද, එසේ නැත්නම්,ඔහු ඉදිරියට දමා මෙහි සැබෑ හිමිකරුවන් ලෙස කටයුතු කරන්නේ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අයද යන්න විදේශ සේවා කාර්යංශයේ සේවකයන් තුළ සැකයක් මතු වී ඇත.

රුපියල් කෝටි 5 ක මුදලක් කාබාසිනියා කරමින් සිදුකර ඇති මෙම සැකකටයුතු වංචා සහගත ගනුදෙනුව පිළිබඳ වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහි සේවකයෝ ප්‍රකාශ කර සිටිති.

Similar Posts

Leave a Reply

Your email address will not be published.