එකම රටක් එකම නීතියක් යන සංකල්පය වචන වලට පමණක් සීමා වූ කරුණක් මිස ,එය ප්‍රායෝගිකව මහ පොලොවේ ජීවමානව දකින්නට ලැබෙන දෙයක් නොවේ.රජයේ සාමාන්‍ය සේවකයෙක් ,කම්කරුවෙක් හෝ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් අල්ලස් මුදලක් හෝ කප්පමක් ලබා ගෙන අසූවී ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින් ඔහු වැරදිකරු වුවහොත්, අනිවාර්යෙන්ම කිසියම් කාල පරිච්ඡේදයකට ඔහුට දඬුවම් වශයෙන් සිරගතවී සිටීමට සිදුවනු ඇත.

නමුත් මෙය සමාජයේ ඉහළ මුදල් හිමි පැලැන්තියට හෝ දේශපාලන මැතිඇමතිවරුන්ට අදාළ නොවන කරුණක් ලෙස සැලකිය හැකි අවස්ථා එමටය. කප්පම් හෝ අල්ලස් මුදල් ලබාගෙන අධිකරණයෙන් වැරදිකරු වුවද,නීතිමය සිද්ධාන්ත වලින් හා සිදුරුවලින් රිංගා සිරගත නොවී,තවදුරටත් සමාජයේ යහතින් වැජඹීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.

එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැති ඇමැතිවරුන් වෙනුවෙන් සකස් කර ඇති සහන පැකේජයකි. ඒ බව නාගරික සංවර්ධන සහ නිවාස ඇමති ප්‍රසන්න රණතුංගට හිමි වූ අධිකරණ තීන්දුවෙන් මනාව පසක් වූ කරුණකි.

එනම්, ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 640 ක මුදලක් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කර කප්පම් ඉල්ලු නඩුවෙන් ඔහු වැරදිකරු වුවද, ඔහුට හිමි වූයේ අත්හිටවූ සිර දඬුවමකි. මෙවැනි සිදුවීමක් සාමාන්‍ය පුද්ගලයකුට වූවා නම්, ඔහුට හිමි වන්නේ අත්හිටවූ සිරදඬුවම් නොව, කිසියම් කාල පරිච්ඡේදයක් හිරේ විලංගුවේ ළැගීමේ දඬුවමකි.

සමාජයේ මැති ඇමතිවරුන්ට එක නීතියකුත් සාමාන්‍ය මිනිසුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වන බවට මෙය කදිම නිදසුනකි. රජයේ සේවකයෙක් මෙලෙස අපරාධමය චෝදනාවකට අධිකරණයෙන් වැරදිකරු වූවා නම් ඔහුගේ රැකියාව අහිමි වනු ඇත.

නමුත් මැති ඇමතිවරුන්ට එම නීතිය බලපාන්නේ නැත. ඔවූන්ට ඔවූන්ගේ ඇමැති ධුරය හෝ මන්ත්‍රි ධුරය අහිමි වන්නේ නැත.ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් අපරාධමය චෝදනාවකට වැරදිකරු වී මාස 6කට වැඩි කාල පරිච්ඡේදයකට සිරගත වුවහොත් පමණක් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වනු ඇත.

නමුත් ප්‍රසන්න රණතුංගට හිමිවී ඇත්තේ අවුරුදු දෙකක බරපතළ වැඩ ඇති සිරදඬුවමක් වුවද, එය අවුරුදු පහකට අධිකරණය මගින් අත්හිටුවා ඇත. ඉන් ඔහුව සිරගත කිරීමක් සිදුකරන්නේ නැත.අධිකරණයෙන් වැරදිකරු වුවද ,ඔහුට තවදුරටත් සමාජයේ සැරිසරමින් මන්ත්‍රිධුර සහ ඇමතිධුර දරාගෙන තවත් ඉදිරියට කප්පම් හෝ අල්ලස් ලබාගැනීමේ හැකියාව නීතිය තුළින් විවර කර දී ඇත.

උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව තුළ කප්පම් ගෙන අපරාධ චෝදනාවලින් අධිකරණයෙන් වැරදිකරු වී සිර දඬුවම් හිමිවන මන්ත්‍රීවරුන්ට පවා ඇමතිධුර දරමින් තවදුරටත් කටයුතු කළ හැකි බව ප්‍රසන්න රණතුංගගේ සිදුවීමෙන් අපට කියා පාන කරුණකි.

රටට නීති හදන්නේ උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විසිනි. ඒ මැති ඇමතිවරුන් තමන් වරදක් කලත් නීතියෙන් බේරිය හැකි සිදුරු තබාගෙන “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” නැමැති අටමගලය සමාජය තුළ ස්ථාපිත කර ඇති බව පෙනේ.

ජනතාව මහජන ඡන්දයෙන් ඔවුන්ව පාර්ලිමේන්තුව වෙත යැවුණේ ජනතා සුබසෙත උදෙසා නීති සම්පාදනය කරමින් රටේ ජනතාවගේ සුබසිද්ධිය තහවුරු කිරීම පිණිසය .නමුත් සිදුවී ඇත්තේ කුමක්ද ? ඡන්දදායකයාව හිරේ යවා ඇමතිවරුන්ට බේරෙන්න ව්‍යවස්ථාව සකස් කර ගැනීමය.

මේ මොන කරුමයක්ද ? ජනතාව දැන්වත් මේවා තේරුම්ගත යුතු නොවේද ?

ප්‍රසන්න රණතුංග යනු, පාර්ලිමේන්තුව තුළ සිටින පිරිසිදු චරිතයක් නොවේ. ඉතාමත් අප්‍රසන්න අජූත කුජීත දූෂිත මංකොල්ලකාර හොර තක්කඩියෙකි. මෙතරම් නරුම දූෂිත චරිතයකට ” එකම රටක් එකම නීතියක්” යටතේ රට ගොඩනගන බවට ජනතාවට ප්‍රතිඥා දී බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන ආරක්ෂක ඇමති තනතුර බාර දුන්නේ හොරු අල්ලන පොලිසිය හොරා යටතට පත් කරමිනි.

එනම් ,දැනට නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන ඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග කටයුතු කළද, ඊට පෙර ඔහු දැරුවේ මහජන ආරක්ෂක ඇමැති ධුරයයි.ජනාධිපතිවරයාට අබමල් රේණුවක හෝ මොළයක් තිබුණේ නම් ,මේ වගේ තුට්ටු දෙකේ චරිතයකට එවැනි වැදගත් තනතුරක් බාරදෙයි ද ?

ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවාට හොර ඔප්පු සකස් කර අනුන්ගේ ඉඩම් තමන් සන්තක කරගැනීමටද ප්‍රසන්න රණතුංග හරි රුසියෙකි. සිය දේශපාලන බලහත්කාරීකම යොදා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින හෝකන්දර ප්‍රදේශයේ කාන්තාවකගේ ඉඩම්ද මේ වනවිට ප්‍රසන්න රණතුංග එලෙස වංචනික ලෙස අත්පත් කරගෙන ඇත.

එසේම,ප්‍රසන්න රණතුංග 2015 වර්ෂය තුළ බස්නාහිර පළාත් මහ ඇමති ධූරය දැරිය.එවකට ඔහු වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අනවසර පදිංචිකරුවන් සිටින ඉඩමකින් ඔවූන්ව ඉවත් කර එම ඉඩම ගොඩ කර ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට ව්‍යාපාරිකයෙකුට එම කොන්ත්‍රාත්තුව ලබාදීමට ඔහු එකඟ වී ඇත.

එහිදී ඔහු එම ව්‍යාපාරිකයා වූ ජේරාඩ් ගිහාන් මෙන්ඩිස් නැමැත්තා ගෙන් රුපියල් ලක්ෂ 640 ක් ඒ වෙනුවෙන් කප්පම් ඉල්ලා ඇත. නමුත් එය ඔහු ලබාදීමට එකඟ වී නැත.පසුව ඔහුට දුරකථන මගින් සහ වෙනත් ක්‍රම මගින් මරණ තර්ජන ගර්ජන එල්ල කර එම ලක්ෂ 640 ට අදාලව පොරොන්දු නෝට්ටුවක් පවා ඔහූගෙන් අස්සන් කර ගැනීමට ප්‍රසන්න රණතුංග පියවර ගෙන ඇත.

එය සිදුවී ඇත්තේ 2015 අප්‍රේල් මස 6 වැනිදා සහ 2015 ජූනි මස 2 වැනිදා අතරතුර කාලපරිච්ඡේදයේය.මෙම සිද්ධිය පිළිබඳව එම ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා නීතිපති උපදෙස් මත ප්‍රසන්න රණතුංගට එරෙහිව අධිකරණයේ නඩු පැවරීය.

එම නඩුවේ තීන්දුව 2022 ජුනි මස 6 වෙනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ප්‍රකාශයට පත් කෙරිණි.ඉන් ප්‍රසන්න රණතුංග වැරදිකරු බවට තීරණය කළ විනිසුරුවරයා ඔහුට වසර 2 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් හිමි වූයේ වසර පහකට එය අත්හිටුවමිනි.

එපමණක් නොව , ඔහු වැරදිකරුවීමෙන් රුපියල් ලක්ෂ 250 ක දඩයක් සහ රුපියල් ලක්ෂ 10 ක වන්දියක්ද ගෙවන ලෙස අධිකරණය මගින් ප්‍රසන්න රණතුංගට නියම කරනු ලැබීය.

ඉන් ලක්ෂ 250 ක දඩය නොගෙවන්නේ නම් මාස 9 ක සිර දඬුවමක්ද, රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදල නොගෙවන්නේ නම් ,මාස තුනක සිර දඬුවමක්ද නියම කරන බව විනිසුරුවරයා සිය නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමති ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග කප්පම්කාරයෙක් බවට මෙමගින් අධිකරණයෙන් ද සනාථ කර ඇති චරිතයකි.

හිරිකිතයක් ,ලැජ්ජාවක්, නීතියට ගරු කිරීමක්, නීතිගරුක භාවයක් තිබේනම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මෙම කප්පම්කාරයව ඇමැති ධුරයේ තබාගෙන සිටින්නේද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.