නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා රජයට අයත් සුපිරි කුලී නිවස රුපියල් 16,000කට තක්සේරු කර ලබාගෙන සිය නිල නිවස ලෙස භාවිත කිරීමට පියවර ගෙන ඇත.

කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේ පිහිටා තිබෙන මෙම නිවස බස්නාහිර පළාත් සභාවට අයත් එකකි. එය මීට පෙර බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සිය නිල නිවස ලෙස භාවිත කරනු ලැබීය. එම නිවස පිහිටි ප්‍රදේශයට අනුව එහි මාසික කුලී වෙළෙඳ වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ 4ක් පමණ වනු ඇත.

එසේ තිබියදී ඔහු සිය දේශපාලන බලය යොදා එම නිවස රුපියල් 16,000කට තක්සේරු කර  ලබාගෙන සිය නිල නිවස ලෙස භාවිත කරනවා පමණක් නොව, ඊට වැය වන රුපියල් 16,000ක මුදලද නාගරික සංවර්ධන අමාත්‍යාංශය හරහා බස්නාහිර පළාත් සභාවට ගෙවීමට පියවර ගෙන ඇත.

කොළඹ 7,බල ප්‍රදේශයෙන් සුපිරි මන්දිරයක් නොව, අඩුම තරමින් නිසි පහසුකම් ඇති කාමරයක්වත් රුපියල් 16,000ක් වැනි මුදලකට මෙවැනි යුගයක ලබා ගත හැකිද? එමගින්ම මේ තුළ බරපතළ ප්‍රශ්නයක් ඇති බව නොපෙනෙන්නේ ද ?

එපමණක් නොව,බස්නාහිර පළාත් සභාව විසින් මෙම නිවස තුළ රුපියල් ලක්ෂ 24 ක් පමණ වැය කර සෝලා විදුලි උත්පාදන යන්ත්‍ර ද සවිකර ඇත. නිවසේ සම්පූර්ණ ජල බිල්පත් ගෙවීමට සිදුවී ඇත්තේද නාගරික සංවර්ධන අමාත්‍යාංශයටය.

එවැනි පසුබිමක් තුළ ප්‍රසන්න රණතුංග පන්නිපිටිය,වීර මාවතේ පිහිටි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකළ නිවාස සංකීර්ණයෙන් ද රුපියල් ලක්ෂ 220 ක් පමණ වටිනා සුපිරි නිවසක් ලබා ගෙන ඇති අතර ඒ සඳහා වැයවන  මුදල්ද මුදල් අමාත්‍යාංශය මගින් ගෙවා ඇත.

ඔහු එම නිවස ලබාගෙන ඇත්තේ 2022 මැයි මස 9 වැනිදා ගෝල්පේස් අරගලකරුවන් විසින් ගම්පහ, උඩුගම්පොළ පිහිටි තමන්ගේ නිවස ගිනි තබා විනාශ කළ බැවින් පදිංචි වී සිටීමට නිවසක් නැති බවට ප්‍රකාශ කරමිනි.

නිමේෂ් හේරත්

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රසන්න රණතුංග ඔහු යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කර ඇත්තේ ඔහුගේ  බෑනා කෙනෙකු වන නිමේෂ් හේරත්වය. එමගින් ඔහු සිය තක්කඩි වැඩ ඉතාමත් පහසුවෙන් කරගෙන යෑම උදෙසා පවුලේ අයෙක්ව පත් කරගෙන ඇති බව බව පෙනේ.

මහජනතාව තව සැරයක් ඡන්දය දී බලයට පත් කිරීමට මෙවැනි පිරිස් වලට සහයෝගය දෙන්නේ නම්, එය රටට කරන තවත් මහා විපතකි. එබැවින් ජනතාව සූරාකන මෙවැනි අය පරාජය කිරීමට නිවැරදි මාවත ඔස්සේ ජනතාව පෙරට පැමිණීම වැදගත් සාධකයකි.

ශ්‍රී ලාල් ප්‍රියන්ත.

Similar Posts

Leave a Reply

Your email address will not be published.