මෙම ලිපියේ පළමු කොටස “රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, ශවීන්ද්‍ර සිල්වා හා මාධ්‍යවේදීන්ගේ දුරකථන ටැප් කරලා ” යනුවෙන් මෙහි පළ වී ඇත . එම ලිපිය සමග මෙය කියවීම වැදගත්ය.මේ එම ලිපියේ දෙවැනි කොටසයි.
ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු නිලධාරීන් ඇතුළු පිරිස ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන සමග ඔහුගේ නිවසේ පැවැති සාකච්ඡාව අවසන් කර ආපසු පැමිණියේ ඔවුහු නවාතැන් ගෙන සිටි කොළඹ ජායික් හිල්ටන් හෝටලය වෙතය. නමුත් එතනට සාකච්ඡාවට සහභාගි වූ පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර පැමිණියේ නැත. පිරිස පැමිණෙනවිට ඔහුව සිය නිවසට ඇරලවා පැමිණියෝය.
හෝටලයට පැමිණි නාලක සිල්වා පිරිස ඊශ්‍රායෙල් නියෝජිතයන් සමග තවත් සුළු වේලාවක් කතාබහක නියැලුණහ. එහි මූලික තේමාව වූයේ මිලදී ගැනීමට අදාළ අලුත් ටැප් යන්ත්‍ර පරික්ෂා කිරීම පිළිබඳවය. මන්ද, මොසාඩ් නියෝජිතයන් ලංකාවට පැමිණෙනවිට රැගෙනවිත් තිබුණේ පරීක්ෂාවට අදාළ ටැප් යන්ත්‍ර සාම්පල් කිහිපයක් පමණි.
එබැවින් මිලදී ගැනීමට නියමිත අලුත්ම අලුත් ටැප් යන්ත්‍ර පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව නාලක සිල්වා ඊශ්‍රායෙල් නියෝජිතයන්ට පෙන්වා දුන්නේය. එවිට ඔවුහු එයට නිසි අවස්ථාවක් ලබා දෙන බවට පොරොන්දු වූහ. පසුව ඊශ්‍රායෙල් පිරිස ඊට පසු දින එනම්, 2017 පෙබරවාරි මස 23 වැනිදා කටුනායක ගුවන්තොටුපොළින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.
ඉන් දින දෙක තුනකට පමණ පසු ඔවූන් ගෙන් නාලක සිල්වාට පණිවිඩයක් ලැබිණි. ඉන් කියවුණේ අලුත් ටැප් යන්ත්‍ර පරික්ෂා කිරීමට හැකි බවය. මේ සඳහා නාලක සිල්වා ඇතුළු ලංකාවේ නියෝජිත පිරිසක් ඊශ්‍රායලය බලා පිටත් වී යෑමට සූදානම් වී සිටියහ. එහෙත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි.
එනම්, ඊශ්‍රායෙල් නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ මෙම හමුව ඊශ්‍රාලයේදී නොව, සිංගප්පූරුවේ තබා ගමූ යනුවෙනි.” සිංගප්පූරු ආණ්ඩුවත් ඊශ්‍රායෙල් යන්ත්‍ර භාවිත කරනවා. සිංගප්පූරුව ආරක්ෂිත රටක්. ඒ නිසා අපි සිංගප්පූරුවේදී හමුවෙමු. ඊට යන සියලු හෝටල් වියදම් අපි දරනවා” යනුවෙන් ඔවුහු කීහ . එයට දෙපාර්ශ්වයේ එකඟතාව හිමි විය.
ඒ අනුව දෙපාර්ශ්වය සිංගප්පූරුවේදී හමුවීමට 2017 මාර්තු මස 1 සහ 2 යන දිනයන් යොදා ගැනිණි. එම ගමනට නාලක සිල්වා ,ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේ හා දෙපාර්ශ්වයේ සම්බන්ධීකාරක මුස්ලිම් ජාතික ” එර්ෂාඩ් ” එකතු වූහ. සිංගප්පූරු යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හා නිවාඩු නීතිය හා සාමය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස සිටි ඕෂද ගුණතිලක අනුමත කෙරිණි.
ආයතන සංග්‍රහයේ 48 පරිච්ඡේදයේ 34 වගන්තියේ හා 16 පරිච්ඡේදයට අනුව එම ආවරණ අනුමැතිය ලබාදී ඇති බව 01/2015/01 අංක දරණ මුදල් අමාත්‍යාංශ ලේඛන හා 2017 පෙබරවාරි මස 16 දිනැති ලිපි පරීක්ෂා කිරීමේදී මනාව පැහැදිලි වෙයි.
සිංගප්පූරු ගමන ඉතාමත් ආරක්ෂිත රහසිගත ගමනකි. එබැවින් පිරිස ටැප් යන්ත්‍ර පරීක්ෂා කිරීමට යන කරුණ සඟවා “දත්ත හා විශ්ලේෂණාත්මක සොයාගැනීම් පිළිබඳ ගවේෂණාත්මක සමුළුවට” සහභාගි වීමට යන බවට මුවා වී මෙම ගමන ගොස් ඇත.
නමුත් එවැනි සමුළුවක් එම දිනවල සිංගප්පූරුවේ පැවැත්වුණේ නැත. එය මෙම ගමනේ ආරක්ෂිතභාවය සුරක්ෂිත කිරීමට යොදාගත් උප්පරවැට්ටියක් පමණි.
එම පිරිස කටුනායක ගුවන්තොටුපොළින් සිංගප්පූරුව බලා ගියේ 2017 පෙබරවාරි මස 28 වැනි දාය. ඔවුහු නවාතැන් ගත්තේ සිංගප්පූරුවේ ” රෝයල් පාක්” හෝටලයේ 7 වැනි මහලේ පිහිටි සුභෝපභෝගී කාමරයකය. සියලු පහසුකම් සහිතව ඊශ්‍රායෙල් නියෝජිතයන් එය වෙන්කර තිබිණි.
2017 මාර්තු මස 1 හා 2 යන දිනවල ” රෝයල් පාක් ” හෝටලේදී මුණගැසුණු සියලුදෙනා ඉන් පිටත ස්ථානයක කිහිපයකට ගොස් ටැප් යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඒවා ඉතාමත් සාර්ථක මට්ටමක තිබෙන බව සනාථ කර ගත්හ.
මෙම පරීක්ෂණ කටයුතු අතරතුර ඊශ්‍රායෙල් නියෝජිතයන් තමන්ගේ තාක්ෂණික උපකරණ පිළිබඳව පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබා දෙමින් එම පිළිබඳ කරුණු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේට විස්තර කරදීමටද පසුබට වූයේ නැත.
ඔවුහු ප්‍රකාශ කළ ආකාරයට මෙම උපාංග උපයෝගී කරගෙන නිවාස, කාර්යාල හා ජංගම දුරකථන වලට හොරෙන් සවන්දී ඒවා පටිගත කිරීමේ හැකියාව ඇත. එබැවින් මේවා මිලදී ගතහොත්, ඔත්තු අංශවලට තමන්ට අවශ්‍යයැයි හැඟෙන ඕනෑම පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ කාර්යාල ,නිවාස හෝ ජංගම දුරකථන වලට හොරෙන් සවන්දී ඒ හරහා සිදුවෙන කතාබහ පටිගත කර ආරක්ෂක අංශවලට වැදගත් යැයි හැඟෙන තොරතුරු උපයෝගී කරගෙන අදාළ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇත.
නමුත් අන්තර්ජාල පහසුකම් හරහා ක්‍රියාත්මක වන ” වත්සප් ” වැනි දුරකථන වලට හොරෙන් සවන්දීමේ හැකියාවක් මෙම තාක්ෂණික උපකරණ වලට ඒ මොහොත වනවිට තිබුණේ නැත.නමුත් ඊශ්‍රායෙල් නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ මෙම උපකරණ මිලදී ගෙන මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළ වත්සප් වැනි අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන ජාලා පවා ටැප් කිරීමේ පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවය.
ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු නියෝජිතයන් නාලක සිල්වාට හා සුනෙත් ඉහළ නාමගේ යන පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව අවබෝධයක් ලබා දුන්හ. ඒ කෙරෙහි ලොකු පැහැදීමක සිටි ඔවුහු එම උපකරණ ඉතාමත් ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍ය සියල්ල කතාබහ කරගෙන යළිත් 2017 මාර්තු මස 3 වැනිදා සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණියහ.
ලොකු ඕනෑකමක් හා හදිසි අවශ්‍යතාවක් මෙම උපකරණ මිලදී ගැනීමට මෛත්‍රීපාල සිරිසේනට තිබුණු බැවින් නාලක සිල්වා පිරිස ඒ වෙනුවෙන් වෙහෙසවී ක්‍රියා කළහ. සිංගප්පූරුවේදී ලබාගත් තොරතුරු සහ මිල ගණන් මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දුන්නද, ඒවා මිලදී ගැනීමට මුදල් ලබා දීම ඔහු දිගින් දිගටම ප්‍රමාද කෙරිණි.
එය නාලක සිල්වාට ප්‍රශ්නයක් විය. එවිට ඔහු පූජිත ජයසුන්දර හමුවී හා දුරකථන මගින් කිහිප අවස්ථාවක් මෙය මතක් කරමින් මුදල් ලබා ගැනීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් පූජිත ජයසුන්දර වරක් ඒ ගැන මෛත්‍රීපාල සිරිසේනගේ අවධානයට යොමු කළද ,ඔහු ඒ කෙරෙහි එතරම් තැකීමක් කළේ නැත.
එය නාලක සිල්වා ඇතුළු පිරිසට විශාල ප්‍රහේළිකාවක් විය. සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය තුළ ඉතාමත් බලගතු කූඨ ක්‍රියාවක් සිදුවී ඇති බවය. එනම්, සියල්ල සූදානම් කර මිලදී ගැනීමට පමණක් ඉතිරිව තිබූ මෙම ක්‍රියාවලියෙන් නාලක සිල්වා පිරිස උපක්‍රමශීලීව බැහැර කර මෛත්‍රීපාල සිරිසේන වෙනත් පිරිසක් ඒ තුළට රිංගවා මෙම උපකරණ ඊශ්‍රායල් නියෝජිතයන්ගෙන් මිලදී ගෙන ඇත.
කාටත් සිතා ගැනීමට අපහසු වූ මෙම ගරිල්ලා ප්‍රහාරයෙන් අන්දමන්ද වූ නාලක සිල්වා පිරිස ඒ ගැන සිය තොරතුරු මාර්ග ඔස්සේ විපරම් කිරීමේදී දැනගන්නට ලැබුණු කරුණු බොහෝය. එම කූට ක්‍රියාව පිටුපස මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රාජ්‍ය බුද්ධි සේවය හා යුධ හමුදා රහස් තොරතුරු අංශය සිටින බවට හෙළිවී ඇත.
එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර කාලයක සිට පැවතියේ දැඩි අමනාපයකි. ඒ තනතුරු තානාන්තර හා උසස්වීම් මුල්කරගෙනය.
නාලක සිල්වාගේ එකම සිහිනය වූයේ පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම ගිය පසු ඊළඟ පොළිස්පති වීමය. එම ඉලක්කය සපුරා ගැනීම උදෙසා නාලක සිල්වා උත්සාහ කළේ මෛත්‍රීපාල සිරිසේනගේ හිත හොඳභාවය දිනාගෙන ඉහළට එසවීමටය. නිලන්ත ජයවර්ධනට කැපිලි කෙටිලි දැමීමය. ඔහුව රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත් කර එම තනතුර නාලක සිල්වාට ලබා ගැනීමටය.
නමුත් එය හිතන තරම් නාලක සිල්වාට ලෙහෙසි පහසු වූයේ නැත. එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අතර තිබුණේ ඉතාමත් කිට්ටු බැඳීමකි. නාලක සිල්වාට වඩා මෛත්‍රීපාල සිරිසේන නිලන්ත ජයවර්ධනව විශ්වාස කළේය.කියන ඕනෑම දෙයකට ඇහුම්කන් දුන්නේය.
එබැවින් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ළඟට කිට්ටු වී නාලක සිල්වා ඊශ්‍රායලයෙන් ටැප් යන්ත්‍ර මිලදී ගැනීමට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබිණි. රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ලෙස කටයුතු කළ බුද්ධි නිලධාරියාගෙන්ද මීට අදාළ කරුණු වාර්තා විය.
ඒ තුළ රාජ්‍ය බුද්ධි සේවය මැදිහත්වී නාලක සිල්වාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේනට කරුණු කියා ටැප් යන්ත්‍ර මිලදී ගැනීමේ වැඩපිළිවෙළින් නාලක සිල්වා ඇතුළු පිරිස ඉවත් කර වෙනත් ක්‍රමයකින් ඊශ්‍රායල් නියෝජිතයන්ගෙන් එම උපකරණ මිලදී ගෙන තමන් සතු කර ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය සමත් විය.
ඊට පසු සිදු වූයේ කුමක්ද? පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය ටැප් යන්ත්‍ර මිලදී ගැනීමේ ගනුදෙනුවට සම්බන්ධ වූ හැටි ඊළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
ශ්‍රීලාල් ප්‍රියන්ත.
කොටස් වශයෙන් පලවෙන මෙම ලිපි මාලාවේ තුන්වන කොටස ඊළඟට බලාපොරොත්තු වන්න