අද වනවිට රට මොන තරම් ආර්ථික වශයෙන් බිඳ වැටී ඇත්දැයි කිවහොත්, කඩදාසි කොළයක්වත් නැති තත්ත්වයට රාජ්‍ය ආයතන බංකොලොත් වී ඇත. මෙය අප ඉතිහාසයේ කිසිදු දිනක අත්නොවූ ඉතාමත් බරපතළ ඛේදවාචකයකි.

මේ නිසා දැන් ඇතැම් රාජ්‍ය ආයතන වලට සිය රාජකාරි කටයුතු කිරීමට අවශ්‍ය කඩදාසි එනම්, යම් යම් දේවල් සටහන් කිරීමට අවශ්‍ය කරන A-4 සහ පොත්පත් නොමැතිව මහජනතාවට සිය සේවා සැපයීමට නොහැකි දුෂ්කර ක්‍රියාවකට මුහුණ දීමට සිදුවී ඇත.

ඉන්ධන අර්බුදය සේම කඩදාසි අර්බුදය හේතුකොටගෙන ඇතැම් රාජ්‍ය ආයතන සිය දෛනික කටයුතු නිසිලෙස කිරීමට අපහසු නිසා රාජ්‍ය සේවයේ රාජකාරි දින හා පැය ගණන් කිසියම් ප්‍රමාණයකට අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවද පෙනේ.

විශේෂයෙන්ම, මෙහිදී සඳහන් කළ යුතු කරුණක් නම්, කඩදාසි හිගය උග්‍ර වී ඇති බැවින් අධිකරණ නඩු කටයුතු වලටද එය ප්‍රශ්නයක් වී තිබේ. මේ නිසා විනිසුරුවරු, අධිකරණ නිලධාරීන් පමණක් නොව, නීතිඥයන්ටද එම ගැටළුවට විසඳුම් සෙවීමට නොහැකි වී ඇත.

මේ නිසා ඇතැම් අධිකරණ මේ වනවිට පියවර ගෙන ඇත්තේ අලූතින් නඩුවක් අධිකරණයේ ගොනු කිරීමේදී නඩු ගොනුව සමඟ අමතර හිස් කොළ පහක් එනම්, A-4 කොළ පහක් නඩු ලිපිගොනුව තුළට දමා නඩුව ගොනු කරන ලෙසය. මෙය හරියට දඩයක් වැනිය.

නමුත් නීතිඥවරුන්ටද දැන් වෙළඳපොලේ ලෙහෙසි පහසු A-4 කොළ සොයා ගැනීමට දුෂ්කර වී ඇත. දැන් A-4 කොළ පැකට් එකක් රුපියල් 3500,4000,සහ 4500 අතර මුදලකට වෙළඳපොලේ විකිණෙනු ඇත.

එතරම් අධික මුදලක් වැයකර A-4 පැකට් එකක් මිලදී ගත්විට එකී මුදල සේවාදායකයාගෙන් අය කිරීමට සිදු වී ඇති බැවින් නඩු ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව නීතිඥවරු ප්‍රකාශ කර සිටිති.

රුපියල් 500,1000 ක් අතර මුදලකට අලෙවි වූ A-4 පැකට් එකක් දැන් වෙළඳපොලේ රුපියල් 3500 සිට 4500 ක් දක්වා ඉහළ මුදලකට වෙළඳපොලේ අලෙවිවීම නීතිඥය හා සේවාදායකයන් යන දෙපාර්ශවයම මගහැරිය නොහැකි ප්‍රශ්නයක් වී ඇත.

මේ තත්ත්වය තවත් කාලයක් පැවතුණහොත් ,ඉන්ධන හා ගෑස් අර්බුදයසේම කඩදාසි අර්බුදය හේතු කොටගෙන සිය රාජකාරි කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ යන දෙපාර්ශවයටම සිදුවීම තුළ මෙම අංශ දෙකම බරපතළ කඩාවැටීමකට ලක්විය හැක.

කඩදාසි මිල ඉහළ යෑම සහ වෙළඳපොලේ හිගවීම තුළ මුද්‍රණකරුවෝ මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇති බැවින් බොහෝ මුද්‍රණාල වසා දමා ඇත. ඔවූන්ගේ ජීවන උපාය මාර්ගය අහිමිවීම තුළ ඔවූන් බැංකු වලින් ලබාගත් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව පමණක් නොව, සිය එදිනෙදා පවුලේ වැඩ කටයුතුද කරගෙන යෑමට නොහැකිව දුෂ්කර තත්වයකට මුහුණපා ඇත.

ලේඛන කලාව තුළින් සිය හැකියාවන් පිළිඹිගු කර ජීවන උපාය සකසා ගෙන සිටි ලේඛකයන්ටද මෙම තත්ත්වය විශාල වශයෙන් බලපා ඇත. එනම්, අලුතෙන් කිසියම් නිර්මාණයක් කර පොතක් මුද්‍රණය කර ගැනීමට නොහැකිවී ඇත්තේ අධික කඩදාසි මිල ඉහළ යෑම සහ කඩදාසි වෙළඳපොලේ හිගවීම නිසාය.

දිනපතා සහ සතිපතා පුවත්පත් පවා පවත්වාගෙන යනුයේ ඉතාමත් දුෂ්කර තත්ත්වයකය.දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආ සමහර පුවත්පත් මේ වනවිට කඩදාසි නොමැතිවීම හේතුකොට ගෙන නිසිලෙස මුද්‍රණය කර දිවයින පුරා බෙදාහැරීමට නොහැකි වී ඇත.

මෙම තත්ත්වය දැඩිව බලපා ඇත්තේ දිවයින පුවත්පතටය.කාලයක් තිස්සේ රට පුරා බෙදා හැරි එම පුවත්පත මේ වනවිට බස්නාහිර පළාතට පමණක් සීමා කර ඇත. ඒ කඩදාසි නොමැතිවීම නිසා අවශ්‍ය ප්‍රමාණයට පුවත්පත් මුද්‍රණය කිරීමට නොහැකිවීම නිසාය.

ඉන්ධන සහ ගෑස් අර්බුදයටසේම කඩදාසි ප්‍රශ්නයටද විසඳුමක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ වගකිවයුතු අංශ දැනුවත් කර ඇතත්, ඒ සම්බන්ධයෙන් කිසිම විධිමත් වැඩපිළිවෙලක් හෝ අඩු තරමින් ඒ කෙරෙහි සිය අවධානය යොමු කිරීමටවත් ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගෙන නැත.

ඇස් කන් නැති , මිනිස්සුන්ගේ සැබෑ වේදනාවන් සහ ප්‍රශ්න නොහඳුන මෙවැනි ආණ්ඩුවක් තවදුරටත් තබා ගැනීමෙන් ඇති ඵල ප්‍රයෝජනය කුමක්ද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.