පාසල් දරුදැරියන්ට හා ගුරුවරියන්ට ලිංගික අඩන්තේට්ටම් සහ බලපෑම් සිදු කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිලි කළැයි නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.එම්.සුරංගනීව මාරු කිරීමට එරෙහිව ඇය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කර ඇත.
එම විදුහලේ මනෝවිද්‍යා විෂය භාරව සිටින එච්.පී.ශාමල් ක්‍රිෂාන්ත කල්දේරා නමැති මෙම ගුරුවරයා කාලයක් තිස්සේ මෙම අපචාර ක්‍රියා සිදුකරන බැවින්, ඔහුව වහාම විදුහලෙන් මාරුකර එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට,ඔහුට එරෙහිව වගකිව යුතු අංශ වලට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ විදුහලේ විදුහල්පතිවරිගේ තනතුරු අහිමි කර ඇය වහාම පාසලින් මාරුකිරීමට ග්රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක කටයුතු කිරීමෙන් සිදු කර ඇත්තේ අපචාරකරු ආරක්ෂා කිරීමට පියවර ගැනීමකි.

මෙම ගුරුවරයා පාසලේ කුඩා දරු දැරියන් හා ගුරුවරියන් කිහිපදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් හා බලපෑම් සිදුකර ඇත. ඒවා එම දරුදැරියන්, දෙමව්පියන් හා ගුරුවරියන්ද විදුහල්පතිවරියට පැමිණිලි කර ඇත. එම කරුණු විදුහල්පතිවරිය පාසලෙහි ලොග් සටහන් යොදා ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක, අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මෙත්සිලා රත්නායක, කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා මිහිරි අනුරාධ සමරකෝන් ඇතුළු වගකිවයුතු නිලධාරීනියන්ට ලිඛිතව සහ වාචිකව පැමිණිලි කර ඇත.
එම පැමිණිලිවල සඳහන් කරුණුවලට අනුව විදුහලේ 5 වැනි ශ්‍රේණියේ දරුවන්ට ඉගැන්වීම් කටයුතුවල නියැලී සිටින ගුරුවරියක වන ගයනි සූරියප්පෙරුම, ඉංග්‍රීසි ඉගැන්වීමේ ගුරුවරියක් වන හිරුණි සමරතුංග සහ තවත් ගුරුවරියකට මෙම ලිංගික අපචාර චෝදනා එල්ලවී ඇති ගුරුවරයා ලිංගික බලපෑම් එල්ල කර ඇති බව සඳහන් වෙයි.

මෙහි පුදුම සහගත සිද්ධිය වන්නේ, විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්.එම්. සුරංගනීගේ අඟපසඟ වර්ණනා කරමින් ඇයටද එම අපචාර ගුරුවරයා අයුතු යෝජනා ඉදිරිපත් කරමින් ලිංගික බලපෑම් එල්ල කර තිබීමය.
පාසලේ කුඩා දැරියන් කිහිප දෙනෙක්ම මේ වනවිට මෙම අපචාර ගුරුවරයාගේ ලිංගික බලපෑම් වලට සහ ගොදුරු බවට ලක්වී ඇති බව එල්ල වී ඇති චෝදනා පැමිණිලි වලින් කියවෙන දෙයකි. එවැනි ස්වභාවයක් තුළ එම පැමිණිලි විභාග නොකර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක අයුතු ලෙස මැදිහත් වෙමින් එම ගුරුවරයාව ආරක්ෂා කර විදුහල්පතිවරියට එරෙහිව ක්‍රියා කරන්නේ මන්ද යන්න ප්රශ්නයකි.

අපචාර චෝදනා එල්ල වී ඇති ගුරුවරයා තවමත් විදුහලේ සේවය කරන අතර ඔහුට එරෙහිව පැමිණිලි කළ නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්.එම් .සුරංගනීව විදුහල්පති ධුරයෙන් ඉවත් කර කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇත.
ඇයව එම කාර්යාලයට අනුයුක්ත කර ඇති බවට අදාළ ලිපියේ සඳහන් වන්නේ 2022 නොවැම්බර් මස 01 වැනිදා සිටය. නමුත් එම ලිපියට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක අත්සන් කර ඇත්තේ 2022 නොවැම්බර් මස 8 වැනිදාය. විදුහල්පතිනියට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ 2022 නොවැම්බර් මස 11 වැනිදාය.
ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව ක්‍රියා කර ඇති අනිසි ස්වභාවය එම ලිපි වල දින කෙරෙහි අවධානය යොමු කිරීමේදීද මැනවින් පෙන්නුම් කෙරෙනු ඇත. අධ්‍යාපනයේ ඉහළ පුටු දරන්නේ මෙවැනි වගකිව යුතු අයද යන්න ප්රහේළිකාවකි.
තමන්ට සිදු කළ අසාධාරණය පිළිබඳව එම විදුහල්පතිවරිය 2022 දෙසැම්බර් මස 5 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. එහි පැමිණිලි අංකය 110 / 4831 / 22 ලෙස සඳහන් වෙයි.
ලිංගික අපචාර ගුරුවරුන්ට තවදුරටත් නිදහසේ අපචාර ක්‍රියා සිදුකිරීමට ඉඩ හසර සලසමින් එයට එරෙහි වූ විදුහල්පතිවරිය මාරු කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක සිදුකර ඇති මෙම අනිසි ක්‍රියාවට එරෙහිව මානව හිමිකම් කොමිසන් සභාව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවරක් ගැනීම ඉතාමත් වැදගත්ය.
ශ්‍රී ලාල් ප්‍රියන්ත